විශේෂාංග

කොරෝනා රෝගීන් බලන දොස්තර මහත්මයත් මුඛවාඩම් දමන්නේ නෑ

වෙනදාට ලෙඩුන් සිය ගණනක් එන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. ​රෝහලට ඉකුත් බදාදා දහවල් අප යන විට එහි මැස්සෙක්වත් සිටියේ නැත. මතු නොව වටපිටාවේ කටවල්ද වසා දමලාය. ත්‍රිරෝද රථ ගාලද පාළුය. මේ විපර්යාසයට ​හේතුව එම රෝහලට කොරෝනා බවට සැක පිට රෝගීන් ඇතුළත් කිරීමය. එම රෝගීන් අයි.ඩී.එච්. ​​රෝහලට එවන්නේ බෝවන රෝග සඳහා ප්‍රතිකාර කරන ලංකාවේ ප්‍රධානම රෝහල එය බැවිනි. කොරෝනා හේතුවෙන් දැන් රටේ බොහෝ දෙනෙක් මුඛ ආවරණද පැලඳ ගනිමින් සිටිති. එහෙත් අයි.ඩී.එච්. රෝහලේදී අපට මුඛ වාඩම් නොපැලඳගෙන සිටින අයෙක් හමුවිය. ඔහු කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රමය. ඔහුගේ නම වෛද්‍ය ක්ෂේත්‍රයේ කොයි කවුරුත් දනිති.

පහළොස් වසරක් අයි.ඩී.එච්. රෝහලේ රාජකාරිය කරන ඔහු ප්‍රකටව ඇත්තේ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන ලංකාවේ අංක එකේ වෛද්‍යවරයා ලෙසය. කොරෝනා නිසා මුළු රටම බියට පත් වී ඇති මොහොතක ඔහු වෙනදා මෙන් බොහෝ සන්සුන්ව රෝගීන්ට ප්‍රතිකාර කරයි. මේ ඔහු කොරෝනා ගැන කියන කතාවය.

රටේ හැමතැනම දක්නට ඇත්තේ මුඛ ආවරණ පැලඳගත් අයයි. නමුත් කොරෝනා රෝගීන්ට රෝහලේ සිටින ප්‍රධාන විශේෂ වෛද්‍යවරයා වන ඔබ පමණක් මුඛ ආවරණයක් නොමැතිව සිටින්නේ ඇයි?
එහෙම විශේෂ හේතුවක් නැහැ. ලංකාවේ නැති වෛරසයකට මුහුණු ආවරණ පැලඳීමේ අවශ්‍යතාවක් නෑ. චීන වැසියන් මුහුණු ආවරණ පලඳින එක හරි, මොකද එයාලට දැන් ඒ වෛරසය තියන නිසා. එ්ත් අපි තවම ඒ වගේ අවදානම් තත්ත්වයකට පත් වෙලා නැහැ. එහෙනම්, ඇයි අපි මුඛ ආවරණ පලඳින්න ඕනේ. ඒක හරියට මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ඇන්දා වගේ වැඩක්.

ඒත්, ලංකාවේ බොහෝදෙනෙක් සාමාන්‍ය මුඛ ආවරණ පලඳින්නේ නැතුව, වැඩි මුදල් ගෙවලා තියන හොඳම මුඛ ආවරණය මිලදී ගන්නවා. ඇත්තටම, මේ මුඛ ආවරණ දෙකේ වෙනසක් තියනවද?

එහෙම කිසිම වෙනසක් නැහැ. ෆාමසිවල ගන්න තියන නිල් පාට මුඛ ආවරණය ගත්තම හොඳටම ඇති. අනික ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තියෙන, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තියන රෝගීන් පමණක් මෙය භාවිත කිරීම ප්‍රමාණවත්.

ලංකාවෙන් කොරෝනා රෝගියෙක් සොයා ගැනීමත් සමග බොහෝ පිරිසක් මුඛ ආවරණ පලඳින්න ගත්තා. එ්ත්, සාමාන්‍ය ජනතාව මුඛ ආවරණයක් පැලඳීම අත්‍යවශ්‍යද?

නැහැ, කිසිම අත්‍යවශ්‍යතාවක් නැහැ. ලංකාවෙන් කොරෝනා රෝගියෙක් සොයා ගත්තට එයා ලංකාවේ කෙනෙක් නෙවෙයි. චීනයේ වූහාන්වල ඉඳලා ආපු පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි, දැනට ලංකාව තුළ කොරෝනා වෛරසයක් නැහැ. ඉතින්, නැති වෛරසයක් වෙනුවෙන් පරිස්සම් වෙන්න මුහුණු ආවරණ දාලා තේරුමක් තියනවාද.

අද වෙනකොට වෙළෙඳපොළේ මුඛ ආවරණයක්වත් ගන්න තැනක් නැහැ. මේ විදිහට සාමාන්‍ය ජනතාව භීතියට පත්වෙන්න හේතුවක් තියනවද?

ඔව්, ලොකු හේතුවක් තියනවා. අද මම පත්තරේක දැක්කා ලොකු අකුරින් දාලා තියනවා මුඛ ආවරණ නැහැ කියලා. ඇත්තටම, මුඛ ආවරණ නැති කළේ කවුද? වෙන කවුරුත් නෙවෙයි මාධ්‍ය. ඔවුන් තමයි මේ දේට සම්පූර්ණ වගකියන්න ඕනේ. දැන්, මේක හරියට රඹුටන් ගහේ කතාව වගේ. එක්කෙනෙක් හිතුවා තමන්ගේ වත්තේ තියන රඹුටන් ගහේ ගෙඩි හැදුණට පස්සේ ඒවා විකුණලා සල්ලි එකතු කරලා කාර් එකක් ගන්නවා කියලා. එතකොට කාර් එක ගෙදරට එන්න ඉඩ තියෙන්න ඕනේ. මිනිහා මොකද කළේ ගහ කැපුවා. දැන් ඒ පුද්ගලයට ගහත් නැහැ වාහනයත් නැහැ.

දැන් මුහුණු ආවරණවලට වෙලා තියෙන්නෙත් අන්න ඒ වගේ භීතියක්. අන්තිමට වෙන්නේ කොරෝනා වෛරසය ආපු දවසට පාවිච්චි කරන්න කිසිම මුඛ ආවරණයක් නොමැති වෙන එකයි. අපි වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය විදිහට අපිට හරිම කනගාටුයි මාධ්‍ය හැසිරෙන විදිහ ගැන. මාධ්‍ය අද කරලා තියෙන්නේ මේ රෝගය භයානක බිල්ලෙක් විදිහට මවපු එකයි.

නව කොරෝනා වෛරසය කියන්නේ ”භයානක බිල්ලෙක්” නෙවෙයි නම් ඇත්තටම නව කොරෝනා වෛරසය කියන්නේ මොකක්ද?

කොරෝනා වෛරස කියලා කියන්නේ වරින් වර ආසාදනය වන දෙයක්. මේ වෛරසය සමහර වෙලාවට සත්තුන්ගේ ඇගේ තියෙන්න පුළුවන්. පස්සේ ඒ සතුන්ගෙන් මිනිස්සුන්ට ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි පසුගිය කාලයේ දී ලෝකය පුරා ව්‍යාප්ත වුණු මෙවැනි කොරෝනා වෛරස ජානමය වශයෙන් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා.

ඒ වගේ ජානමය වශයෙන් වෙනස් වුණු වෛරසයක් තමයි සාර්ස් කියන්නේ. මෙය 2002 වසරේ දී තමයි ලෝකය පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. ඒ වගේම, මේ සාර්ස් කියන වෛරසය කොරෝනා වෛරසවල එක් ප්‍රභේදයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. මීට අවුරුදු දහයකට කලින් සාර්ස්, කොරෝනා වෛරසය වගේම මර්ස් කොරෝනා වෛරසයත් ලෝකය පුරා ව්‍යාප්ත වීම ආරම්භ වුණා.
එතකොට මර්ස් කොරෝනා, සාර්ස් කොරෝනා හා අලුතින්ම ඇවිල්ලා තියන නව කොරෝනා 2019 කියන වෛරස අතර වෙනසක් තියෙනවද?

ඇත්තටම පැහැදිලි වෙනසක් තියනවා. සාර්ස් කොරෝනා සහ මර්ස් කොරෝනා කියන වෛරස දෙකෙන්ම වෙන්නේ වෛරසය වැලඳුණු රෝගීන්ගෙන් වැඩි පිරිසක් මියයාමයි. ඒ මියයෑමේ ගණන ප්‍රතිශතයක් විදිහට කියනවා නම් සියයට විසිපහක් හෝ සියයට තිහක් වෙන්න පුළුවන්. වාසනාවකට වගේ සාර්ස් කොරෝනා වෛරසය ලෝකය පුරා රටවල් වල පැතිරුණාට ඉක්මනින් ඉවර වුණා. නමුත්, මර්ස් කොරෝනා වෛරසය තාමත් මැද පෙරදිග රටවල්වල තියනවා. එ්කේ තියන විශේෂත්වය තමයි ඉක්මනින්ම පැතිරෙන්නේ නැති එක.

දැන් ඔය සාර්ස් කොරෝනා වෛරසයේ ජාන මුලින්ම හැදිලා තියෙන්නේ බළලුන් වර්ගයකින්. එතකොට මර්ස් කොරෝනා වෛරසය හැදිලා තියෙන්නේ ඔටුවන්ගේ ජාන වලින්. එතකොට නව කොරෝනා 2019 වෛරසය හැදිලා තියෙන්නෙත් සත්ත්ව ජාන වලින් කියලා සැකයක් තියනවා.

සාර්ස් කොරෝනා සහ මර්ස් කොරෝනා යන වෛරස දෙක අතරින් නව කොරෝනා 2019 වෙනස් වෙන්නේ ඉතාමත් විශේෂ ආකාරයටයි. නව කොරෝනා 2019 වෛරසය ඇතිවන වෛරසය අනෙක් වෛරස දෙකට වඩා සංකුලතා ඇතිවීමේ යම්කිසි වැඩිවීමක් දකින්නට පුළුවන්.

ඒත්, මේ කොරෝනා ප්‍රභේද තුනම එක වගේ සංකුලතා සහ මියයෑම සමාන නැද්ද?

නැහැ, ඒක අපිට පොඩ්ඩක්වත් සමාන කරන්න බැහැ සාර්ස්වල හෝ මර්ස්වල තියන තත්ත්වයට. මොකද ඒවාවල වඩා හුඟක් අඩුයි නව කොරෝනා නිසා මියයාමේ ප්‍රතිශතය. දළ වශයෙන් හෝ නව කොරෝනා වෛරසය නිසා එකසිය තිස් දෙනෙක් මිය යන්නට ඇත්තේ හැට දහසකට වඩා වැඩි ප්‍රමාණයකට මේ වෛරසය හැදුණ නිසා කියලා අපි විශ්වාස කරනවා.

ඒත්, මේ වෙනකොට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා මියයන සංඛ්‍යාවත් හා සුව අතට පත්වන සංඛ්‍යාවත් අතර යම්කිසි සමානකමක් තියෙනවද?

නැහැ, චීනයේ කොරෝනා වෛරසය නිසා සුවවන පිරිස අද වන විට මියයන පිරිසට වඩා ගොඩක් වැඩියි. අනික හොඳ වෙලා යන්නේත් රෝගය බරපතළ වෙලා එන අය. චීනයේ පර්යේෂණයකින් තහවුරු වෙලා තියනවා ඒ විදිහට බරපතළ වෙලා එන හයදහසකට වඩා වැඩි ප්‍රමාණයක් චීනයේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවට. අනික, අමාරු වෙන්නේ නැති අය රෝහල් ගත කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි උණ රෝගය වැලඳිලා අමාරු වුණොත් විතරයි රෝහලට ගෙන්න ගන්න පුළුවන්කම තියෙන්නෙත්. නමුත්, හැට දහසක් පමණ පිරිසක් ඉන්නවා මේ රෝගය ආසාදනය වුණු. අපි හිතනවා මෙය තවදුරටත් වර්ධනය වෙයි කියලා. හැබැයි මේ නිසා මියයන පිරිස සියයට තුනක් වැනි ඉතා අඩු ප්‍රතිශතයක් කියලා හිතනවා.

නමුත්, ව්‍යාප්තිය අඩුවෙලා නැහැ නේද?

ඔව්, ඇත්තටම මේ නව කොරෝනා වෛරසය ඉක්මනින් පැතිරෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මුලින්ම චීනයේ වූහාන් වලින් පටන් ගත් මෙම වෛරසය දැන් වෙනකොට රටවල් විස්සකට වඩා වැඩි ගණනකට ව්‍යාප්ත වෙලා තියනවා.

මේ වන විට චීනය හැර වෙනත් රටවල පමණක් ආසාදිතයන් එකසිය දාහතක් පමණ වාර්තා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගාණ හෙට වෙනකොට තවත් වැඩි වෙයි කියලා. හැබැයි, ඒ අයගෙන් කවුරුත් තවමත් මියගිහිල්ලා නැහැ.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන්නේ කුමන ආකාරයට ද?

මේක ව්‍යාප්ත වෙන්නේ සාමාන්‍යයෙන් කෙළ බිඳිති මගින්. ඒ නිසා තමන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ දේවල්වලට භාවිතා කරපු ටිෂු වගේ දේවල් නිසි පරිදි නිසි තැන දමන්න.

මෙය ව්‍යාප්ත වීමට ඇති එකම ක්‍රමය කෙළ බිඳිති පමණක්මද?

අපි දැනට දන්න එකම ක්‍රමය මෙය පමණයි. එයත් එක් අයෙකුගෙන් පස්දෙනෙකුට ව්‍යාප්ත වීමේ අනුපාතයක් හඳුනා ගෙන තියනවා.

ලංකාවට තවමත් කොරෝනා වෛරසය නිසා විශාල බලපෑමක් ඇති නොවුණත් අපි මේ වෛරසය ලංකාව තුළ ව්‍යාප්ත වීම අවම කර ගන්න මොන වගේ ක්‍රමද අනුගමනය කරන්නේ?

දැනටමත් අපි ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග සියල්ලම අනුගමනය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ විවිධ ආයතන එකතු වෙලා මේ උත්සාහය ඉදිරියට ගෙනියන්න උත්සහ කරනවා. අපිට කියන්න බැහැ මේක කොයිතරම් දුරකට සාර්ථක වෙයි ද කියලා. මොකද දැන් මේ කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් සංසරණය වෙලා ඉවරයි. අපි කොච්චර වත්පිළිවෙත් අනුගමනය කළත් මෙම වෛරසය ලංකාවට පැමිණීමේ අවදානමක් තියනවා. එක සම්පූර්ණයෙන් අපිට ඉවත් කරන්න බැහැ. දැනට අපි උත්සහ කරන්නේ එහෙම නොවෙන්න වගබලා ගන්නයි.

චීනයේ ඉඳලා පැමිණෙන අයව කොහොමද පරික්ෂා කරලා, ඔවුන් රෝග වාහකයන් ද කියලා හොයා ගන්න ක්‍රමයක් තියෙනවද?

මේ වෙනකොට අපි අරගෙන තියන පියවර තමයි වරායට හා ගුවන් තොටුපළට පැමිණෙන විදේශිකයන් සහ අනෙක් පිරිසව හොඳින් නිරීක්ෂණය කිරීම. එහිදී යම්කිසි කෙනෙකුට උණ තිබුණොත් විශේෂයෙන් එයා චීනයෙ සිට එන කෙනෙක් නම් අපි එයාව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යවනවා. එතකොට අපි එයාව පරික්ෂා කරලා බලලා රෝගී නම් බෙහෙත් නිර්දේශ කරනවා.

අපි ගුවන් තොටුපළේ සවි කරලා තියනවා පුද්ගලයන්ගේ උෂ්ණත්වය මනින කැමරාවක්. ඒ කැමරාවට උණ රෝගය වැලඳිලා එන පුද්ගලයන්ව සොයා ගන්න පුළුවන්.

ඒත්, උණ රෝගය වැලඳිලා නැති රෝගීන්ව හඳුනා ගන්නේ කොහොමද?

විශේෂයෙන් චීනයේ ඉඳලා එන අයව අපි සම්මුඛ සාකච්ඡාවකට යොමු කරනවා. මෙය වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එකට එකතු වෙලා ඔවුන්ගේ රෝග ලක්ෂණ මොනවද කියලා සොයා බලනවා. ඊට පස්සේ අපි තීරණය කරනවා මේ පුද්ගලයාව වැඩි දුරටත් පරීක්ෂණ කරන්න ඕනේ ද නැද්ද කියලා. ඕනේ නැත්තම් ඔවුන්ගේ නිවෙස්වල හෝ රැකියා ස්ථානවල ලිපිනය අපි ලියා ගන්නවා. එතකොට ගුවන්තොටුපළෙන් ඒවා යවනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. එතනින් පළාත් සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට අපි ඒ අයව යොමු කරනවා. එතනින් එයාලව නිරීක්ෂණය කරලා බලනවා ඒ අයට ලෙඩේ හැදිලද නැද්ද කියලා. එහෙම බලලා මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිත් එක්ක ඒගොල්ලෝ කතා බහ කරලා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙනවා.

එතකොට වූහාන්වල ඉන්න සිසුන් ලංකාවට ආවාම ඔවුන් වෙනුවෙන් මොනවගේ ආරක්ෂිත පියවරක් ද අනුගමනය කරන්නේ?

වූහාන්වලින් තාම එයාලට එන්න දෙන්නේ නැහැ. දැනට තියන සැලැස්ම තමයි ඔවුන්ව සුමාන දෙකක් වෙනම තැනක රඳවලා තියලා නිරීක්ෂණයට ලක්කරලා අවශ්‍ය වෛද්‍ය උපදෙස් දීලා ගෙවල්වලට අරින එක.

චීන වෛද්‍යවරුන්ගේ හා පර් යේෂකයන්ගේ මතයක් තියනවා වූහාන්වල මේ වෛරසය මෙච්චර ඉක්මට වැළඳෙන්න සීතලත් හේතුවක් වෙන්න ඇති කියලා. නමුත්, බදාදා වෙනකොට වූහාන් ප්‍රදේශයේ සීත දේශගුණය පහවෙමින් උෂ්ණත්වය ඉහළ ගිය බව වාර්තා වෙනවා. ඒ නිසා යම්තාක් දුරකට මේ වෛරසය පාලනය වෙයි කියලත් ඔවුන් විශ්වාස කරනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද?
ඔව්, සමහරක් විට වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෛරස වර්ග තියනවා උෂ්ණත්වය ඉහළ යාමත් සමග විනාශ වන. චීනයේ වෛද්‍යවරුන් කියන විදිහට සමහර වෙලාවට මේ වෛරසයත් ඒ විදිහටම විනාශ වෙලා යන්නත් හැකියාව තියනවා.

එ්ත්, මේ වගේ පසුබිමක ලංකාවේ සිසුන්වත් දියතලාව වගේ සීත දේශගුණයක් තියන ප්‍රදේශයකට රැගෙන යන්න තීරණය කළේ ඇයි?

හරියටම මම දන්නේ නැහැ ඒක රජයේ අවසාන තීරණය ද කියලා. ඒ වුණාට ඔබ කියපු කරුණත් තර්කානුකුලව නිවැරදි වෙන්නත් පුළුවන්. සමහර විට දියතලාවේ ගෙනියනවාට වඩා කටුනායක ප්‍රදේශයක රඳවන එක වඩා සුදුසු වෙන්න පුළුවන්.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී යැයි සැක කරන පුද්ගලයන් කොපමණ හඳුනා ගෙන තිබෙනවද?

මේ වන විට විසි තුන් දෙනෙක් ඇවිල්ලා තියනවා. එ්ත්, අද වෙනකොට කොරෝනා රෝගය වැලඳිලා තියන චීන කාන්තාවත් තවත් සැකයක් මත පමණක් ඇතුළු වූ හත්දෙනෙකුත් පමණයි සිටින්නේ. මේ සියලු දෙනාගේම රුධිර සාම්පල යවලා තියනවා පරීක්ෂණ සඳහා.

එතකොට හොංකොංවලට කීයක් යවලා තියනවා ද?

අපි හැම සාම්පලයක්ම හොංකොං යවන්නේ නැහැ. ඒ යවන්නේ තහවුරු වුණු කොරෝනා රෝගියාගේ සාම්පලය නැවත තහවුරු කර ගැනීම සඳහා විතරයි. මොකද මේ වෛරසය අපිට අලුත් එකක්. පරීක්ෂණ පහසුකම් අපි අලුතින් පිහිටුවා ගත්ත ඒවා. ඒ නිසා නැවත තහවුරු කර ගැනීමක් විදිහට තමයි අපි හොංකොං යවන්නේ.

විසිතුනක් වැනි සංඛ්‍යාවක් වාර්තා වෙන්න හේතුව මොකක්ද?

මේ විදිහට විසිතුන් දෙනෙක් වාර්තා වෙන්න හේතුව වු​ණේ පහුගිය සතියේ මාධ්‍යවලින් ඇති කරන භීතිකාව. ඇතැම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා රූපවාහිනී මාධ්‍යවලින් ඇති කරන භීතිකාව තමයි මේකට හේතුව.

අද උදේ තරුණියක් ආවා මට කොරෝනා වෛරසය හැදිලා තියනවා ද කියලා සැකයි කියලා. ඒ තරුණියට පෙරේදා ඉඳලා උණ කැස්ස තිබුණා. ඒ විතරක් නෙවෙයි එයා දවස් තුනකට පෙර ගිහින් තියනවා ෆිල්ම් එකක් බලන්න. එයාගේ එහා පැත්තේ ඉඳලා තියෙන්නේ චීන ජාතිකයෙක්ලු. අනික සමාජ මාධ්‍යවල ගියාලු අර කොරෝනා වෛරසය හැදුණු කෙනා චිත්‍රපටය බලන්න ආවා කියලා. අන්න ඒ නිසා තමයි ඇය රෝහලට ඇවිල්ලා තියෙන්නේ.

එතකොට අර අහුන්ගල්ලේ ඉඳලා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කරපු රෝගි කතට මොකද වුණේ?

ඇත්තටම එතෙන ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. මමයි ඒ රෝගියාව බැලුවේ. ඇය කලින් වැඩකරලා තියෙන්නේ කොරෝනා වෛරසය හැදුණු කාන්තාව හිටපු අහුන්ගල්ල හෝටලයේ. එයා බලපිටිය රෝහලට ප්‍රතිකාර ගන්න ගියාම ඔයා කොහෙද වැඩ කරන්නේ කියලා අහලා තියනවා. ඒවෙලාවේ එයා කියලා තියනවා හෝටලේ නම. ඒ වේලාවේ එයාට ඇහෙනවලු කට්ටිය කතා වෙනවා මෙයා අරයගෙ කාමරය හදන්න ඇති, එයාට කෑම දෙන්න ඇති කියලා. අන්තිමට රෝහලේ අය මෙයාව මෙහෙට එවලා තියනවා. එ්ත්, එයා අපිට කිව්වා එයා වැඩ කරලා තියෙන්නේ සූපවෙදිනියෙක් විදිහට කියලා. අනික ඇය කොරෝනා වැලඳුණු චීන කාන්තාව සමග කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ.
පසුගිය කාලේ මාධ්‍යවලින් නිරූපණය කළා කොරෝනා හැදුණම කලන්තේ දාලා වැටෙනවා කියලා. ඒ කතාව ඇත්තද? .

නැහැ. තනිකරම මේ කතාව බොරුවක්. මේ වෛරසය පෙණහලුවලට හැදෙන එකක්. ඒකේ බලපෑම තියෙන්නේ ශ්වසන පද්ධතියට. එ්ක නිසා වෙන්නේ උණ, කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ මතුවෙන එක. සමහර අයට මේ රෝගී තත්ත්වය නිව්මෝනියා තත්ත්වයක් දක්වා වැඩි වෙනවා. එතකොට හතිය ඇවිල්ලා, මහන්සිය ඇවිල්ලා ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුව එනවා. ඒ තත්ත්වය තවත් දරුණු වුණාම තමා මියයන්නේ. එහෙම වෙන්නෙත් සුළු කොටසකට විතරයි.

ඒ වගේම ලංකාවෙත් මතයක් තිබ්බා මද්‍යසාර බීලා අව්වට ගියාම විෂබීජ විනාශ වෙනවා කියලා. මේ කතාවේ සත්‍ය අසත්‍යතාවක් තියනවාද?

ඇත්තටම ඒක බොරුවක්, ඇල්කොහොල් කියන්නේ විෂබීජ නාශකයක්. එ්ක බිව්වම විෂබීජ නාශකයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරුණු තුවාලක් අපි පිරිසිදු කරන්න යොදා ගන්නෙත් ඇල්කොහොල්. අනික, අපි පාවිච්චි කරන්නෙත් යම්කිසි සාන්ද්‍රණයකට අනුව නිෂ්පානය කරන ලද ඇල්කොහොල් විශේෂයක් විතරයි, එය අපි සාමාන්‍යයෙන් රෝහල්වල “දෑත් සනීපාරක්ෂක” (hand sanitation) විදිහටත් පාවිච්චි කරනවා.

ලංකාවේ පුද්ගලයෙක් හොයාගෙන තියනවා CFL බල්බ් එකකින් කොරෝනා වෛරසය හොඳ කරන්න පුළුවන් කියලා තියනවා. මේ කතාව ඇත්තද?

මෙහෙමයි, මේ වෛරස් එක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම අලුත් වෛරස් එකක්. ඒ නිසා අපි තාම දන්නේ නැහැ ඔය දේ මේ වෛරස් එකට කොයි විදිහකට බලපානවා ද කියලා. ඒ දේ හරියටම හොයා ගන්න ඕනේ පරීක්ෂණයක් කරලම තමයි. නැතුව, නිගමනයකට එන්න බැහැ.

හර්ෂණී දිසානායක
ඡායාරූප- ඒශාන් දසනායක