කතුවැකි

කොරෝනා මැඬීම නීතියෙන් පමණක් කළ හැකිද?

සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කළ හොත් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන මාස හයක සිරදඬුවමක් දිය හැකි පරිදි නීති පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින් සිටින බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ​මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කෙරෙනු ඇතැයිද එම වාර්තාවේ සඳහන් විය. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි නීතියක් පැනවීමට අදහස් කොට ඇත්තේ රට තුළ කොරෝනා ව්‍යාප්තිය ශීඝ්‍ර වී ඇති නිසා විය හැකිය. කොරෝනා ව්‍යාප්තිය සීමා කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතු බවට සැකයක් නැතත් මෙලෙස නීති පැනවීම ඒ සඳහා කොතෙක් දුරට ගැළපෙන්නේද යන කාරණය ගැන සැකයක් තිබේ.

සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම නීතිය හමුවේ වරදක් බවට පත් කිරීමට අදහස් කර ඇත්තේ ජනතාව බියට පත් කිරීමට බව පැහැදිලිය. එහෙත් වඩා වැදගත් වන්නේ රටේ ජනතාව නීතියට බිය කිරීමද නැතිනම් රෝගයට බිය කිරීමද යන්න කල්පනා කළ යුතු කාරණයකි. අපගේ අදහස නම් ජනතාව සෞඛ්‍ය රෙගුලාසි පිළිපැදිය යුත්තේ රෝගයෙන් ආරක්ෂා වීමට මිස නීතියෙන් ආරක්ෂා වීමට නොවන බවය. අනෙක් අතට සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කළ අයකුට මාස හයක් නොව වසර හයක සිරදඬුවමක් දුන්නත් ඔහුට කොරෝනා ආසාදනය වී හෝ ඔහුගෙන් තවත් කෙනකුට ආසාදනය වී ඇත්නම් දඬුවමක් දීමෙන් ඇති පලක් තිබේද?

උල්ලංඝනය කළහොත් – දඬුවම් විඳින්නට සිදුවන සෞඛ්‍ය රෙගුලාසි මොනවාදැයි අප තවමත් දන්නේ නැත. අදාළ ගැසට් පත්‍රය නිකුත් වී නොමැති හෙයිනි. මේ රෙගුලාසි කුමක් වුවත් සෞඛ්‍ය පුරුදු හා පිළිවෙත් පුරුදු මිස නීතියක් විය හැක්කේ කෙසේදැයි අපට නම් පැහැදිලි නැත. කුමන සෞඛ්‍ය පිළිවෙතක් වුවද අනුගමනය කිරීම අපගේම යහපතට වන බැවින් ජනතාව ඒ සඳහා යොමු කරනු විනා නීති පැනවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව අපගේ අදහසය.

එසේම නීතියක් පනවා මෙල්ල කිරීමට තරම් අපේ ජනතාව කොරෝනා වසංගතය හමුවේ නොහික්මුණු ලෙස හැසිරෙන්නේද යන්නත් අප මෙහිදී විමසා බැලිය යුතුය. කොරෝනා වසංගතය අප රටට පැමිණ දැන් වසරකට ආසන්නය. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මතුවන විට ඉතා සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්නට අපට හැකිව තිබිණ. ර​​ටේ ජනතාව දැනුවත්ව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද්දේ නම් ආණ්ඩුවට ඒ සමත්කම දක්වන්නට නොහැකි වන බව අප පිළිගත යුතු කාරණයකි.

මුල් අවස්ථාවේ ඉතා සංයමයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ ජනතාව දැන් නීතියකින් තොරව පාලනය කළ නොහැකි වී තිබේද? අපට නම් පෙනෙන්නට ඇත්තේ රටේ ජනතාව පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවක් නොව ඔවුන් සාමාන්‍ය ජන ජීවිතයට එළැඹ ඇති බවය.

රට තුළ කොරෝනා රෝගීන් හමුනොවීම, කොරෝනා මරණ සංඛ්‍යාව අවම වීමත් සමගම රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග රට තුළ දක්නට තිබුණේ කොරෝනා අමතකව ගිය තත්ත්වයකි. විරෝධතා පැමිණි නමුත් කිසිදු සෞඛ්‍ය හානියකින් තොරව මහ මැතිවරණය පවත්වා අවසන් කිරීමට හැකිවීම – ජනතාව තුළ විශ්වාසය වැඩි කළ ප්‍රධානම සිදුවීම විය. මාස කිහිපයක් තිස්සේ රට වසා තැබීම නිසා – මානසිකව පීඩාවට පත්ව සිටි තමන්ට නිදහස්ව සැරිසරන්නට තමන්ගේ කටයුතු කරගෙන යන්නට හැකි බව ජනතාව කිසිදු සැකයකින් තොරව කල්පනා කළේය. මාස ගණනක් තිස්සේ ආර්ථික අවපාතයට ලක්වෙමින් සිටි රටටද – ජනතාවගේ මේ නිදහස අත්‍යවශ්‍යවම වී තිබිණ.

මෙහිදී ජනතාවගෙන් වූ වරද වූයේ මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීමය. එසේ වුවත් බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වී ඇත්තේ ඒ නිසාම නොව අන් ​හේතුවක් නිසාය. ඒ පොකුර රට පුරා පැතිර යෑමට නම් – ජනතාව අත් නොසේදීම, මුඛ ආවරණ නොපැලඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතු වන්නට ඇත. මේ නිසා ජනතාවට දඬුවම් කළ යුතු නම් ඊට පෙර දඬුවම් කළ යුත්තේ දැන දැනම බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණයට ඉඩ තැබූ අයටය. රට තුළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය නොකළ සෞඛ්‍ය බලධාරීන්ටය. කොරෝනා බිය රටින් පහව යෑමත් සමග – බොහෝ රාජ්‍ය ආයතන පවා මූලික සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගැන නොසලකා හැරි බැවිනි.

කෙසේ වෙතත් බ්‍රැන්ඩික්ස් පොකුර නිසා රට පුරා තැනින් තැන ආසාදිතයන් වාර්තා වීමත් සමග ජනතාව යළිත් මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්නට පටන් ගෙන තිබේ. බලධාරීන් කළ යුත්තේ – තව තවත් ජනතාව ඒ සඳහා උනන්දු කරවීම හා ඔවුන්ව දැනුවත් කිරීමය.

එසේ නොකර හුදෙක් නීති පැනවීමෙන් පමණක් සිදුවනු ඇත්තේ තත්ත්වය තවත් සංකීර්ණ වීමය. දැනටමත් මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් රඳවා සිටිති. සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන්නන් සිරගත කිරීමට පටන් ගතහොත් සිදුවනු ඇත්තේ බන්ධනාගාරවල තදබදය තව තවත් ඉහළ යෑමය. එය බන්ධනාගාරවල දැනට රඳවා සිටින පිරිස් අතරටද කොරෝනා වයිරසය ගෙන යෑමට හේතුවක් වීමේ අවදානමක්ද ඇත. එසේ වුවහොත් කොරෝනා ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල් දැනටමත් ඒවායේ උපරිම සීමාවට ළඟා වී ඇති තත්ත්වයක් තුළ අප ඊට මුහුණ දෙන්නේ කෙසේද?

සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීති පැනවීමට සූදානම් වුවත් අප තවමත් නිරෝධායන පනත ක්‍රියාත්මක කිරීමේ බලතල ගැසට් කිරීමට හෝ පියවර ගෙන නැත. කොරෝනා මර්දන ක්‍රියාවලිය සඳහා තමන්ට අවශ්‍ය බලය ලැබෙන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියත් එය ක්‍රියාත්මක වූයේ නැත. එසේ වුවත් මේ දක්වා කොරෝනා මර්දනය හෝ නිරෝධායන කටයුතුවලට බාධාවක් සිදුවූයේද නැත. එසේ නම් දැන් හදිසියේම සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන අය සිරගත කිරීමට නීති පැනවීමේ අවශ්‍යතාවක් තිබේද?