විශේෂාංග

කොරෝනා මදිවට ‘‘චැපරේ”ත් එයි

වර්තමාන කොවිඩ් – 19 වසංගතයට හේතු වූ කොරෝනා වයිරසයෙන් සිදු වන මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවද්දී විද්‍යාඥයින් විසින් “චැපරේ වයිරසය” නමින් තවත් මාරාන්තික වයිරසයක් බොලිවියාවෙන් සොයාගෙන ඇත. මෑත කාලීන වාර්තාවලට අනුව, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සී.ඩී.සී.) විසින් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යා හැකි තවත් වයිරසයක් වශයෙන් මෙය නම් කොට තිබේ. චැපරේ වයිරසය කිසියම් ප්‍රමාණයකින් දුර්ලභ වයිරසයක් වන අතර ඉබෝලා වයිරසය වැනි රක්තපාත උණ ඇති කරවන වයිරස් පවුලට අයත් වේ.

• චැපරේ වයිරස යනු?

චැපරේ රක්තපාත උණ (CHHF) ඇතිවන්නේ ඉබෝලා වයිරස රෝගය (EVD) වැනි රෝග සඳහා වගකිව යුතු වයිරස පවුල තුළින් ම ය. චැපරේ වයිරසය අයත් වන්නේ අරා වයිරස පවුලට යි. මෙම වයිරස් පවුලට අදාළ රෝග අතිශයින්ම බෝ වන සුලු ය. චැපරේ වයිරසය මුලින් ම සොයාගත් බොලිවියාවේ “චාපාරේ” කලාපය අදාළ කොට ගෙන වෛරසය එම නමින් නම් කර ඇත.

• සම්ප්‍රේෂණය

ආසාදිත මීයන් සමග ඍජු ව සම්බන්ධ වන විට හෝ ආසාදිත මීයන්ගේ මුත්‍රා හෝ මළ මූත්‍ර හරහා වක්‍රව වයිරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. ආසාදිත මීයන්ගේ කෙළ බිඳිති මගින් වයිරසය සම්ප්‍රේෂණය විය හැකි බවට වාර්තා වේ.

ලයිව් සයන්ස්හි වාර්තාවකට අනුව පසුගිය දිනෙක බොලිවියාවෙන් තවත් රෝගීන් දෙදෙනෙකු හමු වී තිබේ. පර් යේෂකයන් විසින් ආසාදනය වූ පළමු පුද්ගලයා වටා ඇති නිවෙස්වල සහ අවට ගොවිබිම්වල විසූ මීයන් තුළ වයිරසයේ ලක්ෂණ සොයා ගන්නා ලදී.

“මීයන් තුළ තිබූ ආර්. එන්. ඒ.හි ජානමය අනුක්‍රමය මිනිස් ආසාදිතයන් තුළ අප දුටු දේ සමග හොඳින් ගැළපේ,” සී.ඩී.සී. වසංගත රෝග විද්‍යාඥ “කේට්ලින් කොසබූම්” පැවසීය. චැපරේ වයිරස ආර්.එන්.ඒ. ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති මීයන් විශේෂය වන්නේ ඌරු මීයා ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන සත්ත්වයා ය. උන් බොලිවියාව පුරා සහ එහි අසල්වැසි රටවල් කිහිපයක ද දක්නට ලැබේ.

කෙසේ වෙතත්, පර් යේෂකයන් සොයාගෙන ඇත්තේ චැපරේ වයිරසය මිනිසාගෙන් මිනිසාට ද පහසුවෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බව යි. කොවිඩ් 19 වැනි තවත් වසංගතයක් වන මෙය වැළැක්වීම පැතිරීම නැවැත්වීමට නිසි පියවර ගත යුතු යැයි ඔවුන් යෝජනා කරන්නේ මේ හේතුව නිසා ය.

පර් යේෂකයන්ට අනුව, චැපරේ වයිරසය ශරීර තරල මගින් මිනිසුන් අතර සම්ප්‍රේෂණය විය හැකිය. නිරෝගී පුද්ගලයකු ආසාදිත පුද්ගලයකුගේ ශරීර තරල ගෑවුණු ඕනෑ ම දෙයක් සමග සම්බන්ධ වූ විට, ඔවුන්ට ද වයිරසය ආසාදනය විය හැකිය. එනම් කෙළ, සෙම, සොටු පමණක් නොව ශුක්‍ර තරලය මගින් ද රෝගය බෝ වේ.

දෙවන වරට ආසාදිත රෝගීන් හමුවීමෙන් පසු මින් පෙර දී තරුණ වෛද්‍යවරයකුට, ගිලන්රථ වෛද්‍යවරයකුට සහ ආමාශ ආශ්‍රිත රෝග විශේෂඥයකු හට ද මෙම වයිරසය ම වැලඳී ඇති බව සනාථ විය. මෙම සෞඛ්‍ය සේවකයන්ගෙන් දෙදෙනෙක් පසුව මිය ගියහ. බොහෝ ශාරීරික තරල මගින් වයිරසය රැගෙන යා හැකි බවට නිගමනය කිරීම සඳහා එම මරණ ද හේතුවක් වී තිබේ.

පර් යේෂකයන් කියා සිටියේ, පවතින සාක්ෂි මත පදනම් ව, සෞඛ්‍ය සේවකයන්ට රෝගය වැලඳීමේ වැඩි අවදානමක් ඇති අතර, එම නිසා රෝගීන්ගේ රුධිරය, මුත්‍රා, කෙළ හෝ ශුක්‍රාණුවලින් රෝගය බෝ වීම වළක්වා ගැනීමට නම් රෝගීන් සමග කටයුතු කිරීමේ දී අතිශයින් ප්‍රවේශම් විය යුතු බවයි.

පර් යේෂකයන් විසින් ආසාදනය වී දින 168කට පසු දිවි ගලවා ගත් එක් අයකුගේ ශුක්‍රාණුව තුළ චැපරේ හා සම්බන්ධ ආර්.එන්.ඒ. ජානමය කොටස් සොයා ගන්නා ලදී. මෙයින් ඇඟවෙන්නේ මෙම රෝගය ලිංගිකවද සම්ප්‍රේෂණය විය හැකි බවයි.

• රෝග ලක්ෂණ

එක්සත් ජනපද සී.ඩී.සී.යට අනුව, උණ, හිසරදය, උදර වේදනාව, හිසරදය, පාචනය, වීදුරුමසින් ලේ ගැලීම, වමනය, සමේ කැසීම සහ ඇස් පිටුපස නිදන්ගත වේදනාව මෙම රෝගයේ පොදු රෝග ලක්ෂණ වේ. වෛරස රක්තපාත උණ යනු දරුණුතම මෙන් ම ජීවිතයට ද තර්ජනයක් විය හැකි අවස්ථාව වේ. එවිට රෝගය විවිධ අවයවවලට බලපානු ඇති අතර රුධිර නාළවල බිත්තිවලට ද හානි කරනු ඇත.

• ප්‍රතිකාර

විශේෂඥයන්ට අනුව, මෙම වයිරසයට දැනට ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම, ප්‍රතිශක්තිය ගොඩනඟා ගැනීම සහ සමස්තයක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ව සිටීම යනු රෝග අවදානම වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ලෙස සැලකේ.

• වයිරසය හමුවූයේ කෙසේද?

ලොව පුරා පර් යේෂකයන් දැන් උත්සාහ කරන්නේ තවත් SARS-CoV-2 වැනි වසංගතයක් ඇතිවීමේ හැකියාව ඇති වයිරස හා රෝග කාරක ඉක්මනින් හඳුනා ගැනීමට ය. එහෙයින් එම පර් යේෂකයෝ මෙම චැපරේ වයිරසය යනු කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරමින් සිටියහ. වාර්තාවලට අනුව, 2004 දී වයිරසයේ කුඩා අවදි වීමක් ඇති වී තිබිණි. ඒ අනුව යමින් මෙම වයිරසයේ ස්වභාවය සොයා ගෙන තිබිණි. පසුගිය දිනෙක නැවත රෝගීන් හමු වූ විට, ඔවුන් පරීක්ෂා කිරීමෙන් රෝගය එයම බව තහවුරු කර ගැනිණි.

සී.ඩී.සී.හි ව්‍යාධි විද්‍යාඥවරියක් වන මාරියා මොරාලෙස් – බෙටූල් පැවසුවේ “අපි වයිරසය හුදකලා කළා. අපි බලාපොරොත්තු වුණේ වඩාත් පොදු රෝගයක් සොයා ගැනීමටයි. කෙසේ වුවත් දැනට කිව හැක්කේ වයිරස ව්‍යාප්තිය තරමක් පාලනය කර ඇති බව පමණයි.” යනුවෙනි.

නව අනුක්‍රමික මෙවලම් මගින් සී.ඩී.සී. විශේෂඥයන් හට ආර්.ටී.- පී.සී.ආර්. පරීක්ෂණ ඉක්මනින් සිදු කර ගැනීමට ලැබෙනු ඇත. කොවිඩ් -19 රෝග විනිශ්චය සඳහා භාවිත කළ ආකාරයට ම චැපරේ හඳුනා ගැනීමට එම යන්ත්‍ර උපකාර වනු ඇත. දැන් පර් යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ රෝගය රට පුරා ව්‍යාප්ත වන ආකාරය සහ මීයන් ඇත්ත වශයෙන්ම එහි ව්‍යාප්තියට වගකිව යුතු ද යන්න හඳුනා ගැනීමට යි. අප ගෙවතුවල ද ඌරු මීයන් සුලබ ව ගැවසෙන බැවින් මෙම චැපරේ වයිරසයේ බලපෑම පිළිබඳ වටහා ගැනීම ශ්‍රී ලාංකිකයන් හට ද බෙහෙවින් වැදගත් වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි