කතුවැකි

කොරෝනා බොරුකාරයන් බැඳ දමනු!

​මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ජනතාව අතර බරපතළ ​විවේචනයක් තිබේ. මීට හේතුවී ඇත්තේ එම ක්‍රියාවලිය පහසුවෙන් ක්‍රමවත්ව කරගෙන යෑමට පවතින ප්‍රායෝගික බාධාවන්ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් එවන් බාධාවන් පැමිණියත් තොරතුරු බෙදාහැරීමට නම් එවන් බාධාවන් නැත. මෙවැනි ව්‍යසනකාරී කාලයක ආහාර සහ ඖෂධ තරමටම තොරතුරු වැදගත්ය.

රෝගයෙන් ආරක්ෂාවීමට – ප්‍රතිකාර ලබාගැනීමට සහ කාලීනව වැදගත්වන දැනුම්දීම් ගැන දැනුවත්වීම සඳහාය. මෙවන් අවස්ථාවක තොරතුරු සන්නිවේදනය කොතරම් වැදගත් වුවත් ප්‍රශ්නය ඇත්තේ මෙම තොරතුරු – ප්‍රවාහය තුළ ඇති තරම් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරුද සංසරණය වීමය.

කොරෝනා ව්‍යසනය ආරම්භ වූ දිනවල පැතිර ගිය පුවතක් වූයේ රෝගය වළක්වා ගැනීමට ඇල්කොහොල් අගනා ප්‍රතිකර්මයක් බවය. නිතර තේ පානය, වෛරස ආසාදනයෙන් බේරී සිටීමට හේතුවක් බව කියන ආරංචි මේ දිනවලද සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වේ. මෙවන් අසත්‍ය හෝ විද්‍යාත්මක පදනමකින්​ තොරතුරු පතුරවන අය තමන්ගේ ප්‍රලාප සත්‍ය බව හැඟවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නාමය පවා භාවිත කරති. පසුගිය දිනෙක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාංඡනය සහිතව සංසරණය වූ තොරතුරක් වූයේ – බේකරි නිෂ්පාදන කොරෝනා පැතිරීමට ​හේතුවක් බවය. මෙරට කොරෝනා ආසාදිතයකු මිය යන්නටත් පෙරම සමාජ මාධ්‍ය ඔස්සේ රෝගීන් මරා දැමූ අවස්ථා ද වාර්තා වී තිබේ.

මෙවැනි අවස්ථාවක නිවසේ කොතරම් කන බොන දේ තිබුණත් සෑම කෙනකුම උත්සහ කරන්නේ තව තවත් භාණ්ඩ එක් රැස් කර ගන්නටය. මේ ආකාරයට පිළිගත් වෛද්‍යවරුන්, රජයේ නිලධාරීන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වන පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී ඔස්සේ කොතරම් දැනුවත් කිරීම් කළත් ජනතාවට තව තවත් තොරතුරු අවශ්‍ය වේ. ඔවුන් එතරම් සන්ත්‍රාසයකට පත්ව සිටින නිසාය. මෙවැනි වාතාවරණයකදී ‘කටකතා’වලට තටු ලැබෙන්නේ මේ නිසාය. ඉස්සර කට කතා ගියේ කටින් කට වුණත් දැන් යන්නේ ස්මාර්ට් දුරකථනයෙන් – දුරකථනයකටය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහාය.

මෙහි වරද ඇත්තේ මෙම සමාජ මාධ්‍යවල නොව – ඒවා ප්‍රයෝජනයට ගෙන නොදන්නාකමට හෝ හිතාමතාම අසත්‍ය වපුරා ජනතාව භීතියට පත්කරන හෝ මුලාවට පත් කරන අයගේය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා කොයිතරම් දැනුවත් කිරීම් කළද ඒවා නෑසූ කන්ව සිට සමාජ මාධ්‍යවල වපුරන ‘බොරුම’ තලුමරමින් කියවා සංත්‍රාසයට පත්වන සහ ඒවා තව තවත් අය සමග බොදා හදා ගන්නා අයද මේ සම්බන්ධයෙන් වගකිව යුතුය.

සමාජ මාධ්‍ය ඔස්සේ වේවා, වෙනත් තැනක වේවා තමන් හරි හැටි නොදන්නා හෝ අසත්‍ය පදනම් විරහිත ​තොරතුරු නිර්මාණය කරන හා ඒවා බෙදාහරින අයද කොරෝනා – රෝග තත්ත්වය සඟවමින් රෝගය පතුරවන අය තරම්ම භයානකය. ​කොරෝනා ලෙඩ කරන්නේ අපගේ ගතය. මේ වෛරසය මඬින්නට අනාගතයේදී හෝ නිශ්චිත ඖෂධයක් සොයාගනු ඇත. අසත්‍ය, පදනම් විරහිත තොරතුරු පතුරවන්නන් ලෙඩ කරන්නේ අපගේ හිතය. මෙය බෙහෙත් නැති ලෙඩකි. අතුරු ආබාධ ද බහුලය.

කොරෝනා ආසාදිත බව සැඟවීම නිරෝධායන නියමයන් උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ප්‍රකාශ වී තිබේ. එවැනි අයගේ දේපළ පවා රාජසන්තක කළ හැකි බවද කියැවේ. තවම එවැනි දේ සිදුව නැතත් – එසේ නි​වේදනය කිරීමද ලොකු දෙයකි. අප කියන්නේ මේ අවස්ථාවේ කොරෝනා රෝගය හා ඊට අදාළ තත්ත්වයන් සම්බන්ධයෙන් බොරු වපුරන හා බෙදන අය සම්බන්ධයෙන් එවැනි තද පියවර ගත යුතු බවය. අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතියක් වුවත් එය වලංගු වන්නේ ‘සත්‍ය’ ප්‍රකාශ කිරීම සඳහා පමණය.

සමාජ මාධ්‍ය ඔස්සේ – අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පනස්දෙනකුට වැඩි පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කොට තිබුණි. මේ අතුරින් තවමත් නීතිය ක්‍රියාත්මක කොට ඇත්තේ සිව්දෙනකු සම්බන්ධයෙන් පමණකි. අනෙකුත් පිරිස හඳුනාගෙනත් ඇත්නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට තිබෙන ප්‍රමාදය කුමක් දැයි අප දන්නේ නැත.

කොරෝනා රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයන් කළ හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය ප්‍රකාශ කොට තිබුණි. එහෙත් මේ දක්වා එවැනි පියවරක් ගත් බවක් නම් වාර්තා වී නැත. අඩුම වශයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගන්නට පොලිසිය පියවර ගෙන නැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කියූ පනස් දෙනාටත් නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටම දැයි අපි පොලිස්පතිවරයාගෙන් දැන ගන්නට කැමැත්තෙමු. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් මාධ්‍යයක් ඔස්සේ අසත්‍ය ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිමු. රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා සම්බන්ධයෙන්ද ඒ නීතිය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

මේ බොරුකාරයන් සම්බන්ධයෙන් වහාම පියවර නොගත හොත් කොරෝනා පැතිරෙන්නා සේම තව තවත් බොරුකාරයන් බිහිවීම නියතය. තව තවත් බොරු කාරයන් බිහිවන්නට ඉඩදීම කොරෝනා ආසාදිතයන් සඟවා තබා ගැනීම වැනිම වරදක් වන අතර එහි වගකීම භාරගත යුත්තේ පොලිස්පතිවරයාය.