විශේෂාංග

කොරෝනා පාලනය මිනිසුන් අතට දෙන්න

කොරෝනා පාලනය මිනිසුන් අතට දෙන්න

කොරෝනා කැලැන්ඩරය ගැන දැන සිටියා ද?

කොරෝනා වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය පාලනයට අප නැවත රට වහද්දි, කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළා යැයි ලොව බුහුමනට ලක්වූ රාජ්‍යයන් වන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව දැන් කියන්නෙ ලොක්ඩවුන් කියන්නෙ සාර්ථක ක්‍රමවේදයක් නොවන බවයි. ඔවුන් පවසන්නේ ඊට එහා ගිය විසඳුමක් මේ වසංගතය තුළ තිබිය යුතු බවයි. ඔබ මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධ ප්‍රාමාණිකයෙක්. මේ වසංගතයට ලොක්ඩවුන්වලට එහා ගිය විසඳුමකට යනවා නම් සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඒ හා බැඳුණු විසඳුම් මොනවාද?

කොවිඩ් මර්දනය කිරීමේදී ඉතාම වැදගත් කරුණු කීපයක් තියෙනව. එතනදි දැනට ලෝකය පිළිගෙන තියෙන ක්‍රමවේදය තමයි එන්නත්කරණය. අපිත් හම්බවෙන මුල්ම එන්නත ලබාගැනීමෙන් අපේ ජීවිතවලට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ නිසා ඒක කවුරුවත් මගහරින්න හොඳ නෑ. එන්නත්කරණයත් එක්ක ඉදිරියේදි රට විවෘත කිරීමේ සූදානමක් අපෙත් තියෙනව. හැබැයි එතනදි ආයෙත් හතරවැනි, පස්වැනි රැල්ලක් ආවොත් මොකද කරන්නෙ…? එහෙම වුණොත් ආයෙත් රට වහන්න, සංචරණ සීමා පනවන්න සිද්ධවෙයි. ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.

රටක් විදිහට අපි කොරෝනාවත් එක්ක ජීවත්වෙන්න ඕන. ඒ අභියෝගයට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි සහ අපට තියෙන හොඳම එන්නත තමයි ජනතාව බලගැන්වීම.

නිවෙස් නිරෝධායනය වන්නන්ගේ වගකීම් විරහිත හැසිරීම් රටා නිසා කොරෝනා වසංගත ව්‍යාප්තිය වේගවත් විය හැකි බව පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබුණ. එවැනි පසුබිමක කොහොමද ඒ බලගැන්වීම කරන්නේ…?

කොරෝනා වැනි වසංගත රෝගවලින් මිදීමේ සෞඛ්‍ය පුරුදු මිනිසුන් තුළ ස්වයංවම ගොඩනැගෙන්න ඕන. ඒක මිනිස්සුන්ගෙ විනයත් එක්ක ගොඩනැගෙන දෙයක්. ඒත් මහජන ‍සෞඛ්‍ය නි‍රුයෝජිතවරුන් පවසන දෙයින් ගම්‍ය වෙන්නෙ මිනිස්සුන්ගෙ විනය හැදිල නෑ කියන එක.

ඒ නිසා කොරෝනා පාලනය මිනිස්සු අතට දෙන්න ඕන. ඒක ලේසි නැති නිසා තමයි නිතරම ලොක්ඩවුන් ගැන කතා කරන්නෙ. ඒකට තියෙන විවිධ ක්‍රමවේද අතරේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නෙ ඉතා ප්‍රතිඵලදායී ක්‍රමවේදයක්. සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් කරන්නෙ මිනිසුන්ගෙ සෞඛ්‍ය පාලනය මිනිසුන්ගෙම අතට දෙන එක. මිනිස්සුන්ගෙ අතට සෞඛ්‍ය පාලන බලය දෙනව කියන එක ගැන අපි ඒ තරම් විශ්වාසයක් තියල නෑ.

නමුත් රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය විදිහට අපි, අපේ රටේ විවිධ ප්‍රදේශවල ජනතාව බලගන්වා ප්‍රජා කණ්ඩායම් තුළින් සාර්ථකව මේ වසංගතයට මුහුණදෙන පසුබිම සකස් කරල තියෙනව. ඒ තැන්වල මේ වෙද්දි හුඟක් හොඳ ප්‍රතිඵල තියෙනව. හැබැයි පැණිවලට දෙන ප්‍රසිද්ධිය වගේ මේකට ප්‍රසිද්ධියක් නම් ලැබිල නෑ.

අපි මේ වැඩපිළිවෙලේදී කුටුම්භවලට හඳුන්වා දුන්නු එක ක්‍රමයක් තමයි කොරෝනා කැලැන්ඩරය. මේක පසුගිය අවුරුද්දෙ මුලදි තමයි හඳුන්වාදුන්නෙ. මේ කැලැන්ඩරයත් අපි මුද්‍රණය කරන එකක් නෙමේ. මිනිස්සුම හදාගත්ත දෙයක්. අපි දුන්නෙ සංකල්පය විතරයි. එතනදි කොරෝනා පාලනයට අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් කඩන පවුලේ සාමාජිකයන් කවුද? ඒවා සුරකින්නෙ කවුද? කියන එක දවසින් දවස සලකුණු වෙනව. ඒමගින් නියමිත සෞඛ්‍ය පුරුදු පිළිනොපැද තමන්ගෙ පවුලෙ අනෙක් සාමාජිකයනුත් කොරෝනා අවදානමේ හෙළන්නෙ කවුද කියන අවබෝධය එනව.

මේකෙන් තමන්ගෙ නිවස කොරෝනාවලට කෙතරම් නිරාවරණය වෙලාද කියල දැනගන්න පුළුවන්. ඒ මගින් පවුලෙ අනෙක් සාමාජිකයන්ට සෞඛ්‍ය පුරුදු පිළිනොපඳින පුද්ගලයාට බලපෑම් කරල පොළඹවන්න පුළුවන් නියමිත සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරවීමට. ඒ මගින් පවුල් ඒකක කොරෝනාවලින් ආරක්ෂා කරගන්න පුළුවන්.

8 healthy habits that can help prevent novel coronavirus 2019 - Discovery

ඒ වගේම ගමේ තියෙන අහල පහල ගෙවල් එකතුවෙලා ප්‍රජාවේ කොරෝනා කැලැන්ඩරයක් හදනව. එතනදි ගෙවල් කීයක් නිවස ඉදිරිපිට අත් සෝදන්න තියල නැද්ද? ගෙවල් කීයක මිනිස්සු මුව ආවරණය නිසි ලෙස පලඳින්නෙ නැද්ද? අනෙත් අය එක්ක වැඩකරද්දි නියමිත දුර තියාගන්නෙ නැද්ද? කියන ඒවා මනිනව. ඒක හරි සහයෝගයෙන් වෙන දෙයක්. එතනදි ඔවුන්ට අවබෝධයක් එනව ගෙවල් කීයක් කොරෝනා සෞඛ්‍ය පුරුදු කඩනවද කියල.

තමන්ගෙ නිවස ඒ විදිහට නිරීක්ෂණය වෙනව කියල දැනගනිද්දි සෑම කෙනෙක්ම පෙළඹෙනව නිවැරැදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න. ඇතැම් තැන්වල තමන්ගෙ ගමේ අවදානම් ගෙවල් කීයක් තියෙනවද කියල ප්‍රසිද්ධ තැනක හැමෝටම පේන්න ප්‍රදර්ශනය කරල තිබුණ. එහෙම වුණාම ගමත් මේ ක්‍රමය යටතෙ ආරක්ෂා වෙනව.

කොවිඩ් මර්දනයෙදි වැදගත් දෙයක් තමයි ආදරය. තමන්ට ආදරය නැති කෙනා තමයි අනෙකාටත් රෝගය බෝකරන්නෙ. මේ කැලැන්ඩරයෙන් කියන්නෙ ගෙදර මිනිස්සුන්ට ආදරේ කවුද කියන එක. ඒ වගේම ගමට ආදරය කරන්නෙ කවුද කියන එක. ඒක මිනිස්සුන් විසින්ම බලා තීරණය කිරීම සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් ඇවිත් බලනවට වඩා ප්‍රබලයි.

මේ වැඩසටහන මේ වෙද්දි ක්‍රියාත්මක වන තැන් මොනවද?

විශේෂයෙන්ම කියන්න ඕන කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස යෝජනා ක්‍රම කීපයක් ආශ්‍රිතව ඒ කියන්නෙ සිරිමුතු උයන, රන්දිය උයන සහ මිහිජය උයන ආශ්‍රිතව මේක නියමු ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මකයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය ප්‍රවර්ධන පදනම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික සෞඛ්‍ය ඒකකය එකතුවෙලා තමයි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙ. මේ වෙද්දි මහල් නිවාස ආශ්‍රිතව වෙසෙන ජනයා විදුලි සෝපානයෙ එක්වරකට යා යුතු ප්‍රමාණය, ඒවායෙ සනීපාරක්ෂාව වගේම තම අසල්වැසියා ගැනත් සොයාබලන්න උනන්දුවෙන් කටයුතු කරනව. ඒ වගේම කොළඹින් බැහැර අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මොණරාගල, මාතර, කුරුණෑගල දිස්ත්‍රික් ගම්මානවල මේ වැඩසටහන සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනව.

අද ගම්වල ආසාදිතයන් බොහොමයක් වාර්තාවෙනව. ‘නිරෝධායනය වන නිවසකි’ කියන දැන්වීම නිවස ඉදිරිපිට ඇලෙව්වට පස්සෙ අසල්වැසියා පවා ඒ නිවස දෙස බැලීමත් අත්හරින බව එම අත්දැකීමට මුහුණදුන් අය පවසනව. මෙවැනි තත්ත්වයන් මගහැරවීම උදෙසා ඔබ පවසන වැඩපිළිවෙළෙහි මොන වගේ දේවල්ද ක්‍රියාත්මක වුණේ…?

ඔව්… ඒකට බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඒ ගම්වල මිනිස්සු කරනව. ගමේ යම් අයෙක් ආසාදිතයෙක් බව දැනගත්තට පස්සෙ ඔහුව පවුලෙන් වෙන්කරල, ගමේ තියෙන කවුරුත් පදිංචි නැති නිවසක් තෝරගෙන ඒ නිවසට ඔහුව යොමුකරල පීඑච්අයිගෙ උපදෙස් මත අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ගමන් ඔහුට ආහාර පාන ලබාදෙන්න අනෙක් මිනිස්සු බෙදාගෙන තියෙනව. ඒකෙන් රෝගය වැලඳුන කෙනාට ලොකු මානසික ශක්තියක් එනව. ඔහු දන්නව ගමේ මිනිස්සු ඔහුව තනිකරල නෑ කියල.

ඒක රෝගයට මුහුණදෙන්නත් ලොකු ශක්තියක්. මොකද රෝගියා මානසිකව ඇද වැටුණොත් ඒක ඔහුගෙ ප්‍රතිශක්තිය අඩුවීමට බලපාන නිසා. ඒ නිසා එවැනි ගම්වල ඉන්න ආසාදිතයන් තමන්ට රෝගය වැලඳී ඇති බව කියන්න බය වෙන්නෙත් නෑ. ඒ මගින් තව කෙනෙක්ට රෝගය වැලඳීමත් අඩුවෙනව. එහෙම ගමක ඉන්න මිනිස්සු කවදාවත් මානසිකව වැටෙන්නෙ නෑ. මේ වැඩපිළිවෙළ දෙණියාය, මොරවක, මාතර වගේ ප්‍රදේශවල සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වෙනව.

 

ලොක්ඩවුන් කාල සීමාවන්වලදි බොහොම අසරණවන ජන කොට්ඨාසයක් ඉන්නව. ඒ එදා වේල හම්බකරගන්න ජනතාව. ඇතැම් අයට එදා වේල පිරිමහගන්න තරම්වත් නොහැකි අවස්ථාවන් වාර්තා වුණා. ඔබ පවසන ප්‍රජාව බලගැන්වූ සමාජයක එවැනි ජනයා වෙනුවෙන් මොනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වුණේ….?

එතනදි ඉතා සාර්ථක මානුෂීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒක ‘පින්වැට’ කියල තමයි ඒ මිනිස්සු හැඳින්වුවෙ.

ඔවුන්ගෙ දැක්ම වුණෙ කොයිතරම් දුෂ්කර අවස්ථාවකදී වුණත් ගමේ එක මිනිහෙක්වත් බඩගින්නෙ තියන්නෙ නෑ කියන එක. ගමේ ආර්ථික ගැටලු තියෙන අයට ඔවුන්ගෙ ආත්මාභිමානයට කැළැලක් නොවන විදිහට උදව් කරන්න මේ ‘පින්වැට’ සංකල්පය යටතෙ පුළුවන් වුණා.

එතනදි වුණේ යමක් කමක් තියෙන පුද්ගලයන් ගමේ පොදු ස්ථානයකට වියළි ආහාරපාන ගිහින් තියනව. යම් අයෙක්ට ආර්ථික අපහසුතාවක් තියෙනව නම් ඒ තැනට ගිහින් තමන්ට අවශ්‍ය දේවල් අරගෙන එන්න පුළුවන්. ඒව ගන්නෙ කවුද කියල කවුරුවත් හොයන්නෙ නෑ. ඒක හාල් කිලෝ එකක්, පරිප්පු ටිකක් දීල සෙල්ෆි ගහල ෆේස්බුක් දානවට එහා ගිය මානුෂීය ක්‍රියාදාමයක්.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක තැන්වල මිනිස්සු බොහොම පහසුවෙන් ඉන්නව. ඒ වගේම ඒ ගම්වලට ලැබුණු සහනාධාර ලබාගත්තෙත් අත්‍යවශ්‍යයෙන්ම ඒවා ඕන අය විතරයි. යමක් කමක් තියෙන කෙනෙක් ඒව ගැනීම මගහැරිය. කොවිඩ් නිසා ඇතිවූ මෙවැනි ධනාත්මක මිනිස් ආකල්ප සමාජගත නොවීම ලොකු අඩුවක්.

 

පවතින තත්ත්වය යටතේ විශේෂ අවධානයක් යොමුවිය යුතු පිරිස තමයි වැඩිහිටි පිරිස ඔවුන් ආරක්ෂා කර ගැනීම උදෙසා මොනවගේ ආදර්ශයන්ද මේ වැඩසටහන හරහා ක්‍රියාත්මක වුණේ…

අපි කියපු ගම්වල වැඩිහිටි අය පාරේ දකින්න නෑ. ඒ ගම්වල තරුණයින්ට ඒක ලැජ්ජාවට කාරණයක්. ආච්චිලට, සීයලට ඕන දේවල් ඔවුන් ගෙනත් දෙනව.

ඒ වගේම වසංගතයෙ දරුණු බවත් එක්ක මිනිස්සු ඉන්නෙ තමන්ට කොයි වෙලාවෙ රෝගය බෝවෙයිද කියන අනියත බියක. මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීමට යෙදිය හැකි ක්‍රියාකාරකම් මොනවද?

මානසික සෞඛ්‍ය නිරෝගීවීම මෙවැනි රෝගයන්ට ඔරොත්තුවීම උදෙසා වැදගත්. බොහෝ අය නිවාසවලට කොටුවීම නිසා වෙනදා නැති ප්‍රශ්න ඇතිවෙලා. වෙනදා රැකියාව නිසා නිවසේ වැඩි වෙලාවක් ගත නොකරපු ස්වාමිපුරුෂන්ට නිවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම නිසා විවිධ ගැටුම් ඇතිවූ අවස්ථාවන් වාර්තා වුණා. මොකද ඒ පුද්ගලයාට එක දිගට දිගු කාලයක් ගෙදර හිඳීම නුහුරු දෙයක්. ඒකට අනුගතවීම හරිම අසීරු දෙයක්. හැබැයි එවැනි තැන්වලදිත් විවිධ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඒවායින් වැළකීමට පුළුවන්.

උදාහරණයකට නිවසේ සිටින ළමුන් ගනිමු. ඔවුනුත් මේ වසගංතය නිසා දැඩි මානසික පීඩාවට ලක්වුණු කොටසක්. ඔවුන්ගෙ මානසික සුවතාව උදෙසා ඔවුන්ට අවශ්‍ය දේ නිර්මාණය කර දෙන්න ගෙදර ඉන්න තාත්තලට දැන් පුළුවන්. උදාහරණයකට සෙල්ලම් ගෙයක් හදල දෙන්න පුළුවන්. ගමක එක ගෙදරක ළමයෙක් වෙනුවෙන් සෙල්ලම් ගෙයක් හැදුනොත් තවත් ගෙදරක ඒ වගේ සෙල්ලම් ගෙයක් හැදෙනව. එතනින් කාරණා දෙකක් ඉෂ්ට වෙනව. ඒ තමයි දරුවන්ගෙ මානසික සුවය. අනෙක ඒ වැඩිහිටියන්ගෙ මානසික ව්‍යාකූලතා මගහැරීම.

Importance of Parental Involvement At School

මෙවැනි වැඩපිළිවෙළ පිළිබඳ පොළඹවන්න ඒ සඳහා පුහුණු වුණු අය අවශ්‍යයි. එතනදි සෞඛ්‍ය ප්‍රවර්ධනය පුහුණුවුණ අය ඉන්නව නම් වැඩේ පහසුයි. අපේ විශ්වවිද්‍යාලයෙ සෞඛ්‍ය ප්‍රවර්ධනය හදාරපු උපාධිධාරීන් ඉන්නව. ඒ අයගෙන් වැඩක් ගන්න මේක තමයි වෙලාව.

ඔබ පවසන්නෙ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළව ලබාගත යුතු මෙහෙවර ඔවුන්ගෙන් ලබානොගන්න බවද?

අපි මුල ඉදලම කිව්ව මේකට තියෙන හොඳම එන්නත මිනිස්සු බලගැන්වීම කියන එක. ඒවා ඇහුම්කන් දෙන්න තරම් වුවමනාවක් බලධාරීන්ට තිබුණද කියන ගැටලුව තිබුණ. ඒ නිසා මාධ්‍යයෙනුත් මිනිස්සු මේ වෙද්දි මේ කරල තියෙන දේ ගැන ප්‍රචාරයක් ලබාදෙන්න ඕන. අපි මාධ්‍යයෙන් දකින්නෙ කොරෝනා රෝගය ගැන වෛද්‍යවරු, සෞඛ්‍ය නිලධාරීන්, ආචාර්යවරු, මහාචාර්යවරු කියන දේ විතරයි.

ඒත් මිනිස්සු කොරෝනා පාලනය කිරීම උදෙසා සාර්ථකව කළ දේවල් ඔවුන්ගේ හඬින්ම අහන්න, දකින්න, කියවන්න ලැබෙනව නම් අනෙක් මිනිස්සුත් ඒකට පෙළඹෙනව.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුවත් කරල තියෙනවද?

සෑම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකටම එක්කෙනා බැගින් සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් බඳවා ගන්න කියල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීම් කරල තියෙනව. හැබැයි තාම ඒකට සුබවාදී පිළිතුරක් නෑ.

සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එක පාඨමාලාවක් වශයෙන් තියෙන්නෙ රජරට විශ්වවිද්‍යාලයෙ විතරයි. සෞඛ්‍ය ප්‍රවර්ධනයෙන් කරන්නෙ අපි පොරවල් නොවී මිනිස්සු පොරවල් කිරීම. පසුගිය සමයේ බෝ නොවන රෝග පාලනය කරන්න, ළමයින්ගෙ මන්දපෝෂණය අඩුකරන්න ලංකාවෙ බොහෝ දිස්ත්‍රික්කවල අපේ විශ්වවිද්‍යාලය හරහා සාර්ථක වැඩසටහන් ක්‍රියත්මක කළා. සෞඛ්‍ය ප්‍රවර්ධනය ඉගෙනගත්ත උපාධිධාරීන් 250-300කට ආසන්න ප්‍රමාණයක අපට ඉන්නව.

2004දි තමයි මේ උපාධි පාඨමාලාව පටන්ගත්තෙ. මේ පාඨමාලාව අවුරුදු තුනක පාඨමාලාවක්. ඒකෙ අවුරුදු දෙකක්ම ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් තියෙන්නෙ. ක්ෂේත්‍රයේ වැඩකරන්න අවුරුදු දෙකක් තියෙන එකම උපාධිය. ඒ නිසා මිනිස්සුත් එක්ක වැඩකරන්නෙ කොහොමද කියන එක මේ උපාධිධාරීන් දන්නව. ඔවුන් හරහා මිනිස්සු බලගැන්වීමේ වැඩපිළිවෙළ පහසුවෙන් කරන්න පුළුවන්.

මේක දේශන තියල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා බෝවන රෝගවලට විතරක් නෙමෙයි, බෝ නොවන රෝගවලට මිනිස්සුන්ගෙ චර්යාවන් වෙනස්කරල මිනිස්සුන්ගෙ අතට සෞඛ්‍ය දෙන වැඩේ කරවන්න පුළුවන්. එහෙම වුණොත් කොරෝනාවත් එක්ක මිනිස්සු ජීවත්වෙන්න පුරුදු වෙයි. ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය සැලකිලිල්ල දැක්වුවොත් විශ්වවිද්‍යාලය වශයෙන් අපට උදව් කරන්න පුළුවන්.

 

ආචාර්ය දුමින්ද ගුරුගේ රජරට විශ්වවිද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සංවාදය – ලක්මාල් බෝගහවත්ත