කතුවැකි

කොරෝනා නැතත් ඇතැයි සිතා ඡන්ද කරමුද?

අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබේ. මැතිවරණය පැවැත්වෙන නව දිනය මේ මස 26 වැනිදායින් පසු මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඒ දවස තීරණය කරනු ඇත්තේ කොරෝනා වසංගතය රට තුළ පැතිරීම හෝ පාලනය කිරීම යන කාරණය විසිනි. කොරෝනා වසංගතය පැතිර ඇති මොහොතක මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට මතයක් පැතිර ගියේ නාම යෝජනා භාර ගැනීම ආරම්භ වීමටත් පෙර සිටය.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව නොමැති බව සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පැහැදිලි කාරණයකි. මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කල් දැමීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවය. එහෙත් නාම යෝජනා කැඳවීමටත් පෙර ඇතමකු මැතිවරණය පැවැත්වීමට එරෙහිව හඬ නැගුවේ ජනතාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බව පැහැදිලි කාරණයකි.

මෙම මැතිවරණය කැඳවා තිබුණේ ව්‍යවස්ථාවට අනුකූලවය. මේ නිසා කෙටි කාලයකට මැතිවරණය කල් දැමුවත් එය අවලංගු කිරීමට හැකියාවක් නැත. කොරෝනා අවදානම තිබියදීම නාම යෝජනා කැඳවීමට පියවර ගැනුණේ ඒ අනුවය. මැතිවරණය පැවැත්වීමට හෝ කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය ලැබුණේ නාම යෝජනා අවසන් වූ පසුය. මේ නිසා මැතිවරණ කොමිසම ඡන්දය කල් දමා ඇත්තේ තමන්ගේ බලකිරීම නිසා යැයි මෝඩ චූන් ගැනීමට කිසිවකුට නොහැකිය. එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණත් නැතත් මේ මොහොතේ මැතිවරණයක් නොපවැත්වෙන බව සහතිකය. ඒ අනුව මැතිවරණ කොමිසමටද මේ තීරණය ගැනීමට සිදුවූයේ පවතින තත්ත්වය අනුව මිස එහි ස්වාධීනත්වය නිසා නොවන බවද පැහැදිලිය. එහෙත් ආණ්ඩුවේ කිසිවකු හෝ නන් දෙඩවූවා මිස මේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා දුන් බවක් අප දුටුවේ නැත.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය තිබියදීම නාම යෝජනා කැඳවීමට පියවර ගැනීම තුළ සාමකාමී, නිදහස් මැතිවරණයකට අවශ්‍ය ගුණාංග වර්ධනය වනු දක්නට ලැබීම සතුටට කරුණකි. කොරෝනා නොතිබුණේ නම් මේ වන විටත් මුළු රටම එකම කලබගෑනියක් බවට පත්ව තිබෙන්නට ඉඩ තිබිණ. මැතිවරණ උණුසුමෙන් මත් වූ පිරිස් ගහ මරා ගන්නට පවා ඉඩ තිබිණ.

නමුත් කොරෝනා භීතිකාව නිසා නාම යෝජනා භාර ගැනීම පවා වැඩි කලබලයකින් තොරව අවසන් වී තිබේ. වෙනදා නම් නාම යෝජනා භාර දීම සිදුවන්නේද මහත් උත්සවාකාරයෙනි. අපේක්ෂකයන් සිය පිරිස් බලය පෙන්වීමට නාම යෝජනා භාර දීමද අවස්ථාවක් කර ගනිති. හුරේ හඬ දී අකුර පෙන්වන අත් කච්චේරි අවට වැසි වසින කාලයකි. එහෙත් කොරෝනා නිසා නාමයෝජනා භාර දීමට පැමිණිය හැකි පිරිස් සීමා කිරීම නිසා එම අවස්ථාවද ඉතාමත් සන්සුන් ලෙස ගෙවී ගියේය. දේශපාලන උණ තදින්ම වැලඳී තිබෙන කෙනකු දෙන්නකු මේ උපදෙස් නොතකා නාමයෝජනා භාර දීමෙන් පසු පෙළපාළි ගිය අවස්ථා කිහිපයක් වාර්තා වී තිබේ. ඉන් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මොළයේ තරම නිසා ඡන්දය දීමේදී ජනතාව ඒ ගැනද කල්පනා කරනු ඇත.

අපේ රටේ ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය නමුත් බොහෝ දෙනකුට රටේ දේශපාලන සංස්කෘතිය ගැන ප්‍රසාදයක් නැත. ඊට එක් හේතුවක් නම්, මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ දා සිට දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ අපේක්ෂකයන්ගේද ආධාරකරුවන්ගේද හැසිරීමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී මේ සංස්කෘතිය වෙනස් කිරීමට පියවර ගත්තේය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්වලින් තොර පරිසරය දූෂණය නොකරන, ප්‍රතිවාදීන් තළා පෙළා නොදමන, බොහෝ ගෞරවනීය, සාමකාමී වැදගත් එකක් විය. මේ නිසා ප්‍රතිවාදී අපේක්ෂකයන්ටද ඔහු අනුගමනය කිරීම හැර අන් විකල්පයක් නොවීය. එහි ප්‍රතිඵලය වූයේ එකදු මිනිස් ජීවිතයක් හෝ බිල්ලට නොගත් සාමකාමී ජනාධිපතිවරණයකි. මේ තත්ත්වයෙන් කනස්සල්ලට පත් වූයේ නම් ඒ මැතිවරණ නිරීක්ෂකයන් පමණකි.

ඉදිරි මහ මැතිවරණයද මේ ආකාරයෙන් සාමකාමීව මෙන්ම ගෞරවනීයව පවත්වන්නට කිසිවකු හෝ සූදානම් බවක් මැතිවරණය ප්‍රකාශයට පත් වූ දා සිට දැකගත හැකිව තිබුණේත් නැත. එසේ වුවත් එවන් මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමට කොරෝනා විසින් අපට බලකර තිබේ. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් නාමයෝජනා භාර දීමේ ක්‍රියාවලියේදී ඊට අනුගත වන්නට අප සියලු දෙනාට සිදු විය.

ඉදිරි දිනකදී මහ මැතිවරණය පවත්වනු ඇත්තේ කොරෝනා වෛරසය මර්දනය කළ බවට සෞඛ්‍ය අංශ සෑහීමකට පත් වූ පසුවය. අප සියලු පක්ෂවලට යෝජනා කරන්නේ කොරෝනා නැති තත්ත්වයක ඡන්දය පැවැත් වුවත්, කොරෝනා තිබියදී ඡන්දය පවත්වන බව සිතා කටයුතු කළ යුතු බවය. නාමයෝජනා භාරදීමේදී කටයුතු කළ අන්දමට වැඩි සද්ද බද්දයක් නොමැතිව සිය මැතිවරණ ව්‍යාපාරයන් පවත්වන්නට සෑම දේශපාලන පක්ෂයක්ම පියවර ගතහොත් 2020 මහ මැතිවරණය, මෙරට මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කළ මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.