කතුවැකි

කොරෝනා දෙවැනි රැල්ලටත් දෙන්න වෙන්නෙ පරණ බෙහෙතමද?

ලෝකය පුරා කොරෝනා දෙවැනි රැල්ලක් පැතිර යෑමේ අනතුරක් මතුව තිබේ. ඇමෙරිකාව තවමත් වැඩිම ආසාදිතයන් හා මරණ වාර්තා වන රට බවට පත්ව ඇති අතර ඒ සංඛ්‍යා වර්තාවන්නේ දස දහස් ගණනිනි. චීනය, ඊයේද බීජිං අගනුවරට යාබද ලක්ෂ හතරක පමණ ජනතාවක් වෙසෙන නගරයක් අගුළු දැමීමට පියවර ගත්තේය. අසල්වැසි ඉන්දියාවේද තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් තිබේ.

මේ වන විට ලෝකය පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති අතර ලක්ෂ පහකට වැඩි පිරිසක් මියගොස් තිබේ. දෙවැනි කොරෝනා රැල්ල පාලනය කරගත නොහැකි වුවහොත් මිලියන ගණනකට මිය යන්නට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

කොරෝනා සම්බන්ධයෙන් ලෝකයේ තත්ත්වය එසේ වුවත් අප රටේ ‌මේ දක්වා තත්ත්වය ඉතාමත් සතුටුදායකය. මෙරටින් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස හයක කාලයකට වාර්තා වී ඇත්තේ දෙදහසකට තරමක් වැඩි ආසාදිතයන් පිරිසක් පමණකි. ඒ අතරින්ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ හාරසියයකට ආසන්න පිරිසක් පමණය. දින සියයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතියද ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරිණ.

මෙබඳු සතුටුදායක තත්ත්වයක් උදාකර ගැනීමට ජනාධිපතිවරයාගේද, සෞඛ්‍ය අංශයන්ගේද, ත්‍රිවිධ හමුදා, පොලිසියේද මෙහෙවර සේම ජනතාව තුළ තිබූ සංයමය හා තිබුණ කැපවීමද ඉවහල් වූ බව කිව යුතුය. පුද්ගලික නිදහසම උත්කර්ෂයට නංවා එයම ඇගයීමට පුරුදුව සිටි බටහිර හා යුරෝපා රටවල් අසාර්ථක වී ලක්ෂ ගණනින් මිනී වළේ සැතපුණේ ජනතාවගේම නොසැලකීම මුසු හැසිරීම නිසාය. ඇතැම් රටක පැවති මධ්‍යගත විධානයක් පිළි නොගන්නා රාජ්‍ය පාලන ක්‍රම නිසා එක් ප්‍රාන්තයක් රජයට ඇහුම්කන් දෙන විට අනෙක නොඇසූ කන්ව සිටිති. නැතිනම් පුද්ගලික නිදහස් අයිතිය යටතේ මහ ජනතාව පාරට බැස්සාහ. එහෙත් අපේ රටේ ජනතාව එකාවන්ව නිරෝධායන නීති, ඇඳිරි නීති ඉවසූයේ පොදු යහපත ගැන හැඟීමෙනි. නීති නොතකන්නන්ට බැණ වැදුණේ ජනතාවමය. දියුණු රෝහල්, වෛද්‍ය ක්‍රම, උපකරණ සේම, වසංගත ජය ගැනීමට මේ ජනතා එකමුතු බවද වුවමනා බව කිව යුතුය.

කොරෝනා දෙවැනි රැල්ලට මුහුණ දෙන්නට අපට ඇත්තේද මේ සිද්ධාන්තයමය.

එහෙත් ඒ සිද්ධාන්තයන් දැන් දැන් නොතකා හරින බව අපට පෙනේ. දැනේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන අන්දමට නිරෝධායන නීති ජනතාවගෙන් ගිලිහෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිරීක්ෂණය වී තිබේ. මේ තත්ත්වය මත යම් හෙයකින් අපේ රට තුළ ද යළිත් කොරෝනා රැල්ලක් ඇති වුවහොත්, අප රටක් ලෙස ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි වෛද්‍ය ජාසිංහගේ අදහසය.

සිංහලයාට ඕනෑම දෙයක් මතක ඇත්තේ සති දෙකක් පමණක් යැයි කීවේ හිටපු කොටි නායකයාය. අප කොරෝනා නිරෝධායන නීති සම්බන්ධයෙන් පෙන්නුම් කරමින් සිටින්නේ කොටි නායකයාගේ එම ප්‍රකාශය සත්‍යයක් බව යැයි අපට සිතේ. බොහෝ දෙනකුගේ හැසිරීමෙන් පෙනෙන්නට ඇත්තේ නිරෝධායන නීති පමණක් නොව, කොරෝනා නමින් වයිරසයක් අපේ රටටද පැමිණ තිබෙන බවක් හෝ අමතක වී ඇත්තා සේය.

මීට මාස දෙකකට පෙර අප සියලු දෙනා සිටියේ තම තමන්ගේ අල්ලපු ගෙදරට හෝ යන්නට නොහැකි තත්ත්වයකය. රටේ සියලු දෙනා එක්ව සමරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද, පාස්කුව, හජ්ජි උත්සවය, වෙසක්, පොසොන් මේ ආදී කිසිදු ආගමික, සංස්කෘතික උළෙලක් වෙනදා මෙන් සමරන්නට අපට හැකි වූයේ නැත. අපේ දරුවන්ට මාස හතරක පමණ කාලයක් පාසලකට යන්නට, විශ්වවිද්‍යාලයකට යන්නට හැකි වූයේ නැත. අපේ හිත මිතුරන්, ඥාතීන් දහස් ගණනක් තවමත් ගම රට එන්නට නොහැකිව විදේශයන්හි සිර වී සිටිති. මරණාසන්න රෝගියකුට බෙහෙතක් හේතක් මිලදී ගන්නට නොහැකිව කී දහසක් දෙනා සුසුම්ලන්නට ඇත්ද? දුකක් කරදරයක් ඇති වූ විටෙක කවුරුත් දුව යන පන්සලට, පල්ලියට, කෝවිලට යන්නටවත් අපට නොහැකි වූ බව බොහෝ දෙනකුට දැන් මතක නැති ගානය.

ඒ දිනවල හැම කෙනකුටම අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් මේ දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්නටය. ඒ අනුව සෞඛ්‍ය අංශ, පනහකට ආසන්න ක්ෂේත්‍ර සංඛ්‍යාවක් යළි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සම්පාදනය කර තිබේ. ඒ අනුව ඇතැම් ක්ෂේත්‍ර මේ වන විටත් ආරම්භ වී ඇති අතර පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල වැනි ක්ෂේත්‍ර ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතය. එසේම දෙවරක් කල් දැමූ මහ මැතිවරණයද තවත් මසකින් පැවැත්වීමට දින නියම කර තිබේ.

විවෘත වූ බොහෝමයක් ක්ෂේත්‍රවල මුල් දිනවල සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිනු දැකගත හැකි විය. මීටරයක් දුරින් පෝලිම්වල සිටීම, දෑත් සේදීම, ශරීර උෂ්ණත්වය මැනීම, මුඛ ආවරණ පැලඳීම, සෑම තැනකදීම අනිවාර්ය අවශ්‍යතාවක්ව තිබිණ. එහෙත් දැන් දැන් බෙහෝ තැන්වල මේවා කෙරෙන්නේ ඕනෑවට, එපාවටය. ඇතැම් තැනක දෑත් සෝදන්නට පහසුකම් තිබුණත් සබන් හා අත් සේදුම් දියර නැත. ශරීර උෂ්ණත්වය මනින්නේ අතරින් පතරය. මීටරය ඇත්තේ දුර මනින උපකරණවලය. මුඛ ආවරණ නොපැලඳ ගමන් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් බවට නියමයක් පැනවීමට සිදුවීම තුළින් මේ තත්ත්වය තේරුම්ගත හැකිය.

අප තවදුරටත් නිරෝධායන නියමයන් නොතකා, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නොසලකා සිටියහොත් යළිත් වරක් රට තුළ කොරෝනා වසංගතය පැතිර යෑම සිදු නොවනු ඇතැයි සහතිකයක් දිය හැක්කේ කාටද? එවැනි තත්ත්වයකදී රට තුළ එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුවහොත්, එහි වගකීම ගත යුත්තේ ආණ්ඩුව පමණක්ද? මෙවැනි තත්ත්වයක් වළක්වා ගැනීමට ඇඳිරි නීතිය පනවා, සංචරණයට සීමා පැනවීම හැර අන් විකල්පයක් ආණ්ඩුවට නැත. එවැනි අසීරු තත්ත්වයකට පත් වන්නේද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ අප අත නොවේද? මහ මැතිවරණය පවත්වන්නට, පාසල් විවෘත කරන්නට, පෞද්ගලික උපකාරක පන්ති විවෘත කරන්නට ආදී වශයෙන් තම තමන්ගේ ක්ෂේත්‍ර යළි විවෘත කරන්නට ආණ්ඩුවට බල කරන උදවියද ඒ බව තරයේ සිහි තබාගත යුතුය.