විශේෂාංග

කොරෝනා කාලේ කොළඹ රෑ සමනලියන්ට කවුඩා කොටයි

ළඳුනේ ළඳුනේ

ඔබේ දෑස දැක ගත්තෙමි

සැඳෑ කලෙක ළඳුනේ… ළඳුනේ

දෙනෝදහක් අත ගත්තද

සැමියෙකු නැති ළඳුනේ

නෑයෙක් නෑකම නොකියන

වීදි සරන ළඳුනේ.. ළඳුනේ

තෙල් මල් ගෙන දෝත පුරා

මුණි කුටියට පියමංවන

ඔබේ දෑස දැක ගත්තෙමි

සැඳෑ කලෙක ළඳුනේ….ළඳුනේ

පිරිමින්ගේ පාප කදට

දෝස විඳින ළඳුනේ

අඳුරේ පව් කරන දනා

එළිය ලබන ළඳුනේ

ළැම පමණක් ලොවට පෙනෙන

ළය නොපෙනෙන ළඳුනේ

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

මේ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ලියා අමරසිරි පීරිස් ගායනා කරන ගීතයක කොටසකි. මේ ගීතයේ එක තැනක ‘දෙනෝ දහක් අත ගත්තද සැමියකු නැති ළඳුනේ’ යනුවෙන් හැඳින්වෙන්නේ ඇගෙන් සේවාව ගන්නා සේවාදායකයා.කිසිසේත් ඇය විවාහ කරගන්නට එකඟ වන්නේ නැත. එමෙන්ම අඳුරේ පව් කරන නොහොත් ඇගෙන් සේවාව ගන්නා සේවාදායකයා එළියේදී ඇය නොරුස්නා පිළිතුරෙන් රවනා බවද අප අමතක නොකළ යුතුය.

ලෝකයේ පරණම රස්සාව ලෙස හැඳින්වෙන්නේ මෙම වෘත්තියයි. මෙම වෘත්තීය ගැන නිරීක්ෂණය කරන විට පිටකොටුව, බෝගහ කේන්ද්‍රිය වූ අවට ප්‍රදේශ විශේෂ වෙළෙඳ ස්වරූපයක් උසුලයි. ඊට හේතුවන්නේ මේ රටේ නන් දෙසින් කොළඹ එන හුදී ජනයා පිළිගැනීමට මේ රෑ සමනලියන් සැදීපැහැදී සිටි නිසාය. උපන් තේකට කොළඹට ආ දැහැමි උදවිය මේ රෑ සමනලියන් නිසා සබ්බ සකල මනාව අහිමිව සිහිසුන්ව සිටි විට කාමර කඩා එළියට ගත් අවස්ථා පවා මේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. කොරෝනාවට පෙර මෙම සමනලියන් පිටකොටුව ප්‍රදේශය ආශ්‍රිතව තම ගනුදෙනුකරුවන් සමග නොපැකිලිව ගණන් හිලව් කතා කරන්නේ කිසිදු චකිතයක් නැතුවය.

පසුගිය මාර්තු 19 වැනිදායින් පසු ලංකාවේ හඹා ගිය කොරෝනා රැල්ලට ලංකාවේ මෙන්ම ​ලෝකයේ සියලු ව්‍යාපාර සුන්නද්දූලිව යද්දී ලංකාවේ මේ පරණම රස්සාව කරන රෑ සමනලියන්ට කොරෝනා කවුඩා කොටන ලද්දේ හිත් පිත් නැති ලෙසය. ඇඳිරිනීතියත් සමග කාමර පහසුකම් ඇති තැන්ද වසා දමා රටම ලොක් ඩවුන් තත්ත්වයකට පත්වීම නිසා බොහෝ රෑ සමනලියන් තම ගම් රටවල් බලා යන්නට සිද්ධ විය. කොළඹ නැවතී මේ වෘත්තියේ යෙදුණ බොහෝ රෑ සමනලියන්ට සිදුවූයේ හුදකලාව තම කුටිවල අසරණව සිටීමටය. දහවලේත් තම වෘත්තිය සේවාවන් සැපයුවත් මේ යුවතියන්ට කියන්නේ රෑ සමනලියන් කියාය. ඇය හඳුන්වන්නට ඉතා පහත් වචන ඇතත් ඒවා පුවත්පතකින් පළකිරීම එතරම් සදාචාරාත්මක නොවේ. එහෙත් එම වෘත්තියේ පරතෙරට පැමිණි තැනැත්තියක හැඳින්වීමට මුලින්ම ‘පට්ට’ යන නම පටබැඳෙන්නේ නිතැතිනි.

මරදාන කියූ සැණින් මතකයට එන්නේ සුප්‍රසිද්ධ බුහාරි හෝටලය, ලී බඩුකඩ, පොත් කඩවලටත් වඩා මේ රෑ සමනලියන්ය. මෑත අතීතය වනතුරුත් මේ වෘත්තියට කප් ගසා තිබූ නගරය මරදාන විය යුතුය. ඒ නිසා අපේ ගමන මරදානේ ඇරඹුමයි. එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට බරාබිපාෂා පාරේ ටෙක්නිකල් හන්දිය තෙක් තිබුණ ‘ලොජ්’ නොහොත් නවාතැන්හල් මාස ගණනාවකින් විවෘත කළ බවක් දක්නට නැත. පසුගිය වසරේ මේ ලොජ් ටික සරුවට කෙරුණු මේ ව්‍යාපාරය පොලිස් වැටලීමකින් නිරාවරණය වූ විට අපේ ටී.වී., රේඩියෝ, පත්තර එය තලුමරමින් වාර්තා කළේ එහි සිටි අඩු වයස් රූමතියන්ගේ ගම් ප්‍රදේශ ගැනද සඳහන් කරමිනි.

ටෙක්නිකල් හන්දියෙන් පංචිකාවත්ත වටරවුම තෙක් පැමිණ වාහන අමතර කොටස් කඩ පසුකර ටවර් රඟහලද පසු කළෙමු. ටවර් රඟහලත් බුහාරි හෝටලයත් අතර නිතර රෑ සමනලියන් ගැවසෙන බව අපට මතක් කර දුන්නේ අපේ රථයේ රියැදුරාය. වෙනදාට 176 නුගේගොඩ, 103 බොරැල්ල ආදී බස්වල ගමන් කරන මගීන්ට මේ ‘රෑ සමනලියන්’ මේ ප්‍රදේශයේ සිටින දසුන සුලභ දසුනකි. එතැන උඩු මහලේ පිහිටි කාමර නවාතැන්දෙන ​හෝටලයට පිවිසියේ දුර බැහැර සිට එන මිතුරකුට කාමර අවශ්‍යතාවක් ගැන දැනගන්නා මුවාවෙනි.

‘‘මාත් දැන් තමා ආවා. ඒ.සී. නම් 3500/-, නන් ඒසී 2500/-යි. නෝමල් රූම් 1500/- යට හයර් යන අයිටම් නම් මං ආවට පස්සෙ තාම දැක්කේ නෑ’’

මේ කාමර දෙන තැන කළමනාකරු හයර් යන අයිටම් යනුවෙන් අදහස් කළේ රෑ සමනලියන් නොහොත් වීදි ගණිකාවන්ය. ගෙස්ට් හවුසියේ කළමනාකරු අපට විසිටින් කාඩ් දෙකක් දුන්නේය. එකක් ගෙස්ට් හවුස් එකේය. අනික වෑන් එකක් ගැනය. එහි තිබුණේ වැන් එකේ පින්තූරය සමග වෑන් ෆෝ හෙයාර් (කොණ්ඩය සඳහා වෑන්) ලෙසය.

අප ගෙස්ට් හවුසියෙන් පහළට එන විට තිබුණ ත්‍රිරෝද රථය අප සමග ගිය රියැදුරාගේ හිතවත්කමක් තිබූ එකකි.

‘‘මෙතැන ඉන්න ගෑනු ඔය අනුරාධපුර, පොළොන්නරු වගේ දුර පළාත්වලින් ආපු අය නෙමෙයි. ඔක්කොම මේ ළඟපාත. ඇඳිරි නීතිය අස්සෙත් මේ ව්‍යාපාරේ ගියා. සමහර පර්මනට්ස් කස්ටමර්ලා මේ ගෑනු නැවතිලා හිටපු පොයින්ට්වලට ගියා. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි. හදනවා නම් ඉතිං මකවල මුදේ දාලා හෝදල ගන්න වෙනවා‘’

ඉන්පසු අප ගියේ කොළඹ අධිකරණ සංකීර්ණය පසුකොට වේල්ලවීදිය නොහොත් ඩෑම්ස්ට්‍රීට් එකටය. එහි කාමරයක මිල රු. 1500/-කි. කළමනාකරුගේ කාමරය දේවාලයක් මෙන් විවිධ දෙවිවරුන්ගේ ඡායාරූපවලින් හා පිළිමවලින් පිරී ඇත. එහි තිබූ සෝකේස් එකේ සබන් කෑලි, ටූත් පේස්ට්, දත්බුරුසු, පවුඩර් ටින්, රේසර් සහ ෂැම්පු පැකට්වලින් පිරී තිබිණි.

‘‘අපි හින්දුන්ලා (අපි හින්දු භක්තිකයෝ) ළමයි එක්ක ආවොත් විතරයි ලොජින් (නවාතැන්) දෙන්නේ. වෙන වැඩවලට මේවා දෙන්නේ නෑ. ගොඩක් ජැෆ්නා පැත්තෙන් එන අය නවතින්නේ මෙහෙ තමයි.

ඉන්පසු අප කොටුව ස්ටේෂම පසුකර ආවේ බෝගහහන්දිය දෙසටය. මල්වත්ත පාර් සිට මධ්‍යම බස්රථ නැවතුම නොහොත් බෝගහහන්දිය තෙක් තිබුණ කාමර කුලියට දෙන බෝඩ් ගණන 17කි. බෝධිරාජ මාවතේ වායුසමනය කළ මනරම් කාමර පහසුකම් තිබේ. මධ්‍යම බස්රථ නැවතුම උඩු මහලේද ඇත්තේ කාමර කුලියට දෙන තැනකි. එම දෙවැනි මහලේ කාමර දෙන තැන රතු කාපට් දමා මල්පෝච්චි තබා ‘ෆ්ලෑෂ් ලයිට්’ද ගසා තිබිණි.

‘‘දැන් රෑ දහයට ගෙස්ට් හවුස් එක වහනවා. දැන් බිස්නස් අඩුයි. කොහොමත් මෙහෙ බිස්නස් වැඩි හවස හය හතෙන් පස්සේ. මේ කොරෝනාවට බයේ මිනිස්සු නවතින්න එනවා අඩුයි’’

පිටකොටුවේ වරක් රැඳී සිටි පිරිසක් කොරෝනා සමයේ හොඳින් නාවා ඇඳුම් අන්දවා නිරෝධායනයට යවනු අපට දැකගත හැකි විය. අප මේ ගැන විමසුවේ පිටකොටුවේ ග්‍රාම නිලධාරිවරයාගෙනි.

‘‘ඇඳිරිනීතිය තිබුණත් මේ ගෑනු මාස්ක් දාගෙන පාරේ හිටියා. පොලිසියට අහුවෙන්නේ නැතිවෙන්න. හැංඟි හැංඟි හොඳට ඇඳලා පවුඩර් එහෙම දාලා. බෝධිරාජ මාවතට වැටෙන අඩි සීයේ පාරේ හැං​ගෙන්න ලේසියි’’

සෝන්ඩර්ස් පෙදෙස ආරම්භයේ ඇති ගුණසිංහ ප්‍රතිමාව අසල ඇති ගොඩනැගිල්ල බොහෝදෙනා හඳුන්වන්නේ ‘මදාවි ෆ්ලැට්’ එක ලෙසය. එම ෆ්ලැට් එකේ සැඟවීමට ඒ තරම් අඳුරු තැන් තිබේ. ඇඳිරිනීතිය සමයේ පවා මේ රෑ සමනලියන් මේ මදාවී ෆ්ලැට් එක ඉදිරිපිට තම සේවාදාකයන් එනතුරු සිට ඇත්තේ පවුඩර් උලාගෙන මාස්ක් දාගෙනය.

මේ මදාවි ෆ්ලැට් එක ඉදිරිපිට අප ‘අරුණ’ වාහනය නවත්වාගෙන ඉන්නා විට රෑ සමනලියක් අප සමග කතා කළේ කිසි බයක් සැකක් නැතිවය.

‘‘අපි පුරුදුවෙලා තියෙන එකම රස්සාව මේක තමයි. සමහරු මේ සල්ලිවලින් කුඩු, ගංජා, අයිස් ගැහුවට සමහරු ඉන්නවා හොඳ පවුල් ජීවිත ගත කරන. දැන්නම් බිස්නස් අන්තිමයි. කන්න සල්ලිත් නෑ. රූම් තියෙන තැන්වල අය දැන් රූම් දෙන්න බයයි. කොරෝනා නිසා. පී.එච්.අයි. ඇවිල්ලා ගෙස්ට් හවුස් එක සීල් තියයි කියලා. ඇඳිරිනීතිය කාලේ හරිම අමාරුවෙන් තමයි බිස්නස් එකක් හොයා ගත්තේ.’‘

පිටකොටුවේ මීට කලකට ඉහත ගණිකාවන් දැනුවත් කරන වැඩමුළුවක් තිබිණි. ඇය එම වැඩමුළුවට පැමිණ සිටියාය. එහිදී මේ රෑ සමනලියන්ට වෛද්‍ය උපදෙස්ද ලබාදෙන ලදී.

අවසානයේ අප ඇමතුවේ පිටකොටුවේ පොලිසිටය.

‘‘කොරෝනාවට ඇඳිරිනීතිය දැම්මාම ගොඩක් අය ගම්වලට ගියා. මේ ප්‍රදේශයේ ජනශූන්‍ය වුණා. මුළු පළාතම සුද්දයි. පී.එච්.අයිලා චෙක් කරන නිසා ගෙස්ට්හවුස් මේ කට්ටියට රූම් දෙන්න බයයි. දැන් ටික ටික කට්ටිය එළිබහිනවා පෙන්වා. කොහොමත් රෑට ඇඳිරිනීතිය නිසා ගෙස්ට් හවුස් වහනවා’’

ත්‍රිරෝද රථ රියැදුරන් හා ගෙස්ට්හවුස් කළමනාකරුවන් අප සමග කීවේ මේ බොහෝ සමනලියන් රු. 5000/- දීමනාව ගන්න ගම්බිම් බලා ගොස් තවම පැමිණ නැති බවයි.

‘‘ගෙදරින් කෝල් කරලා බේත් ටික, සිල්ලර බඩු ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේ දැන් ඔය කර්මාන්තයත් හෝම් ඩිලිවරි වෙලා තියෙන්නේ. දැන් අමුතුවෙන් මෙහේ ඇවිල්ල රස්තියාදු වෙන්න ඕනනෑ’’ අපට එක් ත්‍රිරෝද රියැදුරකු කිව්වේ සමච්චලයට මෙනි. මේ කර්මාන්තයෙන් ක්ෂණික සල්ලිවලට පුරුදුවී දැන් ඔවුනට වෙනත් වෘත්තියක නියැළිය නොහැකි බවද ඔහුගේ මතයයි. නමුත් අවසන අපට තහවුරු වූයේ කොවිඩ් නිසා කොළඹ රෑ සමනලියන්ට කවුඩා කොටා ඇති බවමය.’

වජිර ලියනගේ