විශේෂාංග

කොරෝනා කාලේ අල්ලපු හිඟන්නන් කෝ ?

‘‘මෙහේ එක වේලකට හයසිය දෙනකුට බත ඉදෙනවා. ඒ බතට ගන්න එළවළු ඔක්කොම වගා කරන්නේ අපේ මේ ගොවිපොළේ’’

මේ කියන අපේ ගොවිපොළ පිහිටියේ දකුණු පළාතට අයත් අම්බලන්තොට රිදියගමය. එහි අක්කර විස්සක පමණ භූමියේ එළවළු පලතුරු වගා කර ඇති අතර ගොවි අත්ගුණය නොඅඩුව කියාපාන පරිසරයක් එහි දැකගන්නට ඇත. මෙහි සිටින කිසිවකු පාරම්පරික ගොවිතැනේ නියැළෙන්නන් නොවුණත්, ගොවිකම ඒ දෑත් බොහෝමයකට දැන් හුරුව ඇති සේය.

මේ දෑත්වල හිමිකරුවන් කව්දැයි රිදියගම කී විටම හඳුනා ගන්නට බොහෝ දෙනකු සමත්ය. එනම් රිදියගම නිවර්තන නිවහනේ සිටින්නේ පුනරුත්ථාපනය සඳහා යොමු කළ යාචකයන් බව බොහෝ දෙනා දන්නා නිසාය. ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් අල්ලා ගෙන පැමිණ මෙහි රඳවා ඇති යාචකයන් සංඛ්‍යාව හයසිය ගණනකි. මේ හයසිය දෙනා අතරට ඉකුත් කොරෝනා සමයේ පිටකොටුවේ ගුණසිංහපුරයෙන් අල්ලා ගෙන ගිය යාචකයන් පිරිසක් ඇතුළත්ය. ඔවුන් මෙහි රැගෙන ආවේ අධිකරණ නියෝග මතය. එසේ පුනරුථාපනය වෙන්නට රිදිගම නිවර්තන නිවාසයට යොමු කළ ඔවුන්ගේ අද දවස ගෙවෙන්නේ කෙසේද?
දකුණු පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා කොමසාරිස් මහේෂ් රන්ජිත් කරුණාරත්න මෙම යාචනයන්ගේ අද දවස ගැන මෙසේ කතා කළේය.

‘‘මුලින් කිව්ව වගේ මෙම නිවර්තන නිවාසයේ හයසිය දෙනකුට ඉඩ පහසුකම තියෙනවා. ගුණසිංහපුරින් යොමු කළ යාචකයන් පිරිස අපි බාර ගනිද්දී අපේ ඉඩ පහසුකම් ඉක්මවා ගිහින් තිබුණත් අපි ඔවුන්වත් බාරගත්තා.

එසේ කරගත් පිරිස අසූ එකක්. මෙතැනට ගෙන එන සෙසු යාචකයන් වගේම මොවුන්වත් සාමාන්‍ය පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කරන එකයි මුලින්ම කළේ. මෙම මධ්‍යස්ථානයේ ශාරීරික මානසික විශේෂ අවශ්‍යතා සහිත අය ඉන්නවා. සමහරුන් එක්තැන් වෙච්ච උදවිය. ගුණසිංහපුරෙන් මෙහි පැමිණි පිරිස අතරේ වැඩි දෙනෙක් අතක් පයක් හොලවලා වැඩක් පලක් කරන්න පුළුවන් උදවියයි. ඒ නිසා අපි ඔවුන්ව අපේ ගොවිපොළේ කෘෂිකර්ම කටයුතුවලට යොදාගන්න තීරණය කළා. ඊට යාචකයන්ගේ කැමැත්තත් විමසුවා.’’

එම තීරණයත් සමගින් කලක පටන් කෙරී ගෙන යන ගොවිපොළේ කටයුතුවලට මෙම පිරිස්ද යොදා ගැනිණි. මෙම නිවාසයේ සිටින හයසිය දෙනාට එක් වේලකට එළවළු කිලෝ හතළිස් පහක්වත් උයන්නට වුවමනාය. එසේ එළවළු දෙක තුනක් වේලකට හැදෙන අවස්ථාද තිබේ.

බැලූ බැල්මට මෙය කුඩා ගොවි ජනපදයක් සේය. වට්ටක්කා, බණ්ඩක්කා, අළු කෙසෙල් වැනි පහතරට එළවළු මෙන්ම ගෝවා බෝංචි කැරට් වැනි උඩරට එළවළුද මෙහි හොඳින් වගා කළ හැකිය. අමු මිරිස් රම්පේ, කරපිංචා, මඤ්​ඤොක්කා ඇතුළු අල බතල මෙන්ම කොළ පලා වර්ගත් ඇතුළත්ය. ‘‘කැත්තේ උදැල්ලේ වැඩට මේ අයගෙන් සමහරු එච්චර කැමැති නෑ. කොහොම වුණත් ගුණසිංහපුරෙන් ගෙනා පිරිසට අවශ්‍ය කරුණු කාරණා පහදාදීමෙන් පසුව, ඔවුන්වත් වගා කටයුතු සඳහා යොමු කළා. මෙහි සිටින සමහරුන්ගේ මානසික මට්ටම ඉක්මනට වෙනස් වෙනවා. එහෙම අයව වගා බිමේ තණකොළ ගලවන්නවත් දාන්න බෑ. සමහරුන්ට තණකොළ ගලවන්න කියලා කිව්වම එළවළු පැළත් ගලවලා දාන අවස්ථා තියෙනවා.’’

කරුණාරත්න මහතා සඳහන් කළේය. ඔහු කී ආකාරයට රිදියගම නිවර්තන නිවාස ගොවිපොළ පවත්වාගෙන යන්නේ කෘෂිකර්ම දෙපාර්ත​මේන්තුවේ ආදර්ශ ​ගොවිපොළක් හැටියටය.

මෙහි පුනරුථාපනය නිමා කරන පිරිසට එම ක්‍රියාවලිය සාර්ථකව නිමා කිරීමෙන් පසු තම නිවෙස් වෙත ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට අවකාශය තිබේ. ඊට පෙර ඔවුන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය මෙන්ම වැඩසටහන්වලට සහභාගි කොට හිත් සන්සුන් කිරීමේ සහ සිත් හැදීමේ ක්‍රියාවලියක්ද තිබේ. ඉන්පසු බාහිර සමාජය හා මුහුවන්නට හැකියාව ඇති, පුද්ගලයන්ව බාහිර සමාජය වෙත මුදා හරින්නට ද මෙහිදී ඉඩකඩ සැලසේ.
‘‘ගුණසිංහපුරේ ඉඳලා ගෙනාව යාචක අඹුසැමි යුවළක් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කළා. මේ යුවළගේ දොළොස් හැවිරිදි හා දාහතර හැවිරිදි දරුවන් දෙදෙනෙක් සිටියා. ඔවුන් වැස්සකටවත් ඉස්කොලෙකට ගිය අය නොවෙයි. ඒ දරුවන් හැසිරුණෙත් ඉතාම ආක්‍රමණශීලී විදිහටයි. ඒ දරු දෙදෙනාව පාසල් අධ්‍යාපනයට යොමු කරන්න අපි කටයුතු කළා.’‘

ඒ රිදියගමට ආ ගුණසිංහපුරයෙන් ගෙනා යාචකයන් කොටසකගේ අද දවස ගෙවෙන හැටිය.

මෙසේ අල්ලාගත් යාචකයන් දෙසියපනස් හයදෙනා පළමුව ගෙනාවේ මුලතිව් ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානයටය. මෙම පිරිසෙන් හැත්තෑ හත් දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය.

‘‘ඇත්තටම මේ පිරිස නිරෝධායනය කරන එක එක්තරා අභියෝගයක් වුණා. කොහොම නමුත් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහත්මය, ඒ අභියෝගය බාර ගන්න කැමැති වුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ පිරිස මෙල්ල කරන්න පහසු වුණේ නැහැ.
ඒ වගේම සමහරුන්ට තිබුණේ ඇඳගෙන ආව ඇඳුම විතරයි. මොවුන්ට ඇඳුම් පැලඳුම් දීලා කොණ්ඩ රැවුල් කපලා කන්න බොන්න දීලා සාමාන්‍ය තත්ත්වයට ගන්නයි මුලින්ම කටයුතු කළේ. ඒ වගේම අපි ඔවුන්ව අධ්‍යයනය කළා. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැන ශරීරික සෞඛ්‍ය ගැන අවධානය යොමු කළා. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව වගේම පවුල් ජීවිතයේ වටිනාකම ගැන කිලා දුන්නා.

අපට එසේ කීවේ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහය.

ගුණසිංහපුර සිට මුලතිව් කඳවුරට ගෙනා යාචකයන් අතරින් දෙසිය විසිහත් දෙනකු පිරිමින්ය. ඉන් තිස් එක් දෙනකු කාන්තාවන්ය. මොවුන් අතර සිටි වැඩිහිටියන් කිහිප දෙනකුට ආගිය තැන් ගැන කියන්නට හෝ තම ඥාතීන් ගැන කියන්නට හරි හැටි මතකයක් තිබුණේ නැත. කෙසේ හෝ දින විසි තුනක නිරෝධායන කාලය තුළ මේ පිරිස අතර සිටි මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩුවටත්, සෙසු පිරිස රිදීයගම පුනරුත්ථාපන නිවසටත් යොමු කරන්ට පියවර ගැනිණි. මේ අතර වයස්ගත කිසිවක් කර කියා ගැනීමට නොහැකි වූ පිරිස වැඩිහිටි නිවාස වෙත යොමු කරන්නට පියවර ගැනිණි. අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින්, තැන තැන අනුන්ට අතපාමින් ජීවත් වෙන්නට සිදුවුවද, අත සොලවා කට සොලවන්නට හැකි පසුබිමක් අද මොවුන්ට අත් විඳින්නට හැකිව තිබේ.
මේ අතරද ශරීර හොරුන් නැතුවාම නොවේ. අවස්ථාවක් ලදහොත් පුරුදු හිඟමනටම වැටෙන්නට ඔවුන් පසුබට වන්නේ නැත. ගුණසිංහ පුරෙන් එදා නහවා විෂබීජහරණය කර ගෙනා යාචකයන් කිහිප දෙනකු පුරුදු හිඟමනටම වැටී ඇතැයිද දැන ගන්නට ලැබුණි.

‘‘පුනරුත්ථාපන ක්‍රමවේද අනුව හොඳින් පුනරුත්ථාපනය වූ යාචකයන්ට රජයේ ගොවිපොළවල රැකියා කරන්න වාගේම, ඔවුන්ට ඔවුන්ගේ ගෙවල්වලට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ ඔවුන් ලබා දුන් ලිපින නිවැරදිද කියලා තහවුරු කර ගෙන පොලිස් සහතික ලැබුණට පසුවයි.’’
හිඟමනට වැටී සිටි කාලයක් තිබුණත්, ඔවුන්ටද දැන් ජීවිතයක් තිබේ. එකා දෙන්නා හෝ එම ජීවිතයට පැමිණීම හොඳය. කොරෝනා කාලයේ අල්ලාගෙන ගිය යාචකයන් අතරින් මතට ඇබ්බැහිවූවන් කන්දකාඩුවේ පුනරුත්ථාපනය වෙද්දී රිදියගම නිවර්තන නිවහනේ වගාවන් අතරට ශ්‍රම දායකත්වය දක්වන මෙම මිනිසුන් තවදුරටත් යාචකයන් යැයි කිව හැකි නොවේ. ඒ ජීවිතය ගොඩ දා ගන්නට සිතන්නේ නම් මේ ලැබුණු අවස්ථාව වුවද ඔවුනට හොඳටම ප්‍රමාණවත් බැවිනි.

මධුෂානි කොඩිතුවක්කු