කතුවැකි

කොරෝනා ඉවරද?

පසුගිය සිකුරාදා සිට ඊයේ වනතෙක් මෙරටින් කිසිදු කොරෝනා රෝගියකු හමුවී නැත. සිකුරාදා වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන් සංඛ්‍යාව 1950ක් වුවත් ඉන් 1526 දෙනකුම මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. රට තුළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අප බියගන්වන ලෙස ඉහළ නැංවීමට හේතු වූ වැලිසර නාවික හමුදා කඳවුරද ඊයේ යළි විවෘත කෙරිණ. රටේ එදිනෙදා ජීවිතය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ලබන මාසය මුලදී පාසල්ද යළි විවෘත වීමට නියමිතය. මේ මාසයේ අවසාන වනවිට සිනමාශාලා පවා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

මේ සියලු කාරණාවලින් කියැවෙන්නේ රට තුළ කොරෝනා ව්‍යාප්ත වීම පාලනය වී ඇති බවය. මේ නිසා ජනතාව තුළද කොරෝනා සම්බන්ධයෙන් තිබූ බිය පහව ගොස් ඇති බව පොදු ප්‍රවාහන සේවා, කාර්යාල, කඩසාප්පු මෙන්ම මහමගදී ඔවුන්ගේ හැසිරීම් අනුව සිතාගත හැකිය. කොළඹින් පිටට ගිය විට මේ කාරණාව වඩාත් හොඳින් තේරුම් යනු ඇත.

කෙසේ වෙතත් රට අභ්‍යන්තරයේ කොරෝනා පාලනය කොට ඇතත් අප තවමත් ආරක්ෂිත යැයි කිව නොහැක. කොරෝනා නිසා ලෝකය මේ වනවිට භයානක අදියරකට අවතීර්ණ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූයේය. කොරෝනා උපත සිදුවූ චීනයේ අගනුවරින් කොරෝනා රැල්ලක් මතුව තිබේ. කොරියාවේද දෙවැනි කොරෝනා රැල්ල මතුව ඇත. මේ තත්ත්වය මත මේ වනවිට ලෝකයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 9ක් හෙවත් ලක්ෂ 90ක් ඉක්මවා ගොස් තිබේ.

මේ මොහොතේ අප රට තුළ කොරෝනා පාලනය කර ඇතත් ලෝක තත්ත්වය සමග සසඳන විට ඉන් බේරී සිටින්නට අපට සහතිකයක් තිබේද? ඊට ඇති එකම මාර්ගය නම් ගුවනින් හෝ මුහුදෙන්, පිටස්තර කිසිවකු රට තුළට ඇතුල් කර නොගෙන සිටීමය. එසේම අප කිසිවකුටත් රටින් බැහැර වීමටද නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයක් සමාන වනු ඇත්තේ රොබින්සන් අන්දරයේ රොබින්සන් පවුල දූපතක සිරවී සිටීමේ තත්ත්වයටය. ප්‍රාථමික සාමාජයක අවම මූලික අවශ්‍යතා සහිත ජනතාවකට ලෝකයෙන් හුදකලාව දූපතක තනිව ජීවත්විය හැකි නමුත් නූතන ලෝකයේ යමෙකුට එසේ ජීවත් වියහැකි යැයි සිතන්නේ නම් ඒ රොබින්සන් අන්දරය වැනි මනඃකල්පිතයන් තුළ පමණකි.

කෙසේ වෙතත් හැකි සෑම අංශයකින්ම ස්වයංපෝෂිත වීම සඳහා කොරෝනා තත්ත්වය විසින් අපට උදාකර දී ඇති අවස්ථාව පැහැර නොහැරීමටද අප වග බලාගත යුතුය. කොරෝනා වසංගතය පැමිණීමෙන් පසු දේශීය ආර්ථිකයක් ගැන සාකච්ඡාවක් ආරම්භ වී තිබීම සතුටට කාරණයකි. එහෙත් මේ සාකච්ඡා ඵල දරනු ඇත්තේ ඒවා මනෝරාජික තත්ත්වයෙන් තොරව යථාර්ථවාදී පදනමකින් පවත්වාගතහොත් පමණකි. නිෂ්පාදන ආර්ථිකයක් සේම සරල ජීවන රටාවක ඇති වැදගත්කමත් පසුගිය දිනවල ඇගයීමට ලක්වූ කාරණයකි. නමුත් කොරෝනා බිය පහව යන්නට පටන් ගැනීමත් සමග අප බොහෝ දෙනකුට සරල ජීවන රටාවේ ඇති වටිනාකම අමතකව යන්නට පටන්ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කිරීම, සරල ජීවන රටාවක් පවත්වා ගැනීම සේම ආසාදිතයන් හමුවීම අඩුවී ඇතත් කොරෝනා කෙරෙහි ඇති බියද තවදුරටත් පවත්වාගත යුතු බව අපගේ අදහසය. විශේෂයෙන්ම ඉදිරි දිනවල කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වන බිය තවදුරටත් දැඩි කරන්නට සිදුවනු ඇත.

ලබන අගෝස්තු 01දා සිට විදේශිකයන් සඳහා ගුවන් තොටුපොළද විවෘත වීමට නියමිත බැවිනි. රටට මුලින්ම කොරෝනා වයිරසය ඇතුළු වූයේ ගුවන් තොටුපොළ හරහාය. ඉන් කියැවෙන්නේ ගුවන් තොටුපොළේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්හි යම් අඩුවක් තිබූ බවය. මේ නිසා අගෝස්තු 01දා සිට ගුවන් තොටුපොළ විවෘත වන්නේ නම් යළි එවැනි වැරැද්දක් සිදු නොවීමට වගබලා ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

සංචාරක ව්‍යාපාරය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයකි. මේ නිසා සංචාරකයන් රටට පැමිණීම වැළැක්වීම හෝ බාධා කිරීම මේ අවස්ථාවේ කිසිසේත්ම කළ නොහැකි කාර්යයකි. එසේ වුවත් මුදල් ලැබුණු පමණින් සංචාරකයන්ට සෞඛ්‍ය නිර්දේශ නොතකා නවාතැන් දීම හෝ සේවා සැපයීමෙන් වැළකී සිටීම අප කාගේත් වගකීමකි.

ගුවන් තොටුපොළද විවෘත කළ පසු අපට මුහුණ දීමට ඇති තවත් බරපතළ ප්‍රශ්නයක් වනු ඇත්තේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීමය. පසුගිය දිනවල සැලකිය යුතු පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු කළත් වැඩි පිරිසක් තවමත් මව් රටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඒ ඒ රටවල රැඳී සිටිති. මේ ආකාරයට කොයි මොහොතේ පැමිණෙන්නේදැයි බලා සිටින්නේද කොරෝනා උග්‍රව පැතිරී ඇති රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ය. මේ නිසා රටට පැමිණි පසු ඔවුන්ව නිරෝධායනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. එම කටයුතු හිඩැස් නොමැතිව කිරීම බලධාරීන්ගේ වගකීම වන අතර සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව කටයුතු කිරීම විදේශවල සිට එන අයගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ යුතුකමකි. ඔවුන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ගුවන් තොටුපොළ විවෘත වීමට නියමිතව ඇත්තේ රටේ කටයුතු මුළුමනින්ම පාහේ සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන තත්ත්වයකදී නිසාය.