ක්‍රීඩා

කොරෝනාව කෙළිබිමට කළ කෙළියක්

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් හිටි අඩියේ මතුවූ ‘කොරෝනා’ වෛරසය බොහෝ රටවල මිනිසුන්ගේ දෛනික කටයුතු අඩපණ කිරීමට තරම් බලවත් විය. විශේෂයෙන්ම එය ආසියාවට එල්ල කළ බලපෑම සුළුපටු නොවීය. වත්මන් ආසියාවේ බලවතා වන චීනය, ඇමෙරිකාව සමග කරට කර තරගයක නිරතව සිටින්නේ ලෝක බලවතා වීමටය. ඇමරිකාව සහ චීනය අතර ලෝකයේ ක්‍රීඩා බලවතා වීමේ සීතල යුද්ධයක්ද ඇත්තේය. චීනයට වැලඳුනු කොරෝනා වෛරසය ඒ සටනේද චීනයට අවාසිසහගත ලෙසින් බලපා තිබේ. කොරෝනා විසින් චීනයට පමණක් නොව සමස්ත ක්‍රීඩාවට ඇතිකරන්නේ කෙබඳු බලපෑමක්ද යන්න විමසා බලමු.

වුහාන්වලින් වා තලයට නිදහස් වූ මෙම මාරාන්තික වෛරසය මේ වනවිට රටවල් 23ක්ම ආක්‍රමණය කර අවසන්ය. මෙම ලිපිය ලියන මොහොත වනවිට චීනයේ පමණක් පුද්ගලයන් 200කට අධික පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙනි. මීට අමතරව චීනයෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 9000කට අධිකය. එහෙව් වාතාවරණයකදී තවදුරටත් ක්‍රීඩා ලොවේ ඉහළින්ම වැජඹීමට චීනයට ඉඩකඩ ලැබේවි ද?
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආසියාවේ පමණක් නොව ලෝකයේම හිනිපෙත්තේ සිටින ඉන්දියාවට, සෙසු බොහෝ ක්‍රීඩාවලින් චීනය පසුකර යෑමට ඇති අවස්ථාව අල්පය. හේතුව ‘චීනා’ ලෝක බලවතා වීමට යන ගමනේදී ක්‍රීඩාව ද අත්නොහැරීමය. ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු විට අන් සෑම ක්‍රීඩාවකින්ම පාහේ ආසියාවේ බලපුළුවන්කාරයා චීනයයි. මේ අතර ආසියාවේ ක්‍රීඩා ආධිපත්‍යයට ජපානය සිදුකරන අභියෝගය ද නොසලකා සිටින්නට අපට නොහැකිය. ඊට හේතුව ජපානය සහ චීනය අද වනවිට ජාත්‍යන්තර ක්‍රීඩාවට නැතුවම බැරි රාජ්‍යයන් වී තිබිම නිසාය.

මලල ක්‍රීඩාවේ මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන ‘ඔලිම්පික් උළෙල’ මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ හිදීය. ඒ මේ වසරේ ජූලි මාසයේදීය. ඒ අනුව එහි සමාරම්භයට ඇත්තේ තවත් මාස 5ක් පමණකි. මේ සඳහා කොරෝනාවෙන් එතරම් බලපෑමක් නැතැයි සමහරකුට සිතෙන්නට බැරි නැත.
එහෙත් මීට සමාන සෙසු වෛරසවලට සාපේක්ෂව මෙහි පැතිරීමේ ‌වේගය වැඩිය. වෛරසය ව්‍යාප්තවීමට ඇති අවකාශය පුළුල්ය. ලෝක බලවතා වන අමෙරිකාවට ද ඉන් බේරීමට නොහැකි විය. නවීන තාක්ෂණයෙන් කෙළ පැමිණි ජපානයටද ඉන් මිදීම සිහිනයක් පමණක්ම විය. මේ සටහන තැබෙන මොහොත වන විට ලොව තෙවැනි වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන රට වනුයේ ජපානයයි. මෙවර ඔලිම්පික් තරගාවලිය ඇත්තේ ජපානයේ ටෝකියෝ නගරයේය. එවන් වාතාවරණයකදී මෙවර ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩක සහභාගිත්වය මෙන්ම ප්‍රේක්ෂක සහභාගීත්වය ද අඩුවීමේ ප්‍රවණතාවයක් නැතිවාම නොවේ.

වත්මන් තාක්ෂණික දියුණුවත් සමග එවැන්නක් විය නොහැකි යැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුවද, තවමත් මේ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් සොයාගෙන නොතිබීම මගින් මෙම භීතිකාවේ දිග පළල, කාල සීමා ගැන කීමට තවම කල් වැඩිය.

මේ වනවිට කොරෝනා වෛරසය පැතිරී ඇතැයි වාර්තා වන රටවල් ගණන විසි තුනකි. ආසියානු රටවල් සියල්ලක්ම පාහේ ඊට ඇතුළත්ය. එය ආසියානු ක්‍රීඩා ආධිපත්‍යට එල්ලකර ඇත්තේ සුළුපටු බලපෑමක් නම් නොවේ.

2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සමගින් ශූරතාව දිනා ගන්නා චීනය එය තමන්ගෙන් යළි ගිලිහී යෑමට ඉඩ දෙතැයි සිතිම විහිළුවකි. එතැන් පටන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මුල් ස්ථාන කිහිපයෙන් එකක් තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගැනීමට චීනය සමත්විය.

මහ සයුරෙන් වෙන්ව පැවැතියද චීනයේ සහ ජපානයේ භෞතික පිහිටීම සැලකීමේදී විශාල පරතරයක් නොමැත. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට පැමිණීමට සිටින ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් වැඩිදෙනා පැමිණීමට සූදානම් වන්නේ චීනය හරහාය. ඊට හේතුව එම ගුවන් වාර බොහොමයක් චීනය හරහා සිදුවීමය. ඒ අතර ඇතැමුන් චීනයේ කෙටි සංචාරයක නිරතවී ජපානයට පැමිණීමට ගුවන් ටිකට්පත් සහ සංචාර වෙන්කරගෙන අවසන්ය. එපමණක් නොව ඔලිම්පික් උළෙළේ ප්‍රවේශපත් සියල්ලම පාහේ දැනටමත් විකිණී හමාරය.

එවන් වාතාවරණයක් යටතේ මෙවර ඔලිම්පික් උළෙලේ හෙට දවස කුමක් වේවිදැයි නිශ්චිතව යමක් පැවසීමට නොහැකිය. එනමුත් කොරෝනාවෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සිදුවන බලපෑම නම් තවමත් පහව ගොස් නැත.

මේ අතර පෙබරවාරි මාසයේදී චීනයේ හැන්ග්සූ හී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව මේ වනවිටත් අත්හැර දමා අවසන්ය. එපමණක් නොව ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාව ද 2021 වසර දක්වාම කල් තබා ඇත්තේ කොරෝනා හේතුවෙනි. අන්තර්ජාතික ක්‍රීඩා දින දසුනේ ප්‍රධාන තරගාවලිවලින් අකර්මණ්‍ය වනු ඇතියි සිතීමට හැකි තරගාවලි රැසකි.

පෙබරවාරි 6 වැනිදා සිට 9 වැනිදා දක්වා චීනයේදී පැවැත්වීමට තිබූ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ කාන්තා පැසිපන්දු තරගාවලිය නිසැකවම එහි නොපැවැත්වෙනු ඇත. මාර්තු 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ නැන්ජින්හිදී පැවැත්වීමට නියමිතව තිබූ අන්තර්ජාතික ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය මේ වනවිටත් අවලංගු කර හමාරය. අප්‍රේල් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත චීන ගෝන් ප්‍රී ෆෝර්මියුලා 1 ධාවන තරගාවලියද බොහෝදුරට නොපැවැත්වෙනු ඇත. ඒ පිළිබඳව චීන බලධාරීන්ට නොපැකිළව තීරණයක් ගතහැකි වන්නේ එය චීනයේ පැවැත්වෙන බැවිණි. එළැඹෙන මැයි 10 වැනිදා දීනයේදී පැවැත්වීමට නියමිත ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය මෙන්ම, මැයි 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත නූතන පංච ප්‍රයාම ලෝක ශුරතාව පිළිබඳව ද එරට බලධාරීන් එම තීරණයම ගනු ඇත. මෙම වසරේ අවසන් භාගයේදී එනම්, නොවැම්බර් 2 වැනිදා සිට 8 වැනිදා දක්වා ලෝක කාන්තා ටෙනිස් සංගමය විසින් චීනයේදී පැවැත්වීමට නියමිත WTA ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට හෝ කොරෝනා වෛරසයෙන් බලපෑමක් සිදු නොවනු ඇතැයි සිතේ.

මීට අමතරව අද (01 වැනිදා) ඔස්ට්‍රේලියාවේ කැන්බරාහිදී ඇරඹෙන තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියටද එහි බලපෑමක් සිදු නොවනු ඇත. මේ වනවිටත් තරග සංවිධායකයන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත. මාර්තු මාසයේ ඔස්ට්‍රේලියාවේදීම පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයටද ඉන් බලපෑමක් විය හැක්කේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි වුවහොත්ය.

‘ෆිෆා‘ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ද මාර්තු මස අගදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව, චීනය ඇතුළු බොහෝ රටවල් ආසියාව හරහා තම සත්කාරක රටවල් වෙත ගමන් කිරීමට නියමිතව ඇත. නමුත් කොරෝනා වෛරසය තවම එයට අවසර දී නොමැත. එම තරගාවලිය මේ වනවිටද අනාරක්ෂිතව පවතියි. විදෙස් ක්‍රීඩකයන් මෙම තරග සඳහා සහභාගී වීමට කැමැත්ත පළ කරාවිද යන්න ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

මෙවන් තරගාවලි රැසක් කොරෝනා නිසා තවමත් වැටඋඩ බලා සිටින්නේ එහි අවසානයක් දකින තුරුය.

සචිත් යාපා/ චතුර රණසිංහ