කතුවැකි

කොරෝනාවෙන් කොර වෙන්නේ නැතිව ඉඳිමුද?

කොරෝනා වෛරසයෙන් ආසාදිත වූ චීන කාන්තාවක මෙරටදී හමුවීමත් සමග මෙම රෝගය සම්බන්ධයෙන් තිබූ බිය දෙගුණ තෙගුණ වී තිබේ. මෙවැනි වසංගත රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් බියක් ඇතිවීම සාධාරණය. ඒ කොරෝනා ආසාදනයට තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බැවිනි. ඊයේ (28 වැනිදා) සවස වන විට චීනයේ පමණක් පන්දහසක් පමණ පිරිසකට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති අතර සියයකට අධික පිරිසක් මියගොස් තිබේ.

මෙවැනි රෝග තත්ත්වයක් ඇති වූ විටෙක බියට පත්වීම සාධාරණ දෙයක් වුවත් අනියත බියක් ඇතිකර ගැනීම තත්ත්වය සංකීර්ණ වීමට හේතුවේ. එවිට සිදුවන්නේ මතුව ඇති ආපදාව නිසි ලෙස කළමනාකරණයට බාධා සිදු වීමය. එමගින් ආපදාව නිසා සිදුවන හානියට වැඩි අතුරු හානි සිදුවිය හැකිය.

කොරෝනා වෛරසය වාර්තා වීමත් සමග චීනය ඉතා සක්‍රියව ඒ පිළිබඳ කටයුතු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දැනුවත් කරන්නට පටන් ගත්තේය. 2003 වසරේ සාර්ස් වෛරසය පැතිර යන්නට වූ විට චීනය කටයුතු කළේ මීට වෙනස් ආකාරයකටය. ඊට වෙනස්ව යමින් ලෝකය දැනුවත් කරමින්, තමන්ගේ රට තුළ රෝගය පාලනයට චීනය පියවර ගැනීම නිසා ලෝකයේ සියලු රටවලට කඩිනම් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්නට හැකිව තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවද උපරිම ලෙස ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගෙන ඇත්තේ ඒ අනුවය. මෙම ක්‍රියාමාර්ගවල යම් යම් අඩුපාඩු තිබිය හැකි නමුත් මේ දක්වා ගෙන ඇති පියවර සාපේක්ෂව සාධනීය තත්ත්වයක පවතී. මේ වන විට අයිඩීඑච් උණ රෝහල ඇතුළුව රටේ ප්‍රධාන රෝහල් දොළහක් සීරුවෙන් තබා ඇති අතර ගුවන් මගීන් පරීක්ෂාව දැඩිකොට ඇත. කොරෝනා අසාදිත චීන කාන්තාවක හමුවූයේද එම පරීක්ෂාව නිසාය. මේ අතර චීන ජාතිකයන්ට පැමිණීම මත වීසා (On Arrival Visa) ලබා ගැනීමේ පහසුකම්ද අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ජනතාව අතර අනවශ්‍ය බියක් හා කලබලයක් ඇතිව තිබෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවල අඩුවක් නිසා නොව මුහුණුපොත හා ඇතැම් වෙබ් අඩවි පතුරවමින් සිටින වාර්තා හේතුවෙනි. මේ වාර්තා බොහෝමයක් තහවුරු නොකළ හා මූලාශ්‍ර රහිත තොරතුරුය. ඇතමකු ආණ්ඩුව සමග ඇති දේශපාලන එදිරිවාදිකම් පිරිමහගන්නටද මෙය අවස්ථාවක් කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

කොරෝනා ආසාදනයට ලක්ව දැනට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ (28 වැනිදා) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය. කොරෝනා වෛරසය සාර්ස් වෛරසය තරම් භයානක නොවන බව මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රකාශ කොට තිබේ. එතුමා මේ බව ප්‍රකාශ කරන්නේ උතුරු මැද ආණ්ඩුකාරයා ලෙස නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් රෝග පිළිබඳ කමිටුවේ හිටපු උපදේශකයකු ලෙසය. එහෙත් මුහුණු පොතේ මේ ගැන සටහන් තබන අය මහාචාර්ය තිස්ස විතාරණ වැනි ප්‍රාමාණිකයන්ටද වඩා වියතුන් වී තිබේ. කොරෝනා වෛරසය සුළඟින් බෝවන බව කියන්නේ එවැනි අයය. එහෙත් වෛරස් රෝග සුළඟින් බෝ නොවන බව මේ වියතුන් දන්නේ නැත.

මුහුණුපොතේ තවත් පිරිසක් හැසිරෙන්නේ සෑම චීන ජාතිකයකුම කොරෝනා ආසාදිතයකු ලෙස සලකමින් බව පෙනෙන්නට තිබේ. ඔවුන් කල්පනා කරන්නේ කොරෝනා වෛරසය චීන ජාතිකයන්ට ආවේණික රෝගයක් ලෙසය. කොරෝනා ආසාදිතයකු වීමේ අවදානම ඇත්තේ චීනයේ සිට මේ දිනවල පැමිණෙන චීන ජාතිකයන්ට පමණක් බවත්, මේ අවදානම එරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන්ද ඇති බවත් මේ පණ්ඩිතයන්ට අමතකව ගොස් ඇත.

මුහුණුපොතේ සංසරණය වන ඇතැම් අදහස් අනුව පෙනී යන්නේ කොරෝනා වෛරස් බිය චීන විරෝධයක් දක්වා වර්ධනය කරන්නට ඇතැමකු උත්සාහ කරමින් සිටින බවය. මේ සඳහා ඔවුන් රෝගය හා එහි සැබෑ තත්ත්වය පසෙක තබා චීන ජනතාවගේ ආහාර සංස්කෘතිය, ජීවන රටාව, ඇවතුම් පැවතුම්වලට ගරහන්නට පටන්ගෙන තිබේ. එක් එක් ජාතීන්ගේ ආහාර, සංස්කෘතීන් ගොඩ නැගෙන්නේ ඔවුන්ගේ දේශගුණික සාධක, ඓහාසික සාධක, සංස්කෘතික සාධක වැනි කරුණු පදනම් කරගෙනය.

ඉස්ලාම් භක්තිකයා ඌරුමස් අනුභව නොකරන්නේය. හින්දු භක්තිකයා ගවමස් අනුභව නොකරන්නේය. බෞද්ධයන් වුවත් අප මේ සියලු මස් වර්ග පමණක් නොව බොහෝ සතුන්ගේ මස් අනුභව කරමු. අප අනුභව නොකරන සත්ත්ව මාංස අනුභව කිරීම නිසා චීන ජාතිකයන් ලෝකයේ අනෙකුත් ජාතීන්ට වඩා අපිරිසුදු යැයි හෝ සෞඛ්‍යය සම්පන්න නොවන්නේ යැයි කියන්නේ කෙසේද?

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මේ දක්වා කොරෝනා වෛරසය අසාදානය වී නැත. ඔවුන්ගේ දෛනික කටයුතුවලට යම් යම් අපහසුතා ඇති වී තිබෙන නමුත් එරට සෞඛ්‍ය පහසුකම් ගැන ඔවුන් කිසිවකු අසතුට පළ කරන්නේ නැත. චීන ජනතාවට ලැබෙන සෑම පහසුකමක්ම ඔවුන්ටද ලැබෙන බවද ඔවුන් සඳහන් කරන්නේ මහත් ප්‍රසාදයකිනි. චීනයේ එසේ වෙද්දී අප රටේ, අප චීන ජාතිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද?

චීන ජාතිකයන් කොරෝනා වෛරසයෙන් පීඩා විඳීම ගැන අදහස් පළකරන ඇතමකු ඒ සඳහා බෞද්ධ ධර්මයද අවභාවිත කරමින් සිටී. චීනයට අද විඳින්නට සිදුව ඇත්තේ ඔවුන් කළ දේවල ප්‍රතිඵල යැයි කියන මේ අය සැබෑ බෞද්ධයා අසරණයන්ට රෝගීන්ට පිහිට වන මහා කරුණාවක් සහිත උතුම් මිනිසුන් බව දන්නේ නැත. යමෙකු රෝගියකු උවටැන් කරන්නේද හේ තමන්ට උවටැන් කරන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

කෙසේ වෙතත් මේ ෆේස්බුක් පණ්ඩිතයන් මෙරට වෙසෙන චීන ජනතාව ගැන සානුකම්පිතව බලනු ඇතැයි අපේක්ෂා කළ නොහැක්කේ ඔවුන් එහි සිටින අපේම ජනතාව ගැන පවා බලන ආකල්පය නිසාය. මේ ඇතැමකු කියන්නේ චීනයේ කොරෝනා තර්ජනය ඇති ප්‍රදේශ පමණක් නොව අනෙකුත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා මෙරටට ගෙන්වීමෙන් වැළකී සිටිය යුතු බවය. චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කම්පාවට පත්ව ඇත්තේ කොරෝනා තර්ජනය ගැන නොව මෙවන් ප්‍රකාශ ගැනය. මෙවැනි මුග්ධයන්ගේ මත පරාජය කිරීම කොරෝනා වෛරසය වැනි වසංගත මර්දනය කිරීමට වඩා අසීරුය.