විශේෂාංග

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

කොරෝනා වෛරසය පැතිරී යාමත් සමග ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට දේශීය වෙදකම යළිදු වරක් මතක් විය. පෙරුම්කායන්, කහ, කොත්තමල්ලි, වෙනිවැල්ගැට සොයා ඔවුහු කඩවල් පීරූහ. එබැවින් මෙවැනි වසංගතවලට ආයුර්වේදයේ ප්‍රතිකාර තිබේදැයි අප ඇසුවේ ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංගගෙනි.

ආයුර්වේදයේ වසංගතයක් ලෙස හඳුන්වන්නේ මොකක්ද?

රෝගී වූවකු සමග මෛථුන්‍ය සේවය, ශරීරය ස්පර්ශය, රෝගී වූවකුගේ ප්‍රාශ්වාස වාතයෙන්, ශරීර තරල ස්පර්ශයෙන්, මුහුණට මුහුණ හිඳ සිටීමෙන්, එකම පිඟන් කෝප්ප ආදිය භාවිතයෙන්, රෝගී වූවකු පරිභෝජනය කර ඉතිරි කරන ලද ආහාර අනුභවයෙන්, ඇඳුම්, ආලේපන, ආභරණ පොදුවේ භාවිත කිරීමෙන් ඇතිවන කුෂ්ට, ඡ්වර, ශ්වසන රෝග, අක්ෂි රෝග ආදී වසංගත ලෙස ආයුර්වේදයේ හඳුන්වනවා.

ලංකාවේ වසංගත බවට පත්ව තිබූ වසූරිය, මැලේරියාව වැනි රෝග සඳහා ආයුර්වේදයෙන් මුහුණ දුන්නේ කොහොමද?

ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් නම් නැහැ. සියලුම රෝගවලට ආයුර්වේදයේදී පුද්ගලයාගේ ප්‍රකෘතිය අනුව ප්‍රතිකාර කළ බවට සඳහන් වෙලා තියෙනවා. ආයුර්වේදයේදී රෝග ලක්ෂණයට නෙවෙයි ප්‍රතිකාර කරන්නේ, රෝගී නිධානයට. එතකොට ඒ බෙහෙත පුද්ගලයාට තිබෙන සංකූලතා අනුව බලලා පුද්ගලයාගේ ප්‍රකෘතිය බලලා අතීතයේදී ප්‍රතිකාර කළ බව ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා.

‘අභීවාතක රෝගය’ ලෙස හඳුන්වන්නේ මොන වගේ රෝගයන්ද?

අභීවාතක රෝගය කියන්නේ බුද්ධ සාහිත්‍යයේ සඳහන් වෙච්ච රෝගයක්. ඒ කාලෙදිත් ඒක ඇතිවෙලා තියෙනවා. එහිදීත් අද වගේම නිරෝධායන ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ රෝගය හැදිච්ච හැමදෙනාම මැරිලා තියෙනවා. එතකොට අනිකුත් ජනතාවට මේක වැලඳීමෙන් වළක්වා ගන්න යම්කිසි පුද්ගලයකුට වැලඳුණාම ඒ පුද්ගලයා ගෙදර ඇතුළට දාලා දොරට ඇණ ගහලා තමයි වහලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් රෝගයෙන් බේරෙනවා නම් බේරෙන්න ඕන මුදුන් බිත්තිය කඩාගෙන තමයි එළියට එන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ හොඳටම ප්‍රතිශක්තිය තියෙන කෙනෙක් තමයි බිත්තියක් කඩාගෙන එළියට එන්නෙ. එහෙම මං හිතන්නේ ඝෝෂක කියලා සිටු පුත්‍රයෙක් එහෙම කඩාගෙන ගිහිල්ලා පස්සේ ආපසු ඇවිල්ලා නැවත සිටු තනතුරට පත්වුණා කියලා මම බෞද්ධ සාහිත්‍යයේ කියවලා තියෙනවා. මේ රෝගයත් ශ්වසන රෝගයක් වගේ තමයි. සුළඟෙන් වගේ බෝවන රෝගයක් මිනිසුන්ගෙන් මිනිසුන්ට. ඒක හරියට මොකක්ද කියන එක දන්නෙ නැහැ. මිනිස්සු ඒක වැලඳිච්ච ගමන්ම මැරිලා වැටෙන තත්ත්වයක් ඇතිවුණා කියලා තමයි මට මතක විදිහට සඳහන් වෙන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව ආයුර්වේද දෙපාර්තමේන්තුව මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ?

ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට ජනතාවට දැනුම්දීමක් කළා මේ අවස්ථාවේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නේ කෙසේද, ඒ වගේම තමන්ගේ ගෙවල් තුළට මේ විෂබීජය ඇතුල් වන්නේ කොහොමද, එය වළක්වා ගන්නේ කොහොමද කියලා. පෙබරවාරි මාසයේ අපි වෛද්‍යවරුන්ට පොදුවේ ආරාධනා කළා මේ සම්බන්ධයෙන් එන්න සාකච්ඡාවක් කරන්න කියලා. එතකොට 60ක වගේ ආයුර්වේද වෛද්‍යවරු සමග සාකච්ඡා කළා තියෙන අඩුපාඩු පිළිබඳව. යම් යම් මාධ්‍ය හරහා අපි දැනුවත් කිරීම් කළා ජනතාවට මොකක්ද මේ අවස්ථාවේ කරන්න පුළුවන් ක්‍රියාමාර්ග, දැනට ඇත්තටම නිරෝධායන පනත යටතේ බලය තියෙන්නේ කෙලින්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට. රෝගියකු වාර්තා වුණොත් අනිවාර්යයෙන් එතුමා ප්‍රසිද්ධ කරලා තියෙන ඒ රෝහල්වලට යොමු කරන්න කියන එක කියනවා. අපි මේ අවස්ථාවේදී කරන්නෙ ඒකට සහයෝගයක් විදිහට ජනතාවට රොගයෙන් වැළකෙන්න තමන්ගේ ප්‍රතිශක්තිකරණය ගැන දැනුවත් කරන උපාය මාර්ග පිළිබඳව දැනුවත් කිරීම.

ජනතාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට මොන වගේ ආහාරද පරිභෝජනයට ගන්න ඕනේ?

අපේ ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය විශාල වශයෙන් වෙනස්වෙලා තියෙන්නේ. චීනයට ගියොත් චීන කෑම කන්න පුළුවන්, ඉන්දියාවට ගියොත් ඉන්දීය කෑම කන්න පුළුවන්. ලංකාවේ කඩේකට ගියොත් ලංකාවේ කෑම හැරෙන්න අනිත් හැමදේම තියෙනවා. අපි මේ අවස්ථාවේ ජනතාවට කියන්නේ තමන්ගේ රටේ වැවෙන කෑම කන්න කියලා. සංකල්පයක් තියෙනවා දේශාත්මීය ආහාර සංකල්පය කියලා. එතකොට පුද්ගලයකුට හරියන්නේ එයාගේ අවට පරිසරයේ හැදෙන කෑමබීම. එතකොට ක්ෂණික ආහාරවලින් පුළුවන් තරම් ඈත්වෙන්න, ස්වභාවික ආහාර ගන්න. ඒත් එක්කම ඖෂධීය පානයන්, කොළකැඳ, රණවරා, බෙලිමල්, ඉරමුසු වගේ දේවල් භාවිතයට ගන්න කියන එක තමයි කියන්නේ.

අමතර දෙයක් විදිහට අපි කියනව අපේ තැම්බුම් හොද්ද. අතීතයේ පටන් අපේ ලෙඩරෝගවලට විසඳුමක් ලබාදුන්න එකක් තැම්බුම් හොද්ද. ඒ තුළින් ප්‍රතිශක්තිකරණ වර්ධනයක් සිද්ධ වෙනවා. එවිට ආහාර ජීර්ණ පද්ධතිය හොඳට සකස් වෙනවා. එතැනින් තමයි අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්නේ. අනිත් එක තමයි පුද්ගලයන් මේ වෙලාවේ අනිසි බියක් ඇතිකර ගන්න එපා. තමන් සන්තෝසයෙන් ඉන්න. තමන් දුකට පත්වෙච්ච වෙලාවක හැම තිස්සේම වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙනවා. ඒ නිසා නිතරම තමන්ගේ විනෝදාංශයක යෙදෙන්න. ගීතයක් රස විඳලා හරි හැකි තරම් සතුටින් ඉන්න. හිතට දුක කියන දේ නොදී බොහොම සන්සුන් මනසකින් කටයුතු කරන්න.

අපේ රටේ කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීමට ආයුර්වේද කෑම වට්ටෝරුවක් තියෙනවද?

මේ අවස්ථාවේදී අපි ජනතාවට කියලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම නැවුම් එළවළු, පලතුරු ආහාරයට ගන්න. එතකොට අපි කියනවා දොඩම්. නෙල්ලි, වෙරළු, නමිනං, අනෝදා, කෙසෙල් නම් සුවඳැල් වගේ දේවල් ආහාරයට ගන්න කියලා. යකි නාරං, එළබටු, වැල් තිබ්බටු, හීන් බෝවිටියා, ගොටුකොළ, මොනරකුඩුම්බිය, මුස්ඇන්ද, පොල්පලා, කරපිංචා ඒ වගේ​ දේවල්වලින් එකක් හෝ කීපයක් මිශ්‍ර කරලා කැඳක් හදාගන්න කියන එක ජනතාවට කියනවා. ඊට පස්සේ අනිත් එක තමයි අපි ජනතාවට කියනවා පුළුවන් තරම් පාරම්පරික සහලෙන් හදාගත්ත කැඳ වර්ගයක් ආහාරයට ගන්න කියනවා. කැඳවලට පාරම්පරික සහල් මිශ්‍රකර ගැනීම වැදගත්. අනෙක් එක තමයි පාන වර්ග ගන්නවා නම් බෙලිමල්, රණවරා, ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, කුරුඳු පානයක් විදිහට පාවිච්චි කළොත් ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඉබේම වර්ධනය වෙනවා.

වසංගත රෝග පැතිර යන කාලවලදී පුරාණයේ නිවාසවල කොහොඹ අතු, ගොක් අතු එල්ලීමේ සිරිතක් තිබුණා නේද?

අපි අතීතයේ පටන්ම නිරෝධායනය කියන එකට විරුද්ධ වෙච්ච ජාතියක් නෙවෙයි. මම දන්නෙ නැහැ ඒකට ඇයි මිනිස්සු විරුද්ධ වුණේ කියලා. අපි ස්වයංව නිරෝධායනය වෙච්ච ජාතියක්. අපි ඒ කාලයේ ඇත්තටම මේ වගේ ලෙඩවලට කිව්වෙ දෙයියන්ගෙ ලෙඩ කියලා. ඒ වගේ ලෙඩක් අපිට හැදුණොත් අපි කරපු දේ තමයි අපි අනිත් අයට ගේ ඉස්සර ගොක් කොළ රෑනක් එල්ලලා, කොහොඹ අත්තක් එල්ලලා, එහෙම නැත්නම් අඹ අත්තක් එල්ලලා අපි ඒගොල්ලන්ට කිව්වා සමාජයට දැනුම් දුන්නා ඒ ගෙදර මෙහෙම ලෙඩක් තියෙනවා අපිත් එක්ක ගනුදෙනු කරන එක සීමා කරන්න කියන එක. ගෙදර ඉන්නෙ එක රෝගියා නම් ඒ අය අපි වෙන්කරලා වෙනම කාමරයක ඔවුන් රැඳෙව්වා. එතකොට එයාට වෙනම පිඟන් කෝප්ප දුන්නා ඒ අයගේ ඇඳුම් පැලඳුම් වෙන කෙනෙක් පරිහරණය කළේ නැහැ. සාමාන්‍යයෙන් එයාගේ පිඟන් කෝප්ප හේදුවේ එක පුද්ගලයෙක් පමණයි. රෝගියා ආහාරයට ගත් ආහාරවල ඉතිරියක් වුණේ නම් එය සතෙකුටවත් නොදී වළදැම්මා. එහෙම තමයි අපි නිරෝධායනය කළේ. නොපෙනෙන බලවේගවල තිබෙන පිහිටත් අපි ඒ කාලේ ගත්තා. පත්තිනි දේවාලෙට ගිහිල්ලා පඬුරක් ගැටගහලා කපු මහත්තයාට කියනවා අපේ ගෙදර මෙහෙම ලෙඩක් හැදිලා තියෙනවා කියලා. එතකොට කපු මහත්තයා ඒක ගමට සන්නිවේදනය කරනවා මේ ගෙදර මෙහෙම ලෙඩක් තියෙනවා කියන එක. එතකොට මුළු ගමම දැනුවත් වෙනවා ඒ අදාළ ගෙදර මෙහෙම ලෙඩක් තියෙනවා කියලා. ඇත්තටම බොහොම කලාතුරකින් තමයි අනෙකුත් ගෙවල්වලට මෙහෙම ලෙඩක් පැතිරුණේ. අදත් අපි කරන්නේ ඒ දේම තමයි. නිරෝධායනය කියලා නම පොඩ්ඩක් බරපතළ වුණාට අපි ඊට සහයෝගය දෙන්න ඕන. අපි කැමැත්තෙන් නිරෝධායනය වෙච්ච ජාතියක්. අතීතයේ හිටපු මිනිස්සු තව කෙනෙක් ගැන වැඩිපුර හිතුවා. දැන් වෙලා තියෙන්නේ මුදල් පසුපස හඹා යන ලෝකයේ හැමෝටම කාලය වැදගත්​ වෙලා තියෙනවා. අද දවසේ තමන්ට උපයා ගන්න තියෙන මුදල ගැන තමයි හැමෝම සලකන්නේ.

අපි දැකලා තියෙනවා සමහර වෙලාවට උණ රෝගය පිටින් දරුවා ටියුෂන් පන්තියට යවනවා. ඒ තුළින් අනෙක් ළමුන්ට සම්ප්‍රේෂණය වෙලා පන්තියේ ඉන්න අනිත් ළමුන්ට ලෙඩරෝග හැදෙනවා. අපේක්ෂාවන් හඹා යන ලෝකයේ ජනතාව තමන්ගේ මානුෂික ගුණාංග අමතක කරලා තියෙනවා. මේ වගේ ලෙඩරෝග සුව කිරීමට ආයුර්වේදය පැත්තට හැරෙන්න වෙනවා.

කොරෝනා වෛරසයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා හරහා නෙයෙකුත් ඖෂධ වට්ටෝරු ගැන දැනුවත් කිරීම් සිදුවෙනවා. මේවගේ සත්‍යතාවක් තියෙනවද?

සමාජ මාධ්‍ය ජාලා හරහා එන ඖෂධ වට්ටෝරු නම් අත්හදා බලන්න යන්න එපා. ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් මේ අවස්ථාවේ හුදු ආර්ථික වාසිය විතරක් බලලා රුපියල් දෙසීයට මේ වගේ බෙහෙතක් තියෙනවා, මේක හොඳයි කොරෝනා වෛරසයෙන් මිදෙන්න කියලා ඒ වගේ ප්‍රචාර ගෙනියනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එම ඖෂධ අත්හදා බලන්න යන්න එපා. අවශ්‍ය අවස්ථාවලදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට අපේ වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව සියලු දෙනා දැනුවත් වෙන්න. යම්කිසි විදිහකින් රෝග ලක්ෂණ ඇති අයකු සිටිනවා නම් අනිවාර්යයෙන්ම නියම කරපු රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න.

දේශීය ඖෂධවල හිඟයක් පවතිනවාද?

වෙළෙඳපොළේ ඖෂධ හිඟයක් තිබුණත් අපේ ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟයක් නැහැ. අපි ආයුර්වේද සංස්ථාවත් එක්ක එකතු වී ඖෂධ නිෂ්පාදන කටයුතු කරන්නේ. ඊට අමතරව අපේ රෝහල තුළත් වෙන වෙනම ඖෂද නිෂ්පාදනාගාර තිබෙනවා. හැම රෝහලකටම දැනට අවශ්‍ය ප්‍රමාණයේ මූලද්‍රව්‍ය අපේ ගබඩා තුළ තිබෙනවා. ඊට අමතරව දැනට අපි හදිසි ඇණවුම් කිහිපයක් පෞද්ගලික අංශයෙන් කරලා තියෙනවා. ඊට අදාළ වන ලියවිලි ටිකත් අපි නිකුත් කරලා තියෙනවා. ඖෂධ ටික ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගන්න. මං හිතනවා ඉදිරියේදී මේ තත්ත්වය නැතිවෙයි කියලා. නමුත් අපිට තවත් අභියෝගයක් ඇවිත් තියෙනවා. වෙළෙඳපොළේ මේ ඖෂධ හිඟයත් එක්කම ඖෂධ වෙළෙඳුන් විසින් ඉතා විශාල මිලකට මේවා අලෙවි කරනවා. ජනතාවට මේ අවස්ථාවේ සහන මිලකට ඖෂධ දෙන්න ඕන අවස්ථාවක්. හුදු ලාභ තකා ඒ වගේ වැඩ කරනවා. ඒවා නියාමනය කිරීමට දැනට අපි වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. පළාත් කොමසාරිස්වරු හරහා. එසේ තියෙන ඖෂධ වෙළෙඳසල් අනාවරණය කරගෙන බලපත්‍ර අවලංගු කරනවා. මේ අවස්ථාවේ ජනතාවට උපරිම සහයෝගය ලබාදිය යුතුයි යන මතයේ තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉන්නේ.

මේ දිනවල පෙරුම්කායම් පිළිබඳව වැඩි කතාබහට ලක්වෙනවා නේද? මොකක්ද මෙහි තිබෙන විශේෂත්වය?

පෙරුම්කායම්වල හොඳම එක තමයි ඉටි පෙරුම්කායම්. දැනට වෙළෙඳපොළේ තියෙනවා ඝන ද්‍රව්‍යයක්. ඒක ඒ තරම් සුදුසු නෑ කියන මතය වෛද්‍යවරුන්ගේ තියෙන්නේ. ඉටි පෙරුම්කායම් පඬුරක් ගැටගහන ආකාරයට උරහිසත් වැලමිටත් අතර ප්‍රදේශයේ බඳින්න ඕන. මේක වාෂ්පශීලී ද්‍රව්‍යයක්. ඒ වාෂ්පශීලී ද්‍රව්‍ය තමන්ගේ ඇඟ වටේ ප්‍රතිශක්තිකරණ වළල්ලක් ලෙස ක්‍රියාත්මක වෙලා විෂබීජ තමන්ට ළංකිරීම වළක්වනවා කියන එක තමයි වෛද්‍ය මතය තියෙන්නේ. පෙරුම්කායම් කුඩු කරලා ආහාරවලටද යොදනවා. ලංකාවේ කසායවලටත් පෙරුම්කායම් යොදනවා.

ආයුර්වේද ඖෂධ භාවිත කරලා නිවසේදී ධූමායන කටයුතු කරන්නේ කොහොමද? ධූමායනයට විශේෂ දේශීය ඖෂධ වර්ග තියෙනවාද?

ධූමායනය ගැන කතා කරද්දී ගුගුල්, දේවදාර, අගිල්, පෙරුම්කායම්, මදුරුතලා, හල්දුම්මල වගේ දේවල් දුම් අල්ලන්න යොදා ගන්න පුළුවන්. නමුත් වෙළෙඳපොළේ මේවා හරි ගණන්. මේ දේවල්වලට විකල්ප විදිහට ගෙදර තියෙන දෙහි කොළ ටිකක්, කොහොඹ කොළ ටිකක්, වගේ දේවල් පොල් කටු අඟුරුවලට දාලා ගෙදර දුම් අල්ලන්න පැඟිරි කුලයේ ශාක ඉතාමත් හොඳයි. ඒ තුළින් ගෙදර විෂබීජහරණය කරගැනීමට හැකියාව පවතිනවා. කොහොඹ පොතුත් ඒ වගේ දුම් අල්ලන්න පුළුවන්.

කොරෝනා වෛරසය ගොදුරු වූ පුද්ගලයකු නිවසට පැමිණි පසු කටයුතු කළ යුතු වන්නේ කෙසේද?

ප්‍රතිශක්තිකරණය දුර්වල කෙනෙකුට තමයි රෝගයක් බෝවෙන්නේ. එතකොට එයා තවත් රෝගයකට ගොදුරු වීමට අවස්ථාව තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ තියෙන ආහාරපානම අරගෙන තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීම තමයි වඩා හොඳ. සන්සුන් මනසකින් කටයුතු කළහොත් ඔහුට හෝ ඇයට යළි සාමාන්‍ය තත්ත්වයට එන්න පුළුවන් වෙයි. දේශීය වෛද්‍ය විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ අවධානයට ලක්වෙලා තියෙනවා. එහිදී පාර්ශ්වයන් තුනක් පිළිබඳව අවධානයට ලක්වුණා. එකක් තමයි දැනට රෝගී තත්ත්වයට පත්ව සිටින පාර්ශ්වය. අනෙක් කණ්ඩායම දැනට නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කණ්ඩායම සහ සාමාන්‍ය ජනතාව. ඔය තුන්ගොල්ලොන්ටම විශේෂ කරලා තමයි දැනට අපි කටයුතු කරගෙන යන්නේ. කෑම වට්ටෝරුවක් අපි සකස් කරලා තියෙනවා මේ අයට. ධූමායනය කිරීමට අවශ්‍ය දේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අපි ඉදිරියේදී දැනුවත් කරනවා.

වරුණි පෙරමුණ
ඡායාරූප-ඒෂාන් දසනායක