නවතම ප්‍රවෘත්ති

කොරෝනාට පස්සේ ආසියානුවන් බය කරන ඊළග වයිරසය

කොරෝනා වයිරසය ගැන මුළු මහත් ලෝකයම කතා කරන්නට පටන් ගත්තේ වූහාන් පළාතෙන් රෝගීන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමගය.

අද වන විට කොරෝනා මුළුමහත් ලෝකය පුරාම ව්‍යාප්තව තිබේ. ඉන් ආසාදිත තත්ත්වයට පත් සංඛ්‍යාව මිලියන 95කට අධිකය. මිලියන දෙකකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාවද ඇහිපිය හෙළන මොහොතක් පාසා ඉහළයමින් තිබේ. ආසියාවෙන් මේ සා මහා ව්‍යසනයක් ව්‍යාප්තව ගිය බව සමහරවිට විශ්වාස කරන්නටත් අපහසුය. කෙසේ වූවත් ආසියාවෙන් මතුවුණු අවසන් වයිරස ව්‍යාප්තිය මෙය නොවන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. නව වයිරස රැසක් ව්‍යාප්තව ගොස් වසංගත තත්ත්ව ඇතිවන්නට ඉඩ ඇති බවද ඔවුහූ කියා සිටිති.

මේ අන්දමට ආසියාවෙන් වයිරස මතුවන්නේ කවර හේතුවක් නිසාද යන්න බොහෝදෙනෙකුට ගැටලුවකි. විද්‍යාඥයන් පවසන්නේ ආසියාවේ නිවර්තන ප්‍රදේශවල පොහොසත් ජෛව විවිධත්වය මෙයට හේතුවක් යයි කියාය. මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබෙන්නේ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල ජනයා සතුන් සමඟ ගැටීම වැඩි බවකි. සතුන් සමග ගැටීම වැඩි වන විට අවදානමද වැඩි වේ. නව වයිරස දරන වවුලන් සාම්පල රැසක් සොයා ගැනීමටත් විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයකගේ දේහවල කොරෝනා වයිරස විශේෂ දක්නට ලැබුණු බව ද සඳහන් වේ. ඒ හැරුණුවිට ඔවුන්ගේ දේහවල වෙනත් වයිරස වර්ගද තිබෙන බව තහවුරුව ඇත.

ඒ අන්දමට තහවුරුව ඇති වයිරස අතර නිපාහ් වයිරසයද (Nipah virus) තිබේ. එම වයිරසයේ ධාරකයා වන්නේ පලතුරු වවුලාය (Fruit bat). නිපාහ් වයිරසය ගැන ආසියාතිකයන් ඉතා සැලකිලිමත්ව සිටිය යුතුව ඇත. එකී වයිරස ආසාදනයටද ඖෂධයක් නැත. එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන මිනිසුන් සංඛ්‍යාවද වැඩි විය හැකි බවට විශ්වාස කෙරේ. නිපාහ් නිසා 40%ත් 75%ත් අතර මරණ ප්‍රමාණයක් සිදු විය හැකි යැයි විද්‍යාඥයෝ සඳහන් කරති. මහජනයා අතර සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්ත්ව ඇති කළ හැකි රෝග කාරක ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකදීම ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එම ලැයිස්තුවේ පළමු ස්ථාන දහය අතරේ නිපාහ්ද සඳහන් වේ.

නිපාහ් වයිරසයට නිරාවරණය වූ පුද්ගලයකුට රෝග ලක්ෂණ මතුවන්නට දීර්ඝ කාලයක් ගත වේ. සමහර අවස්ථාවලදී එය දින 45ක් තරම් දිගය. එම වයිරසය නිසා සත්ත්ව විශේෂ රාශියක් ආසාදනය වන්නටත් පුළුවන. ඒ නිසා වයිරසය ඉතා පහසුවෙන් ව්‍යාපත් වී යයි. වයිරසය ඍජුවම හෝ දූෂ්‍ය තත්ත්වයට පත් ආහාර පරිභෝජනයෙන් හෝ ව්‍යාප්ත වන්නට ඉඩ ඇත. නිපාහ් වයිරසය ආසාදනය වූ කෙනෙකුටත් ශ්වසන ආබාධ ඇති වේ. කැස්ස, උගුරේ තුවාල ඇතිවීම, ශාරීරික වේදනාවන් ඇතිවීම, දැඩි වෙහෙසක් දැනීම, මොළය ඉදිමීම ඒ අතර ප්‍රධානය. මේ රෝගී තත්ත්ව උත්සන්න වීම නිසා මරණය පවා සිදු වේ.

නිපාහ් වයිරසය ගැන පළමුවෙන්ම දැනගන්නට ලැබුණේ වයඹදිග කාම්බෝජයේ බැටම්බැන්ග් නමැති නගරයෙනි. එය එරට සංග්කයි ගඟ ආසන්නයේ පිහිටි නගරයකි. බැටම්බැන්ග් නගරයේ දිනපතා අලුයම් වෙළෙඳපොළක් ඇත. එය ආරම්භ වන්නේ පෙරවරු 5.00ට පමණය. අලුයම් කාලයේදී මේ වෙළෙඳපොළ වෙළඳුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි යයි. පොළ පැවැත්වෙන ස්ථානය ආසන්නයේ ඇති ගස්වල පලතුරු වවුලෝ දහස් ගණනක් එල්ලී සිටිති. ඔවුන් බැහැර කරන මළ සහ මුත්‍රා වැටෙන්නේ ආසන්නයේ ඇති පොළටය. එම මළ මූත්‍රා මිනිසුන්ගේත් එහි පැමිණෙන සෙසු සතුන්ගේත් ශරීරවල ස්පර්ශ වීම වැළැක්විය නොහැකිය. ඒ හැරුණු විට රෝග කාරකය දරන වවුලන්ගෙන් වයිරසය මිනිසුන්ට ඍජුවමද සම්ප්‍රේෂණය වේ. එසේ මිනිසුන් කරා ළඟාවන වයිරසයේ විකෘති ඇති වන බවත් එමගින් වසංගත ව්‍යාප්ත වී යන බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කාම්බෝජයේ මෙන්ම තායිලන්තයේද නිපාහ් වයිරසය ව්‍යාප්ත වන්නට වැඩි ඉඩකඩක් තිබේ. ඇන්ග්කෝර් – වට් වැනි ආගමික සිද්ධස්ථානයක් ආසන්නයේ වවුලෝ විශාල වශයෙන් සිටිති. ඇන්ග්කෝර් – වට් වැඳ පුදාගන්නට වසරකට මිලියන 2.6කට ආසන්න පිරිසක් පැමිණෙති. රෝග කාරකය ව්‍යාප්ත කරන වවුලන්ගෙන් එකවර මිලියන ගණනක් ජනයා ආසාදිත තත්ත්වයට පත්වන්නට එය කදිම තැනෙකි. බංගලිදේශය, ඉන්දියාව වැනි රටවලටද නිපාහ් වයිරසය බලපෑවේය. ඒ රටවල ජනයා ඉඳි ගස්වලින් යුෂයක් (තෙලිජ්ජ හා සමාන) එකතු කරගෙන පානය කරති. එම ඉඳි ගස්වල රාත්‍රියේ ලැගුම් ගන්නා පලතුරු වවුලන් බැහැර කරන මුත්‍රා යුෂ පිරුණු මුට්ටිවලට එකතු වන බව පිළිගත් මතයකි. දූෂ්‍ය තත්ත්වයට පත් එම ශාක යුෂ පානයට ගන්නා ජනයා නිරායාසයෙන්ම ආසාදිත තත්ත්වයට පත් වන්නෝය.

2001 සිට 2011 දක්වා කාලයේදී බංගලිදේශයේ පුද්ගලයෝ 196 දෙනෙක් නෙපාහ් වයිරසයෙන් අසාදිත තත්ත්වයට පත් වූහ. එයින් 150 දෙනකු මරණයට පත් වූ බව සඳහන් වෙයි. කාම්බෝජයේ වසන පලතුරු වවුලන් සම්බන්ධයෙන් කෙරුණු අධ්‍යයනයකින් අනාවරණය වූයේ පලතුරු වවුලකු එක් රාත්‍රියකට කිලෝමීටර සියයකට ආසන්න දුරක් පියඹා යන බවකි. ඒ අනුව ඔවුන් නිසා බොහෝ දේ දූෂ්‍යවන බව සිතන්නට පුළුවන. කාම්බෝජයේ සහ තායිලන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ඇතැම් පිරිස් පලතුරු වවුලන්ගේ මළ එකතු කර පොහොර සෑදීම කරති. තම නිවෙස් ආසන්නයට එම වවුලන් ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදන පිරිස්ද එකී ගම්මානවල වෙසෙන්නෝය. පලතුරු වවුලන්, මිනිසුන් ආසන්නයට පැමිණීමත්, මිනිසුන් පරිහරණය කරන දේ පලතුරු වවුලන් නිසා දූෂ්‍ය තත්ත්වයට පත්වීමත් ඒ ගම්මානවල සුලභ දෙයක් වී තිබේ.

පලතුරු වවුලන් මිනිස් වාසස්ථාන ආසන්නයට පැමිණෙන්නේ වනාන්තර හිඟකම නිසායි. පලතුරු වවුලන්ගේ සාමාන්‍ය වාසස්ථානය ඝන කැලෑය. එවැනි කැලෑවල ඔවුන්ට අවශ්‍ය තරම් පලතුරු තිබේ. ජනගහනය වැඩිවීමත් සමග වගා කටයුතු සඳහාත්, නිවාස තනා ගැනීම සඳහාත් වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා බොහෝ වන සතුට වාසස්ථාන අහිමි විය. පලතුරු වවුලන්ටත් ඒ රුදුරු අත්දැකීමට මුහුණ දෙන්නට සිදු විය. 1998 වසරේදී මැලේසියාවේ නිපාහ් වසංගත තත්ත්වයක් ඇති වූයේද ලැව් ගිනි සහ නියඟය නිසා වනාන්තර විනාශවී යෑම හේතුවෙනි.

පලතුරු වවුලා මේ තරම් ව්‍යසනයක් මිනිසාට සිදු කරයි නම් ඌ විනාශ කර දමන්නට මගක් සෙවිය නොහැකි වන්නේ මන්දැයි ඔබට සමහරවිට සිතෙන්නට පුළුවන. විද්‍යාඥයන් පවසන්නේ පලතුරු වවුලන් පරිසරයේ පැවැත්මට විශාල මෙහෙයක් සිදු කරන බවකි. ඒ අතර ප්‍රධාන වන්නේ ඔවුන් මගින් සිදු කෙරෙන පරාගණයයි. ශාක විශේෂ 500කට අධික සංඛ්‍යාවක පරාගනය කාර්යයට ඔවුහූ හවුල් වෙති. මිනිසාට විශාල හානියක් සිදු කරන මැලේරියා මදුරුවන් කා දැමීම ඔවුන් සිදු කරන අනෙක් වැදගත් කාර්යයි.

පලතුරු වවුලන්ගෙන් මෙවැනි ප්‍රයෝජන තිබුණත් ඔවුන්ගෙන් බෝවන නිපාහ් වයිරසය ගැන මිනිසාගේ අවධානය මෙයට වඩා යොමු විය යුතුව ඇත. කාම්බෝජයේ ජනයා පලතුරු වවුලන් තමන්ගේ ජීවිතවලට තර්ජනයක් වන වයිරසයක ධාරකයන් ලෙස තවමත් දකින්නේ නැත. නිපාහ් වයිරසයෙන් මතුවිය හැකි වසංගතයක් කෙතරම් භයානක වේද යන්න ගැන එරට ජනයාට කිසිදු අදහසක්වත් නැත. නිපාහ් වයිරසයට අදාළ පර් යේෂණ සිදු කිරීමට අවශ්‍ය විද්‍යාගාර ආසියාවේ තිබෙන්නේ කිහිපයක් පමණි. නිපාහ් වයිරසය පිළිබඳව පර් යේෂණ පවත්වන්නට හැකි විද්වතුන් මෙහි සිටින්නේද අතළොස්සකි. නිපාහ් වයිරසය ජෛව අවියක් ලෙස භාවිතයට ගැනෙන්නටද බැරිකමක් නැතැයි ලොව ඇතැම් බලධාරීහු අනතුරු අඟවති.

මංජුලා විජයරත්න