brand logo

කොරල් වවන කැස්බෑවුන් රකින නාවිකයෝ

08 July 2019

රට රකින්නට කළ මහා සංග්‍රාමය අවසන්ව ඇති හෙයින් නාවික හමුදාව තවත් සංග්‍රාමයකට මුල පුරා ඇත. ඒ රට වට බැඳි රන් දෑතින් පරිසරය රකින්නටය. නිල් සයුරෙන් හරිත දේශයක් වෙනුවෙන් ඔවුන් ඇරඹූ මේ සංග්‍රාමය නීල හරිත සංග්‍රාමයයි. එය නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයකි. ත්‍රිකුණාමලය නාවික තටාකාංගනය නීල හරිත පාරාදීසයක් ලෙස පසු ගිය ජුනි 21 වැනිදා ප්‍රකාශයට පත් විය. එය අද වනවිට නියමු ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙමින් තිබෙයි. ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුද සහ වෙරළ ප්‍රදේශ අද වන විට එකිනෙකට වෙනස් වුවද අන්තර් සම්බන්ධතා ඇති තර්ජන 3කට මුහුණ දෙමින් පවතී. පළමු වැන්න, විශේෂිත පරිසරයන්ගේ පැළෑටි ගහන දුර්වල කරන ඒ ආශ්‍රිත ජීවීන්ගේ පැවැත්මට අහිතකර තත්ත්ව ගොඩනගමින් මුහුදේ හා ගොඩබිම සිදුවන දූෂණයයි. දෙවැන්න ඉඳුරාම ජෛව පද්ධතිය තුළ සමුදුරු ජීවීන්ගේ සහ පැළෑටිවල සමබර පැවැත්මට හානිදායී අයුරින් පමණ ඉක්මවා සිදුවන මසුන් ඇල්ලීම හා නොවිධිමත් ලෙස සාගරික සම්පත් නෙළා ගැනීමය. නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් වෙරළබඩ පරිසර පද්ධතියට සිදුවන භෞතික හානිය තෙවැන්නයි. ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට බලයක්, හැකියාවක් මෙන්ම දැක්මක්ද සහිත ආයතනයක් ලෙස මෙම තර්ජන අවම කර ගැනීම වෙනුවෙන් පෙරමුණට පැමිණ සිටියි. නීල හරිත සංකල්පය යටතේ හරිත පරිසරයක් පිළිබඳ යම් අවධානයක් හා උනන්දුවක් ඇති වී තිබුණද නීල පරිසරය පිළිබඳ එතරම් පුළුල් අවධානයක් යොමු වී නොතිබිණි. නීල හරිත සංග්‍රාමය දියත් වීමත් සමග මේ අංශ දෙකටම අදාළව ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී. පරිසර සංරක්ෂණය අරබයා වරින් වර නොයෙක් ව්‍යාපෘති දියත් වී ඇතත් ඉන් බොහොමයක් තිරසර නොවීම සංරක්ෂණයේදී අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට ප්‍රධාන හේතු කාරකයක් විය. එබැවින් තිරසර ව්‍යාපෘතියක අවශ්‍යතාව නීල හරිත සංග්‍රාමය මගින් සපිරේ. ඕනෑම අයකුට කඩොලාන රෝපණය කළ හැකිය. කොරල් නැවත වගා කළ හැකිය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිය. ප්‍රශ්නය වන්නේ එවැනි ක්‍රියාමාර්ග ඉන් ඔබ්බට ප්‍රජාව අතරට රැගෙන යා හැකිද යන්නය. නීල හරිත සංග්‍රාමය දියත් වන්නේ ප්‍රජාවගේද දායකත්වය ඒ ඒ අදියරවලදී ලබා ගනිමිනි. එවැනි යහපත් ක්‍රියාමාර්ග පුරුද්දක් වශයෙන් සමාජගත කිරීම ගැන මෙම ව්‍යාපෘතියේදී නාවික හමුදාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී තිබේ. එය සාර්ථක වීම යනු පරිසරයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් විශේෂ හා අමතර වෙහෙසක් දැරීමට අවශ්‍ය වීමය. පරිසරය රැක ගැනීම වෙනුවෙන් සමස්ත සමාජය තුළ අභිලාෂයක් ඇති බැවිනි.
මෙය සිතන තරම්ම පහසු කාර්යයක්ද නොවේ. මිනිස්සු පුරුද්දක් වශයෙන්ම වෙනස් වීමට නොකැමැති වෙති. ඒ වෙනස ඇති කිරීමට නම් මිනිස්සු තුළ ආකල්පමය මෙන්ම චර්යාත්මක වෙනස්කම් ඇති විය යුතුය. කිරීමට අපහසු මෙම කාර්යය සිදු කිරීමේ අභියෝගය නාවික හමුදාව භාරගෙන ඇති සෙයකි. ඔවුන් විශ්වාස කරන්නේ මේ අභියෝගයද ඔවුන්ට ජය ගත හැකි බවයි. සාගර දූෂණය සුළුපටු කාරණයක් නොවේ. ශ්‍රී ලංකාව අවට ඉන්දීය සාගර මුහුදු කලාපයේදී මළ මුහුදක් නිර්මාණය වෙමින් තිබීම ගැන දැනටමත් අනතුරු ඇඟවීම් කෙරී තිබේ. එහි තේරුම පමාවීමට තරම් කාලයක් අපට නොමැති බවය. සාගර දූෂණයෙන් 80%ක් පමණ සිදුවන්නේ ගොඩබිමෙනි. සාගර පරිසර පද්ධතියට විෂ රසායනික පළිබෝධනාශක වැනි දෑ එකතු වීම මුහුදු ජීවීන් හා පැළෑටිවලට ඉතා අහිතකරය. තහනම් ධීවර ආම්පන්න සහ ක්‍රම භාවිතය මුහුදු පත්ලේ ඇති කොරල් හා මුහුදු පැළෑටිවලට හානිකර වනවාට අමතරව මසුන් බෝවන පරිසර පද්ධති විනාශ කර දමන්නේය. සාගරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසර ගණනාවක් නොදිරා පවතී. එම මුහුදු ප්ලාස්ටික් ආහාරයට ගන්නා මුහුදු ජීවීන් ආසාදනයන්ට ලක්වේ. එම ජීවීන් මගින් ඒවා මිනිස් සිරුරටද ඇතුළු වේ. සමුදුරු සම්පත් ගවේෂණයේ යෙදෙන යන්ත්‍ර, නෞකා ආදිය මගින් එම පරිසරයට ඇතිවන බලපෑම් සාගරයට මුදා හැරෙන තෙල් සාගරික දූෂණයට බලපෑම් ඇති කරන්නේය. සාගර නීතිය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව සාගරික පරිසර පද්ධතියට ඕනෑම මූලාශ්‍රයකින් සිදුවන දූෂණය නැවැත්වීම අවම කිරීම සහ පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීම රජයක වගකීම වේ. නීල හරිත සංග්‍රාමය දියත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව කඩොලාන සිටුවීමේ ව්‍යාපෘති කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘති, සාගර ජලයෙන් තෙල් වියුක්තිකරණය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, සත්ත්ව සම්පත සුරැකීම වැනි ව්‍යාපෘති ගණනාවකට මුලපුරා සිටිති. නීල හරිත කලාපයක් ලෙස පිබිදෙන ත්‍රිකුණාමල නාවික තටාංගණයේ ජීවවායු නිෂ්පාදන ව්‍යාපෘතියක්ද, කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකය. සූර්යබලශක්ති උත්පාදන ක්‍රියාවලියක් සඳහාද කටයුතු කෙරෙමින් පවතී. එය ඉදිරි කාලයේදී ජාතික විදුලිබල පද්ධතියටද යම් හෝ ප්‍රතිශතයක් එකතු කරනු ඇත. පාලනයකින් තොරව සිදුවන කඩොලාන කැපීම මෙන්ම සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා එම බිම් විනාශ කිරීමද ප්‍රශ්නය තවත් බරපතළ කර තිබේ. අපද්‍රව්‍ය කලපු ජලයට එක්වීම තවත් සාධකයකි. නොයෙක් අන්දමින් විනාශ වෙමින් ඇති කඩොලාන ප්‍රජාව රැක ගැනීමට පසුගිය දෙවසරක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටුව හා සාගරික සංරක්ෂණ අධීක්ෂණ ඒකකය මුල්වෙමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනද ධීවර ප්‍රජාවගේද සහාය ඇතිව කඩොලාන පැළ ලක්ෂයකට අධික ප්‍රමාණයක් රෝපණය කර තිබේ. කොරල් නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ නැවත වගා ව්‍යාපෘතියක් 2018 නොවැම්බරයේදී ඇරඹිණි. මොරටුව විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා ඉන්සි සිමෙන්ති සමාගමේ මූල්‍ය දායකත්වයද එහිදී නාවික හමුදාවට ශක්තියකි. වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙසද නම් කර ඇති, කැස්බෑ විශේෂ 7ක් ලොව සිටින අතර ඉන් 5ක්ම ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැකිය හැකිය. මේ සතුන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව කැස්බෑ සංරක්ෂණ ව්‍යෘපෘති රැසක්ම ක්‍රියාත්මක කරමින් සිටී. බිත්තර දමන ප්‍රදේශ හඳුනාගෙන ඒවාට තර්ජන ඇතිවීම වළක්වා පසුගිය දෙවසරක පමණ කාලය තුළ පැටවුන් 7000ක් පමණ සාගරයට මුදාහැර තිබේ. මෙය ඉතා ක්‍රමවත්ව සිදුවෙමින් පවතී. මත්ස්‍ය අභිජනනය සඳහා කෘත්‍රිම පරිසර පද්ධති නිර්මාණය කිරීමද නීල හරිත සංග්‍රාමය යටතේ සිදුවේ. පසුගිය වසරේදී භාවිතයට නුසුදුසු නෞකා 2ක් එලෙස ස්ථානගත කෙරිණි. අප සිටින්නේ සියල්ල ප්ලාස්ටික් වූ ලෝකයකය කඳු මුඳුනේ සිට සාගර පත්ල දක්වා අද එය තර්ජනයක් වී ඇත නීලහරිත සංග්‍රාමය, යටතේ නාවික හමුදාව ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක්ද සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී. එමගින් විසිතුරු භාණ්ඩ, මල්බඳුන්, උද්‍යාන ඇතුරුම් ගඩොල්, කම්බි කණු වැනි අලංකාර හා උසස් නිෂ්පාදන හඳුන්වා දී තිබේ. මෙහි දෙවන අදියර දිවයින පුරා මෙම තාක්ෂණය හඳුන්වා දීම අරමුණු කරයි. MAS හෝල්ඩිංග්ස් ආයතනයේද ඉකෝ ස්පින්ඩල් දායකත්වයක් මීට ලැබී තිබේ. රට වටා ඇති වෙරළ තීරය හා ඒ අවට වනාන්තරවල සිටින සත්තව සම්පත සුරැකීම ද නාවික හමුදාව දායක වේ. එම ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කර ඇති නාවික කඳවුරු එහිදී විශාල කාර්යභාරයක් ඉටු කරයි. එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව නාවික හමුදාව සැමවිටම අවශ්‍ය සහාය ලබාදෙමින් සිටී. සාගර ජලයෙන් තෙල් ඉවත්කිරීමේ කටයුතුවලටද නාවික හමුදාව දායක වේ. පසුගිය කාලයේ දික්ඕවිට ප්‍රදේශයේ තෙල් කාන්දුවක් නිසා සිදුවීමට ගිය විශාල හානිය වළක්වා ගැනීමට නාවික හමුදාවේ ක්‍රියාකාරී දායකත්වය ලැබිණි.  ත්‍රිකුණාමල නාවික තටාකාංගණයේ ස්ථාපිත කළ ජීවවායු ජනක ඒකකයක් මගින් 2010  මාර්තු මස සිට දෛනික අවශ්‍යතා සඳහා මසකට පැය15ක් පමණ දහන අවශ්‍යතා සපුරාලයි.
ඊට අමතරව රෙදි සේදීම වැනි කටයුතු සඳහා භාවිත කරන ජලය තටාකවලට යොමු කර පිරිපහදුවීමේ ක්‍රියාවලියකට ලක් කර උද්‍යාන සඳහා යෙදීමේ වැඩපිළිවෙළක්ද දියත් කර තිබේ. එය තවදුරටත් දියුණු කරමින් පවතී. ත්‍රිකුණාමල නාවික තටාංගනයේ කඩදාසි ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය දියත් කළේ 1999දීය. 2019 වසරේ මුල් කාර්තුවේදී පමණක් ලිපිකවර 10865ක් ත්‍යාග බහාලන කවර 35ක් හා සුබ පැතුම්පත් 100ක් එහි නිෂ්පාදනය කර තිබේ. මේ ඵලදායී ව්‍යාපෘතියද පරිසරය රැකගැනීමේ උතුම් මෙහෙවරට නාවික හමුදාවේ කැපවීම ප්‍රකට කරන්නකි.  ත්‍රිකුණාමල නාවික තටාංගනය තුළ ගමන් කිරීමේදී ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා පාපැදි හඳුන්වා දීම මගින් රථවාහන භාවිතය අවම කර තිබේ. වාහන මගින් සිදුවන වායු දූෂණය ඉන් හැකිතාක් වළක්වා තිබේ. එමෙන්ම එය නාවික හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිණිසද හේතු වේ. සාගරික ජෛව විවිධත්වය සුරැකෙන පරිදි තල් මසුන් නැරැඹීමේ ක්‍රමවේදයක්ද නාවික හමුදාව හඳුන්වා දී තිබේ. ඒ සඳහා Princes of Lanka යාත්‍රාව යොදවා ඇති අතර දෙස් විදෙස් සංචාරකයන්ට ගාල්ල සහ ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගනිමින් එම පහසුකම් සලසාගත හැකිය. නීල සයුරෙන් වට හරිත දේශයක් උදෙසා නාවික හමුදාවේ දස දහස් සංඛ්‍යාත සාමාජිකයන්ගේ දෑත් එසවී තිබේ. හෙට දවසේ ඒ දෑත් ලක්ෂ සංඛ්‍යාත වනු ඇත. තවත් වසර කිහිපයක් ඇවෑමෙන් කෝටි සංඛ්‍යාත දෑත් ඒ වෙනුවෙන් එසවෙනු ඇත. ඒ දෑත් අතර ඔබේද මගේද දෑත් තිබෙනු ඇත. ධම්මික සෙනෙවිරත්න
 

More News..