brand logo

කොටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

21 October 2020

මේ විට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර ඇත. එමෙන්ම කොටුව පොලීසියේ නිලධාරීන් 48ක් නිරෝධායනයට යොමුකර ඇත. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. අද (21) උදෑසන දෙරණ රුපවාහිනී නාලිකාවේ වැඩ සටහනකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් මෙලෙස අදහස් දක්වනු ලැබුවා. “මේ කොටුව පොලිස් ස්ථානය තියෙන ගොඩනැගිලි පරිශ්‍රයේ එක කාමරයක තමයි තියෙන්නේ, බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය. ඒක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, පොලිස් නිලධාරීන් විසින් කරන යම් යම් අතපසුවීම් හා වැරදි පිළිබඳ විභාග කරන්න තියෙන විශේෂ ඒකකය. මේකට අනියුක්ත නිලධාරීන් 12ක් පමණ ඉන්නවා. මේ ඉන්න අයගෙන් එක් අයෙක්ට තමයි කෝවිඩ් පොසිටිව් බවට වාර්තා වුණේ. ඒ නිසා ඒ හිටපු සියලූම දෙනා සම්පූර්ණ නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඒ වෙලාවේ කොටුවේ පොලීසියේ සිටිය අනිත් අය 48 විතර දැනට පොලීසියේ රඳවලා තියෙනවා. ඊට අමතරව පොලීසියට අනියුක්තව පෙර දිනවල රාජකාරිය කළ අනිත් හැමදෙනෙක්ම ඒ බැරැක්කවල ඉන්න ස්ථානවල ස්වයං නිරෝධායනයට යොමු කරලා තියෙනවා. දැනට පොලීසියේ එදිනෙදා රාජකාරී වෙන්නේ නෑ. මේ අවස්ථාවේ දී තවත් පැය කිහිපයක් යන තුරු. කොටුව පොලීසියෙන් මහජනතාවට යම් කටයුත්තක් කර ගැනීමට අවශ්‍ය නම්, කොම්පඤ්ඤ වීදිය පොලීසියට හෝ නැත්නම් පිටකොටුව පොලීසියට යන්න ඕනේ. අද දිනය තුළ මේ පරිශ්‍රය විෂබීජහරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.මේ නිලධාරීන් ඉවත් කරලා වෙනත් නිලධාරීන් ගෙන්වලා අද දහවල් වෙන විට පොලීසිය විවෘත කළ හැකි වෙයි. “
 

More News..