විශේෂාංග

කොටි මරා දැමූ මුල්ම හමුදා නිලධාරියා ගැන වසර 37කට පසු හෙළි වූ කතාව

83 කළු ජූලියට මුල යාපනය තිරුණෙල්වේලි හන්දියේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්වූ හමුදා සෙබළුන් 13ක් මියයාමය. එම ප්‍රහාරයේදී දෙවන ලුතිනන් වාස් ගුණවර්ධනද මියගියේය. ඊළාම් යුද්ධයේදී ත්‍රස්තවාදීන් මරා දැමූ මුල්ම හමුදා නිලධාරියා ඔහුය. මේ සිද්ධිය වී වසර 37ක් පිරුණද කවදාවත් වාස් ගුණවර්ධනගේ පවුලේ සාමාජිකයන් හා ඔහුගේ මිතුරන් ගැන කිසිම මාධ්‍යයකින් හෙළි වුණේ නැත. මේ ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවූ වාස් ගුණවර්ධනගේ කතාවයි.

දිනය :

එක්දහස් නමසිය අසූ තුන ව​සරේ ජූලි විසිතුන් වැනි දිනය

වේලාව :

රාත්‍රී අට පසු වූවා පමණි. යාපනය මාදගල් කඳවුරේ රාජකාරි කළ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන කඩිමුඩියේ රාත්‍රි ආහාරය ගනිමින් සිටියේය. ඊට හේතු වී තිබුණේ එදින රාත්‍රියේ ඔහුට යාපනය නගරයේ මාර්ග පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී තිබුණු බැවිනි. ඒ වන විටත් උතුරේ තැනින් තැන ත්‍රස්තවාදීහු ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් සිටියහ. හමුදා සෙබළුන් හය දෙනෙක්ද උතුරේ තැනින් තැන ත්‍රස්තවාදීන්ගේ උණ්ඩයට බිලි විය. මේ හේතුවෙන් යාපනයේ මාර්ග ආරක්ෂාව තර කර තිබුණි.

දෙවැනි ලුතිනන් වාස් ගුණවර්ධන රාජකාරියට පිටත් වීමට පෙර පලාලි පිහිටි සංඥා බළකායේ නිලධාරියකුට රේඩියෝ දුරකථන මගින් ඇමතුවේ රාජකාරි අවශ්‍යතාවකටය.

වාස් ගුණවර්ධනගේ ඇමතුමට උත්තර දුන්නේ ඔහුගේ මිතුරකු වන දෙවන ලුතිනන් චන්න වීරතුංගය. ඔහුත් වාසුත් හමුදාවට බැඳී විසිර ගියේ එකම කණ්ඩායමකය. මේ නිසා රාජකාරි කතාව දුරදිග ගියේ මිතුරුදම නිසාය. වසර තිස් හතකට පෙර රාත්‍රියේ තම මිතුර දුන් ඇමතුම චන්න වීරතුංගට අද මෙන් මතකය. ඔහු අද විශ්‍රාමික කර්නල්වරයෙකි.

‘‘වාසුයි මමයි එකම ඉන්ටෙක් එකේ. වාස් පළමුවන පාබළ රෙජිමේන්තුවට ගියා. මම සංඥා බළකායට ගියා. වාස් හිටියේ මාදගල්. මම හිටියේ පලාලිවල. වාස් එදා රෑ කෑම්ප් එකෙන් එළියට යන්න කළින් රේඩියෝ එකෙන් මට කතා කළා. මම මෙහෙම එළියට යනවා කියලා. ඔහු කිව්වා ඔහු එළියට ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ මට ආරංචි වුණා ඔහුට කරදරයක් වුණා කියලා. මම හිතන්නේ ඔහු අන්තිමට කතා කළේ මට කියලා. යාපනය යාමට පෙර අපිට විශේෂ පුහුණු වීමක් තිබුණා. එතනදී මායි වාසුයි හම්බ වූවා. අපි දෙන්නා තේ බිබී ඉද්දි වාස් කියපු දේ මට අද වාගේ මතකයි. එයා කිව්වා ‘‘චන්න මෙදා පාර එක්කෝ ප්‍රභාකරන් නැත්නම් මම’’ කියලා.

එනමුත් අසූ තුනේ ජූලි 23 දා දෙවැනි රාත්‍රිය ප්‍රභාකරන්ගේය. ඔහු වාස් ගුණවර්ධනගේ ඉරණම එදා රාත්‍රියේ තීරණය කළේය. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු තවත් දාහතර දෙනකු කන්කසන්තුරේ මාදගල් යුද හමුදා කඳවුර භූමියේ සිට පිටත් වූයේ ජීප් රථයකින් හා ට්‍රක් රථයකිනි. ඔවුන්ගේ ගමන් මාර්ගය වූයේ යාපනය කන්කසන්තුරේ මාර්ගයයි. රාත්‍රි එකොළහ පමණ වන විට ඔවුන් සිටියේ තිරුණෙල්වේලි හන්දියේය.

තිරුණෙල්වේලි මංසන්දිය පසු කරනවාත් සමගම මහා පිපුරුම් හඬක් ඇසුණි. හමුදා රථ ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල විය. දෙවන ලුතිනන් ගුණවර්ධන ඇතුළු සෙබළු දහතුනක් මරණයට පත් විය. ඔවුන්ගේ සිරුරු බොරැල්ලට ගෙනා මොහොතේ කළු ජූලිය උපන්නේය. එතැන් සිට දෑ මුළු රටම දනී. තිස් හත් වසරක් පුරා කළුජූලිය ගැන හැමදාමත් ලියවුණිද දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගැන නොලිය වුණේය.

වාස් ගුණවර්ධනගේ ගම පානදුරේය. ඔහු උපන්නේ 1961 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදාය. අටදෙනකුගෙන් යුත් පවුලේ ඔහු හත්වැනියාය. ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ, හැටන් ශාන්ත ජෝන් බොස්කෝ, කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ ආනන්ද යන විද්‍යාලවලින් ඔහු අධ්‍යාපනය හැදෑරුවේය. වාස්ගේ තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙකි. මේ නිසා තාත්තාට මාරුවීම් ලැබෙන විට වාස් ගුණවර්ධනගේ ඉස්කෝලත් මාරු විය.

වාස් ගුණවර්ධන හතර වසරේ සිට අපොස උ.පෙළ දක්වාම ඉගෙනුම ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය. ඔහුගේ පාසල් මිතුරන් වූ වෛද්‍ය ප්‍රභාත් රත්නායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා හා පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂ වන සනත් රණසිංහ ගිය සතියේ ආනන්දයේ සිය සමකාලීනයන් කොළඹදී හමු වී සිය මිතුරා ගැන මතකාවර්ජනය කළෝය.

ඔහු පාසලට ආවේ පයින්. පාසල් බස් එකේ ගියා නම් රසවත් මතක බොහෝමයක් තිබෙන්න ඉඩ තිබුණා. ඇත්තටම ඔහු අහිංසක ළමයෙක් නිහඬ චරිතයක්. අපි වාගේ ස්කූල් කට් කරලා තාප්පේ උඩින් පැනලා චිත්‍රපට බලන්න ඔහු ගියේ නැහැ.’’

වාස්ගේ මිතුරන් පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් කියනා ආකාරයට ඔහු පවුලේ අහිංසකම නිහඬම දරුවාය. නමුත් සිත දැඩි කරගෙන තීරණයක් ගැනීමේ අවස්ථාවක් ඔහුට උදාවිය. ඒ ඔහුගේ යුද්ධ හමුදාවට යාමට තිබූ අවසන් සම්මුඛ පරීක්ෂණ දිනයේය. ඒ දිනය වාස් ගුණවර්ධනගේ සොයුරකු වන විශ්‍රාමික වතු අධිකාරී ජයන්ත ද වාස් ගුණවර්ධන සිහි කළේය.

‘‘මල්ලිගේ අවසාන පරීක්ෂණය තිබුණේ අපේ තාත්තාගේ මළ ගෙදර දවසේ. මල්ලී පරීක්ෂණයට ගියේ ගෙදර මිනිය තිබියදී. එදා තිබුණු ක්‍රීඩා කෞශල්‍ය පිළිබඳව පරීක්ෂණයක්. මල්ලී හැම දේම අමතක කරලා ඒකට ගියා. එයා ගියේ යුද්ධ හමුදා මූලස්ථානයට මගේ යාළුවෙක් එක්ක. එයාට ආමි එකට යන්න දැඩි උනන්දුවක් තිබුණා. ඒක හින්දා තමයි එයා එච්චර ප්‍රශ්න තිබිලත් එදා ගියේ. මල්ලි මාත් එක්ක හොඳටම යාළුයි. කෑම්ප් එකේ ඉඳලා නිවාඩු ආවම මම වැඩ කරන වත්තට ඇවිල්ලා, දවස් දෙක තුන ඉඳලා තමයි යන්නේ. ඒ ආවත් වැඩිය කතා බහ නැහැ. හරිම නිශ්ශබ්ද චරිතයක් තමයි එයා.

නිලධාරී අංක 50954 වාස් ගුණවර්ධනගේ හමුදා අංකයය. ඔහු යුද හමුදාවට එක් වන්නේ නිලධාරී බඳවා ගැනීමේ පාඨමාලා දහ තුන යටතේය. ඒ 1980 සැප්තැම්බර් 16 වැනිදිනය.

විශ්‍රාමික කර්නල් රංජිත් රූපසිංහ වාස් ගුණවර්ධනයන්ගේ සමකාලිනයෙකි.

‘‘අපි ආමි එකට ආවේ 1980 සැප්තැම්බර් 16 වැනිදා. අපේ බැජ් එකේ හිටිය තිස් දෙනෙක්. අපේ ට්‍රේනින් තිබුණේ ඉන්දියාවේ. අපි තලෙයිමන්නාරමට කෝච්චියෙන් ගිහිල්ලා එතැනින් ඉන්දියාවට ගියා. අපි 1981 මාර්තු 16 ලංකාවට ආවා. අපේ පාසින් අවුට් එක තිබුණේ අසූ එකේ ජූලි 18 වැනිදා. වාස් කියන්නේ සරඹවලට හොඳටම දක්ෂ කෙනෙක්. ඕනෑම දෙයකට සූදානම්ව සිටින්නේ. අපිට වුණත් හැමදේම කියලා දුන්නා. හරියට උදව් කරන කෙනෙක්. දවසක් මම වාස් නිදියගෙන ඉන්නකොට එයාගේ බෙරේ එක (හිස පලඳනාව) ඇඳ විට්ටමේ තිබිලා මම ජනේලයෙන් එහා පැත්තට විසි කළා. වාස් මේක දැකලා මාව පන්නගෙන එන්න ඇඳෙන් නැගිට්ටා. මම එක පාරටම ජනේලයෙන් පැන්නා. ඒ වෙලාවේ මගේ ඔළුව පැළුණා. අර ඔක්කොම පැත්තකට දාලා මාව ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. එදා වාස් ඒ ගැන හරියට දුක් වුණා. පාසින් අවුට් එකෙන් පස්සේ වාස්ව මට හමු වුණේ දෙතුන් පාරයි.

ඔහු සමග එකම දිනයේ දෙවන ලුතිනන්වරයෙක් ලෙස අධිකාරිය ලැබූ මිතුරෝ දෙදෙනෙක් පසුකලෙක යුද හමුදාපති පුටුවේ වාඩි වූවෝය. ඔවුහු ජෙනරාල් දයා රත්නායක හා ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වාය. මේ පිරිසේ සිටි තවත් නිලධාරියෙක් වන්නේ පාකිස්තානයේ ශ්‍රී ලංකා හිටපු මහ කෙමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරාය.

වාස් ගුණවර්ධන පළමු වන පාබල රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස මියගියද ඊට පෙර ඔහු රාජකාරි කළේ පළමු සිංහ රෙජිමේන්තුවේ. දෙවැනි ලුතිනන් ජයනාත් පෙරේරාත් සිංහ රෙ​ජිමේන්තුවේය. ඉන්දියාවේ පැවැති පුහුණු කාලයේ දෙන්නාම සිටියේ එකම කාමරයකය. ‘‘මම තමයි මුලින්ම රාත්‍රී මුර සංචාරය භාරව ගියේ. එම රාජකාරියෙන් නිදහස් වෙලා මට කොළඹ එන්න මගේ වැඩ භාර ගන්නේ ඔහුයි. මුර සංචාරය වෙනදාට යන්නේ මමයි. වාස් මැරෙන්න කළින් දවසේ රාත්‍රියේ මම වාස් සමග ඒ යා යුතු පාරවල් හැම එකක්ම ගිහිල්ලා පෙන්නුවා. එයාම කිව්වා පුළුවන් තරම් මුර සංචාර පයින්ම යන්න කියලා. පහුවෙනිදා වාස්ට මම හැමදේම භාර දීලා මම කොළඹ ආවා. එදා රෑම තමයි වාස්ගේ පළමු මුරසංචාරයේදීම මේ අනතුර වුණේ. වාස් ට්‍රේනින් කාලේ පොලිස් කැඩෙට් කරලා තිබුණු හින්දා හැමදාම ඉදිරියෙන් හිටියා. නමුත් වාස්ට පීනන්න බැහැ. අපේ ට්‍රේනින් එකේ තිබුණා අඩි හැටක විතර උසක ඉඳලා පිහිනුම් තටාකෙට පනින්න ඕන. ඒක කරන්න බයේ වාස් එතැනට එනවා. ආපසු පස්සට යනවා. එතැනම අපිව පුහුණු කරන්න හිටිය නිලධාරියා වාස්ට පේන්නේ නැතිව පස්සෙන් ගිහිල්ලා වාස්ව තටාකයට තල්ලු කළා. එතන ඒ වාගේ පැනීම් තුනක් කරන්න ඕන. වාස් ඉතිරි දෙක කිසිම බයක් සැකක් නැතිව කළා.

ට්‍රේනින් දවස්වල අපිට දෙන කෑම මදි. මට මතකයි වාස් හොරෙන් කාමරයට පාන් ගෙනල්ලා පාන් ගෙඩිය දෙකට කපලා එක පෙත්තක් කමු කියලා පාන් බාගයක් කනවා. අපේ කාමරයේ හතර දෙනෙක් හිටියා. ඒ මමයි වාසුයි. දිසානායකයි, සනත් ගුණවර්ධනයි. එයින් දෙන්නෙක් දැනට ජීවතුන් අතර නැහැ.’’

වාස් ගුණවර්ධනගේ වැඩිමල් සහෝදරයා විදුලි බල මණ්ඩලේ විශ්‍රාමික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යාන්ත්‍රික ඉන්ජිනේරුවරයකු වූ ආනන්ද සිරිල් ද වාස් ගුණවර්ධන.

‘‘අපේ පවුලේ හැමෝටම ගෙදරට නමක් දාලා තිබුණා. චුට්ටා, චූටි, ඩෝමි වාගේ නම් තිබුණා. නමුත් වාස් මල්ලිට නමක් තිබුණෙ නැහැ. හැමෝම මල්ලිට කිව්වේ ‘‘මල්ලි’’ කියලා. වාස්ට වඩා බාල මල්ලි වාස්ට කිව්වෙ ‘‘මල්ලි අයියා’’ කියලා.

මල්ලි ආනන්දයට දානකොට මම ආනන්දෙ ඉගෙන ගන්නවා. අපි දෙමටගොඩ තිබුණු තාත්තාගෙ නිල නිවාසේ ඉඳලා පයින් තමයි ආනන්දෙට ගියේ. වෙනත් ළමයි හරියට පාරේ තොටේදි දඟලනවා මල්ලි එහෙම නැහැ. පාසලේ ක්‍රීඩා කටයුතු වලට වාගේම පොලිස් කැඩෙටිනුත් මල්ලි කළා. මල්ලි පාරක් ආමි එකට යන්න ඇප්ලයි කළා. ඒ වෙනකොට තාත්තා මාරුවීමක් අරගෙන හෝමාගම ස්ටේෂන් එකට ගිහින් හිටියේ. අපේ පදිංචිය තිබුණේ එහේ. මල්ලි ඇප්ලයි කරද්දි අපි එහෙට ගිහින් ටික දවසයි. මල්ලි ගැන ග්‍රාමසේවකගෙන් අහලා එව්වා කිවුවා. එයා අපිව දන්නෙ නැති නිසා එහෙම කෙනෙක් නැහැ කියලා ලියුමක් ඇරලා තිබුණා. මල්ලිට ඒකෙන් පළමුවනපාර ආමි එකට යන්න බැරි වුණා. මල්ලි මැරුණට පස්සෙ මල්ලිගේ ඇඳුම් දාලා තිබුණු සූට්කේස් එක අපට භාර දුන්නා. එකේ තිබුණා වර්තමාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ෆොටෝ එකක්. මොකද ඇමතිතුමත් ආනන්දෙනේ ඉගෙන ගත්තේ. සමහර විට මල්ලිගේ හොඳ යාළුවෙක් වෙන්න ඇති. වාස් මල්ලි මැරෙන්න කලින් අන්තිමට නිවාඩු ආවේ අම්මාගේ අවුරුද්දේ දානෙට. මල්ලි බණ අහන්න විතරයි හිටියේ. එදා හොරණ ජයන්ත මල්ලිගේ ගෙදර තමයි බණ තිබ්බෙ. එදා බණ ඉවර වුණාට පස්සේ මෝටර් බයිසිකල් දෙකකින් අපි මල්ලිව පනාගොඩ ඇරලුවා. එයා එදා අපිව නිලධාරී භෝජනාගාරයට පවා එක්කරගෙන ගියා. එදා තමයි වාස් මල්ලිව හම්බවෙච්ච අන්තිම දවස.

ශිරෝමි රත්නායක

ඡායාරූප – ප්‍රසංග පාවුළු හේවා – ජා ඇල