කතුවැකි

කොටිරාළට ඇත්තේ ද ජීවිතයකි

​ගෙවී ගිය 2020 වසරේ මේ ශ්‍රී ලංකාද්වීපයේ කොටි 13 දෙනකු ඝාතනයට ලක්ව ඇත. මෙම කොටි ඝාතනයට ලක්ව ඇත්තේ කැලයේ සිටින වෙනත් සතුන් අතින් නොව නගරයේ වෙසෙන මිනිසා අතිනි. අතීතයේ සිදු වූයේ කොටින් විසින් මිනිසුන් ඝාතනය කිරීමය. එසේ වූයේ මිනිසා කොටියාගේ වාසභූමිය වන කැලයට ගිය විටය. දැන් මිනිසුන් අතින් කොටින් ඝාතනය වන්නේ කොටියා මිනිසාගේ වාසභූමිය වන ගමට නගරයට පැමිණීම නිසාය. මේ අනුව බලන විට තිරිසනකු වන සිව්පා කොටියා හා මනසින් උසස් යැයි කියන දෙපා මිනිසා අතර එතරම් වෙනසක් නැතැයිද කිව හැකිය.

කොටි ගමට පැන ගෙවල්වල ඇතිකරන බල්ලන්, බළලුන් පවා මරාකන විට මරා දමනවා හැර කුමක් කරන්න දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් කොටින් ගම්වදින්නේද අලියා මෙන්ම ඌට තමන්ගේ වාසභූමිය හා ආහාර නොමැති වීම නිසාය. මේ සතුන් පමණක් නොව වඳුරන්, රිළවුන් මෙන්ම මොනරුන් වැනි සතුන්ටද වාසභූමිය හා ආහාර අහිමි කර ඇත්තේ මිනිසාය. මිනිසාගේ වරදට අවසානයේ වන්දි ගෙවන්නට සිදුවන්නේද මේ සතුන්ටමය.

මිනිසාගේ ආරක්ෂාව වෙනුවෙන් කොටි මරා දමන අවස්ථා මෙන්ම මස් පිණිස කොටි මරා දමන අවස්ථාද පසුගිය වසරේ වාර්තා වී තිබේ. එසේම මිනිසුන්ගේ මිථ්‍යා විශ්වාස නිසා කොටියාගේ දත්, තෙල් ලබා ගැනීමටද උන් මරා දමන අවස්ථා තිබේ. මේවා සිදුවන්නේ කොටියා යනු මරා දැමීමට තහනම් ආරක්ෂිත සතෙකු ලෙසට නීති පනවා තිබියදීය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ කොටියා යනු දැඩි ආරක්ෂිත සතෙකි. කොටියකු මරා දැමීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වන අතර ඒ වෙනුවෙන් රුපියල් තිස්දහසක සිට ලක්ෂයක් දක්වා දඩයක් හෝ වසර දෙකේ සිට පහ දක්වා සිර දඬුවමක් හෝ මේ දෙකම පැනවිය හැකිය.

අපේ අසල්වැසි ඉන්දියාවද අතීතයේ සිටම කොටි – මිනිස් ගැටුම් වාර්තා වන රටකි. ඉන්දියාවේ කොටි මිනිස් ගැටුම් ගැන ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ රුද්‍රප්‍රයාග් හි මිනිසුන් සියයකට වැඩි පිරිසක් මරා දැමූ කොටියා හා එම කොටියා මරා දැමීමය. ඒ මට්ටමෙන් නොවෙතත් වර්තමානයේද ඉන්දියාවේ කොටි – මිනිස් ගැටුම්වල නිමාවක් නැත. එසේ තිබියදී වුවත් ඉන්දියාව කොටියන්, දිවියන් හා සිංහයන් සංරක්ෂණයට විශේෂ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. 2014 වර්ෂයේ 2226 ක් වූ එරට කොටි ගහනය 2018 වර්ෂය වන විට 2967 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ අනුවය. ලෝකයේ කොටි ගහනයෙන් සියයට හැත්තෑවක්ම වාසය කරන්නේ ද ඉන්දියාවේය.

ඉන්දියාව හෝ වෙනත් රටක් මෙන් අලි, කොටි, දිවියන් සංරක්ෂණයට ව්‍යාපෘති දියත් කළ නොහැකි නම් අඩුම වශයෙන් කැලයේ සිටින මේ සතුන් නිරපරාදේ මරා දැමීම වැළැක්වීමට හෝ අප පියවර ගත යුතු නොවේද? ඒ සඳහා පවතින නීතිය හෝ අකුරටම ක්‍රියාත්මක කරන්නැයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

කොටියන් නිරපරාදේ මරා දැමීම වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් යැයි අප කල්පනා කරන්නේ නැත. ඒ සඳහා මූලිකවම කළ යුත්තේ කොටි ගම්වැදීම වැළැක්වීමට පියවර ගැනීමය. කොටින්ට ජීවත් වීමට මේ වන විට ඉතිරිව ඇත්තේ කුඩා කැලෑ ප්‍රමාණය හෝ ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමය.

රටේ මේ තරම් ප්‍රශ්න තිබියදී කොටියකු ආරක්ෂා කර ගැනීමක් ගැන කතා කිරීම කෙනකුගේ මුවඟට සමච්චල් සිනහවක් නැගෙන කාරණයක් විය හැකිය. මේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් නොවන නිසා එතරම් කලබල විය යුතු නැතැයි කල්පනා කළ හැක්කේ හෝ අපි වෙනුවෙන් කොටි මැරුණාට කමක් නැතැයි ක්ලපනා කළ හැක්කේ ජීවත් විය යුත්තේ මිනිසුන් පමණකැයි සිතෙන අයට පමණකි.

පරිසරය – මිනිසාට පමණක් නොව සතා සීපාවටද අයිති බව අප පිළිගත යුතු කාරණයකි. එසේම සෑම සතෙකුගේම පැවැත්මද මිනිසා වන අපගේ පැවැත්මට අවශ්‍ය බවද අප පිළිගත යුතුය. කිසියම් සත්ත්ව විශේෂයක් හෝ දෙකක් ලෝකයෙන් තුරන් වීම පරිසරයේ සමතුලනය වෙනස් වීමට හේතුවක් වන අතර එහි අනිටු විපාක විඳින්නට සිදුවන්නේ ද මිනිසාටමය. වර්තමානයේ මෙරට වගාවන්ට බලවත් ප්‍රශ්නයක් වන තරමට මොනර ගහනය වැඩි වී ඇත්තේ නරි ගහනය අඩු වීම නිසා බව හඳුනාගෙන තිබේ. මේ ආකාරයට කැලයේ කොටි වැනි මාංශ භක්ෂක සතුන් නැතිවීම මුවන් වැනි ශාක භක්ෂක සතුන් ගහනය පාලනයකින් තොරව වැඩිවීමට හේතුවක් වීමට ඉඩ තිබේ.

අප මේ කුමක් කීවත් කොටි මිනිස් ගැටුමට විසඳුමක් ලැබෙතැයි අප විශ්වාස කරන්නේ නැත. දැන් දශක කිහිපයක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුමට විසඳුමක් සොයා ගැනීමට අපට තවමත් හැකි වී නොමැති තත්ත්වයක් තුළ කොටි මිනිස් ගැටුම විසඳෙනු ඇතැයි සිතෙන්නේ කෙසේද? ඒ නිසා කොටි මිනිස් ගැටුම විසඳා ගැනීමට සිදුවනු ඇත්තේද කැලයේ නීතියට අනුවය. ශක්තිවන්තයාට, ප්‍රබලයාට ජය ලැබෙන අතර දුබලයාට පරාජය අත්වන පරිදිය. දැනට නම් ශක්තිවන්තයාද, ප්‍රබලයාද වන්නේ මිනිසාය.