විශේෂාංග

කොටින් පරලොව යවන බලු උගුල්

තේ වගාවට නතු වුණු මධ්‍යම කඳුකරයේ උස් භූමි ආශ්‍රිතව සැරිසරන ‘කොටි’ (දිවියන්), වතු කම්කරුවන්ට නම් මහත් භීතිය උපදවන සත්ත්ව කොට්ඨාසයකි. උන්හිටි ගමන් හොර රහසේම වතු ජනාවාසවලට කඩා වදින කොටින්, කුකුළන්, එළුවන්, ගවයන් සහ බල්ලන් ආදී ගෘහාශ්‍රිත සතුන්ට එල්ල කරන තර්ජනය ඉමහත්ය. තර්ජනයෙන් මිදීම පිණිස කඳුකර වැසියන් දැන් කලක පටන්ම, මහත් සාහසික ක්‍රියාවලියක් අත්හදා බලමින් සිටින්නෝය.

එනම්, ගෙදර දොර ඇති කරන බල්ලන් ‘ඇමක්’ සේ භාවිතකර, කොටියන්ට පාඩම් උගන්වන්නට යාමයි. පාඩම ඉගෙන ගන්නා කොටි, දැන් සෑහෙන කාලයක් තිස්සේ අතිශය කුරිරු ලෙස මිනිසුන් වෙතින් මියැදෙන්නෝය.

එළැඹුණු දෙසැම්බරයේ අග භාගයත් සමගම, රටේ මධ්‍යම කඳුකරය වර්ෂාවෙන් තොර වියළි වකවානුවකින් වෙලී යයි. එය ඊළඟ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වාම පැතිර යන්නේය. මේ කාලයට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව කෙරෙන ලොකුම කටයුත්ත වන්නේ වාර්ෂික ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ වීමයි. එහෙත් වියළි වකවානුව, කඳුකර කොටින්ට නම් මාරාන්තික සමයකි. උඩරට වතුකරයේ ඇතැම් දෙනෙක් බල්ලන් ඇමට තබා කොටින්ට පාඩම් උගන්වන්නට පෙලඹෙන්නේ මේ වකවානුවටය.

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘කොටියා’ යයි හැඳින්වුව ද, ලංකාවේ කැලෑවල දී හමු වන්නේ ‘දිවියන්’ය. උන් සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ, ‘Pantehra pardus cylenisis’ යන නාමකරණයෙනි. ලංකාවේ දිවියා, ලොව වසන දිවි උප විශේෂ නමයෙන් එකෙකි. තේ වගාව ආශ්‍රිත කඳුකරයේ ඇතැමුන් උන්ට පාඩම් උගන්වන්නට යාම, අද ලංකාවේ ‘දිවි’ සම්පතේ පැවැත්ම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකර තිබේ.

බොහෝ කලකට ඉහත නම් වතුකරයේ තේ වගාව සහිත භූමිවල, උස් කඳු මුදුන් වැසී තිබුණේ වන රොදවලිනි. තේ වගා කෙරුණේ එයින් පහළ භූමිවලය. තේ වගා භූමියෙන් ද පහළ පෙදෙස්, ලඳු කැලෑ සහ තේ වගාවට නො ගත් කැලෑ කුට්ටිවලින් සමන්විතව තිබුණේය. එයින් ද පහළ වතු ජනාවාස පිහිටා තිබිණි. ඇතැම් පෙදෙසක තේ වගා භූමිය ආශ්‍රිතව ද කැලෑ තීරු දක්නට ලැබිණි. කඳු මුදුන්වලින් එන ඇළ මාර්ග ද වතු ජනාවාස ඉසව් ඔස්සේ ගලා බැස්සේය.

එකිනෙකට යා නොවුණ ද, කඳු මුදුන්වල සහ තේ වගා බිම් ආශ්‍රිතව පැවැති කැලෑ කුට්ටි, කඳුකර පරිසර පද්ධතියට මහාර්ඝ සම්පතක් විය. ඒවායෙහි හාවුන්, මීමින්නන්, ඕලු මුවන්, වල් ඌරන් සහ ඉත්තෑවුන් ආදී සතුන් වාසය කළහ. දිවියන් ආදී මාංස භක්ෂකයන්ගේ ආහාර කිස සැකසුණේ උන්ගේ දඩයම් මාංසයෙනි. එබැවින් මාංස භක්ෂකයන්ට ආහාර හිඟයක් නො තිබිණි.

වර්තමානයේ වතුකරය තුළ මේ කියන කැලෑ කුට්ටි දක්නට නැත්තේය. එක්කෝ, ඒවායෙහි ‘ගිනි ග්‍රාස්’ ආදී ආක්‍රමණික ශාක වර්ග පැතිර ගොසිනි. එබඳු තැන්වල සතුන්ට ආහාර හෝ ලැගුම් ස්ථාන නැත. සමහර වන භූමී, අනවසර එළවළු වගාවන්ට බිලි වී ගොසිනි. මේ තත්ත්වය නිසා දැන් කලක පටන්ම, බොහොමයක් වතුකර පෙදෙස්වල හාවුන්, මීමින්නන්, ඕලු මුවන් ආදී කුඩා සතුන් හිඟය. මෙහි තේරුම, දිවියන් ආදී මාංස භක්ෂක සතුන්ට ආහාර හිඟයක් නිර්මාණය වී තිබෙනවාය, යන්නයි. ඉතින් දිවියෝ, ජනාවාස පෙදෙස්වලින් ගෘහාශ්‍රිත සතුන් දඩයමට පෙලඹෙති. ජනාවාස පෙදෙස්වල වෙසෙන කුකුළන්, එළුවන්, වසු පැටවුන් සහ බල්ලන් දැන් උන්ගේ ප්‍රියතම ආහාර බවට පත් වෙමින් තිබේ.

වර්තමානයේ මෙය දිවි-මිනිස් ගැටුමක් බවට හැරෙමින් යන බවක් දිස් වෙයි.

ලංකාවේ වසන දිවියන්, ‘වඳවී යාමේ තර්ජනයට’ ලක් වූවන්ය. ඇන්ඩෘ එම්. කිට්ල් සහ ඇන්ජලී සී. වෙට්සන් 2017 දී හෝර්ටන්තැන්නේ කළ සමීක්ෂණයකට අනුව, වර්ග කිලෝමීටර් සීයකට දිවියන් 11.7ක් වාර්තාවී තිබිණි. දැනට ශ්‍රී ලංකාවේ දිවි ගහනය 750-1000 පමණ වෙතියි යන්න, සත්ත්වවේදීන්ගේ පිළිගැනීමයි. එය බොහොම කුඩා සංඛ්‍යාවකි. ඇතැමෙකුගේ කරුණු දැක්වීම් අනුව, වර්තමානයේ කඳුකර වතුකරය ආශ්‍රිතව වෙසෙන දිවියන් සංඛ්‍යාව 800කටත් අඩුය. පරිසරවේදීන් පවසන අන්දමට, කඳුකර වතුකරය ආශ්‍රිතව වසරකට දිවියන් දස දෙනෙක් පමණ මිනිසුන් අතින් ඝාතනයට ලක් වන්නෝය.

වන සත්ත්ව පර් යේෂකයන්ට අනුව, ලංකාවේ කඳුකර දිවියන්ගෙන් පිරිමි සතුන් බොහොම මහේශාක්‍යව ජීවත් වන්නෝය. උන් නිතරම ප්‍රිය කරන්නේ උදේ කාලයට තමන්ගේ ‘වැයික්කියේ’ උස් ස්ථානයක පිහිටි ගල් කුළක් මත ලැග, අවට පරිසරය විපරම් කරමින් පසුවන්නටය. දිවියන් බොහොම දෙනෙකුට, උන්ගේ සැරිසැරුම් භූමි ඇතුළත් ‘වැයික්කි’ හෙවත් ‘වසම්’ තිබේ. ආහාර සොයා යන අනෙකුත් දිවියන්ට ඒවාට ඇතුළු වීමට තහංචිය. උන් වැයික්කි නිර්ණය කරන්නේ, ගෘහාශ්‍රිත පරිසරයේ දී බල්ලන් කරන්නාක් මෙන් තැනින් තැන ‘මුත්‍රා’ සලකුණු තැබීමෙනි. ඒවා ඉව කරන වෙනත් දිවියන්, එතැනින් ඔබ්බට නො යාමට වග බලා ගනිති. ගියොත් ඇති වන්නේ ගැටුමකි. ඇතැම් පිරිමි දිවියෙකුගේ වැයික්කිය වර්ග කිලෝමීටර් විස්සක් පමණ වේ.

පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන අන්දමට, ‘දිවියා’ (කොටියා), වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත මගින් දැඩි සේ ආරක්ෂාකර ඇති ක්ෂීරපායී සත්ත්වයෙකි. උන්ට හානි කිරීම හෝ මරා දැමීම, දැඩි දඬුවම් හිමිවන වරදකි. පරිසරය සහ වන සතුන් සම්බන්ධ නීති මගින් එවන් ආරක්ෂාවක් පනවා ඇත්තේ උන්ගේ පැවැත්ම විශාල ලෙස අභියෝගයට ලක්ව ඇති නිසාය.

පරිසරවේදියෙකු සහ සමනල පර් යේෂකයෙකු වන රාජික ගමගේ පවසන අන්දමට, ඇතැම් ගොවීන් සිය එළවළු වගාවන් වල් ඌරන්ගෙන් ආරක්ෂාකර ගැනීම පිණිස තම නිවෙස්වල ඇති කරන බල්ලන් රාත්‍රි කාලයට කොරටු භූමිවල බැඳ දමති. එයින් ඔවුන්ගේ එළවළු කොරටුවට ‘ඌරන්’ පැනීම නම් වැළකෙයි. එහෙත් බල්ලන්ගේ දර්ශනය, දිවියන්ට නම් රස මසවුලකි. උන් රාත්‍රියට පැමිණ බල්ලන් ආහාරයට ඩැහැ ගෙන යන්නෝය. ඇතැමෙක්, දිවියන් අල්ලා ගැනීමේ අරමුණින්ම බල්ලන් බිල්ලට දෙති.

මෙය, වතුකරයේ මිනිසුන් භීතියට මෙන්ම කෝපයට ද පත් කෙරෙන සිද්ධියකි. භීතිය නම්, දිවියන් තම ජනාවාසය අසලටම පැමිණ තිබීමය. කෝපය නම්, තමන්ගේ සුරතල් බල්ලන් ඩැහැ ගෙන යාමය. සාමාන්‍යයෙන් දිවියන් යම් ගොදුරක් ඩැහැ ගත් පසුව, එය එක්වරම ගිල දමන්නේ නැත. ගොදුර යම් තැනකට ඇද ගෙන ගොස්, එයින් ටිකක් ගිල දමා පිටව යාම උන්ගේ සිරිතයි. ඉන් පසුව යළිත් එතැනට පැමිණ තවත් ටිකක් ගිල දමයි. මේ ආකාරයට, උන් ගොදුර ගිල දමන්නේ අවස්ථා ගණනක දීය. වතුකරයේ උදවිය, දිවියන්ගේ මේ ආහාර චර්යාව ගැන මැනවින් දනිති. දිවියාට පාඩමක් ඉගැන්වීම පිණිස ඔවුන් කරන්නේ, බොහොම පරිස්සමින් ගොස්, දිවියාට ගොදුරු වුණු බලු මළකුණේ ඉතිරි කොටසට අධික විෂ සහිත එක්තරා කෘමිනාශක කැට වර්ගයක් දැමීමයි.

ඊළඟ වටයේ ආහාර කිසට එන දිවියා මේ වස දැමිල්ල ගැන දන්නේ නැත. ඌ, තම ගොදුර රිසි සේ ගිල දමයි. අවසන, උන් වන මැද කොතැනක හෝ වැටී මිය යන්නෝ ය.
පැටවුන් සිටින දිවි දෙනක මේ උගුලට හසු වීම, මහත් ඛේදවාචකයකි. එයින් දිවි දෙන සහ පැටවුන් ද මියෑදීම ඊට හේතුවයි. කඳුකර වතුකරය පුරා අධික විෂ සහිත කෘමිනාශක වර්ග ද සුලභව තිබේ.

‘අනවසර වගාවන් නිසා දිවියන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව බිඳ වැටුණා. උන් ජනාවාසවලට වදින්න පටන් ගත්තේ එයින් පසුවයි. මේකට මොකක් හරි නොකළොත් කඳුකර දිවි සම්පත වැනසී යාවි’. රාජික ගමගේ කියන්නේය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර