Uncategorized

කේෂිලා ජයවර්ධන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිතුමිය ලෙස වැඩ භාර ගනී

කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් 2020 ජනවාරි 02 වන දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිතුමිය ලෙස වැඩ භාර ගන්නා ලදී.

කේෂිලා ජයවර්ධන මහත්මිය කඳුරට සංවර්ධන බැංකුවේ සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරියක ලෙස බැංකු ක්ෂේත්‍රයේ දශයකට වැඩි අත්දැකීම් සමුදායකට හිමිකම් කියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ ඇය විසින් එම විශ්වවිද්‍යාලයෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා ලදී. පසුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තිය දිවිය අරඹන ජයවර්ධන මහත්මිය වරණීය ඡන්ද ක්‍රමය, තුන්වන ලෝකයේ රටවල කාන්තාව සහ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය ආදී දේශපාලන විද්‍යාවේ වැදගත් විෂයය ක්ෂේත්‍ර පිළිබඳ ශාස්ත්‍රීය ලිපි රැසක් පළ කර තිබේ.
ඇය 2004 වසරේදී කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිතුමිය ලෙස පත්කරන ලදුව සිව් වසරක් එම ධුරය හෙබවූවාය. පසුව ඇය 2009 -2011 කාල සීමාව තුළදී මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය.

2011 වර්ෂයේදී ජයවර්ධන මහත්මිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිවරිය ලෙස පත්වූ අතර මෙරට දරිද්‍රතාව පිටුදැකීම සඳහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන පහසුවෙන් ළඟා විය හැකි සහ දැරිය හැකි ණය පහසුකම් සැපයීම ඔස්සේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිණිස විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙහිලා මූලික වීමට 2015 වසර දක්වාවූ සිය ධුර කාලය තුළදී ඇයට හැකි විය.