විශේෂාංග

කෙසෙල් ගෙඩි දබරය මිනී මැරුමෙන් කෙලවර වූ හැටි

 

අප අසා තිබුණේ පොල් ගෙඩියට කොස් ගෙඩියට මිනී මරා ගන්නා පුවත්ය. එහෙත් පසුගිය විසි වැනි සෙනසුරාදා කුරුණෑගල නගරයේ කෙසෙල් ගෙඩියකට මිනී මරා ගත්තේය. කෙසෙල් කැනකට මිනී මරා ගැනීම තේරුම්ගත හැකිය. කෙසෙල් වතුවලට පනින වඳුරන්ද වවුලන්ද වගාව බේරා ගැනීමට මරා දමන අවස්ථා ඇත. එහෙත් කෙසෙල් ගෙඩියකට මිනී මරා ගත් පුවතක් වාර්තා වූ ලක් ඉතිහාසයේ පළමු වතාවය මේ.

මෙය සිදුවූයේ සෙනසුරාදා පස්වරු පහයි තිහට පමණය. කුරුණෑගල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැරකුම් මාවතෙහි කුඩා පලතුරු වෙළෙඳසලට එම නගරයේම පදික වෙළෙන්දකු වූ තුවාන් නසීර් ගොඩවූයේ කෙසෙල් ගෙඩියක් ඉල්ලා ගෙනය. කඩය කුඩා වුවද ඉදිරිපස පලතුරුවලින් පිරී තිබුණ අතර පසුපස කොටස භෝජනාගාරයකට ගැළපෙන ලෙස පවත්වාගෙන යමින් තිබිණ. තුවාන් නසීර් රුපියල් දහසක් දී කඩයේ කැෂියර් කූඩුවේ සිටි එහි හිමිකරුවාගෙන් කෙසෙල් ගෙඩියක් ඉල්ලා සිටියේය. කැනෙන් කැඩූ කෙසෙල් ගෙඩියක් සමග රුපියල් දහසේ ඉතිරි මුදල වූ රුපියල් 970 තුවාන්ට ලැබිණ. කෙසෙල් ගෙඩිය රැගෙන ගිය තුවාන් ක්ෂණයකින්ම ආපසු ආවේ කෝපාග්නිය පිට කරමිනි. කෙසෙල් ගෙඩියට රුපියල් තිහක් ගැනීම ගැන ඔහු පසුවූයේ දැඩි ලෙස කෝපාවිෂ්ට වූ ගතියකිනි. හෝටලය ඉදිරි පිටට ආ ඔහු එහි ඉදිරිපස තිබූ රස කැවිලි හා වෙනත් ආහාර ද්‍රව්‍ය අසුරා තිබූ ෂෝකේස් එකක්ද බිම පෙරළා දැමුවේය. ෂෝකේස් බිම වැටෙන හඬට අහල පහල උදවිය රැස් වන්නට විය. මේ ගෝරිකාරයා කවුරුන්දැයි හරියටම හඳුනා ගන්නට නොහැකිවුවද අසල සිටි කිහිප දෙනකුගේ ජංගම දුරකථන ක්‍රියාත්මක කළේ කුරුණෑගල පොලිසියට දැනුම් දීමටය. බඩු මුට්ටු පෙරළා දැමූ තුවාන් යන්නට ගියේය. එහෙත් ඔහු නැවතත් ආරවුලකට පැමිණේ යැයි කවුරුවත් නොසිතුවද ඔහු ක්ෂ​ණයකින්ම ආපසු ආවේ බියර් බෝතලයක්ද සමගය. ඔහු අත වූයේ බියර් පානය කර ඉතිරි වූ හිස් බෝතලයකි.

හෝටලය ඉදිරිපිට තිබෙන ආරක්ෂක යකඩ වැටට ගසා බෝතලය කඩා ගත් ඩෙනිම් කලිසම ඇඳගත් තුවාන් හෝටලය ඇතුළට කඩා පැන ඇත්තේ කඩා ගත් බෝතලයෙහි එක් කොටසක් අතෙහි තබා ගෙන එය අමෝරාගෙනය. ‘‘රුපියල් තිහකට කෙසෙල් ගෙඩියක් විකුණන්නේ කොහොමදැ යකෝ’’යි කෑ ගැසූ තුවාන් එම කඩා ගත් බෝතල් කොටසින් හෝටලයේ අයිතිකරු වන ෂහබ්දීන් මොහමඩ් ඉර්ෂාඩ්ට ඇන්නේය. ඔහුගේ මුහුණට වැදුණු බෝතල් පහරින් සුළු තුවාලයක් සිදුවුණද ඔහු ජීවිතය බේරා ගනිමින් එම ස්ථානයෙන් පැන ගන්නට උත්සාහ කළේය. හෝටල් අයිතිකරුගේ සහායට දුවගෙන ආවේ එහි සේවකයාය. ඔහු සේගු අබ්දුල් කාදර් මොහමඩ් රවුෆ්ඩීන්ය. අයිතිකරුගෙන් ගන්නට බැරි වූ පළිය සේවකයාගෙන් ගන්නට කැඩුණු බෝතලයත් සමගම තුවාන් පැන්නේ සේවකයා වෙතය. නමුත් හෝටලයේ සේවකයා හෝටලයෙන් එළියට පැන ගත්තේය. දුවන්නට තැනක් නොමැතිව ඔහු ගොඩ වූයේ ඒ අසලම තිබූ කොමියුනිකේෂන් එකකටය. අභාගයකි! දුවන්නට තැනක් නැත’’. ඔහු කොමියුනිකේෂන් එක තුළම ඇද වැටුණු අතර පන්නාගෙන ආ තුවාන් බෝතලයෙන් ඉහළ සිට පහළටම ඇන්නේ එම සේවකයාටය. වටින් පිටින් රැස් වූ කිසිවකුත් ඔහුට කිට්ටු නොවූයේ ඔහුගේ අතෙහි තිබූ ආයුධය බලවත් තීව්‍ර එකක් වූ නිසාය. රවුෆ්ඩීන්ට බෝතල් කටුවෙන් ඇන්න තුවාන් නැගිටින විටම හෝටල් සේවකයන් ඔහුව වට කර ගෙන තිබේ. ලේ ගලන තුවාලවලින් යුතුව හෝටල් ​සේවකයා කෑ ගසන විට කුරුණෑගල පොලිසියේ ජීප් රථය ඒ ඉදිරිපස නතර කරනු දක්නට ලැබී ඇත.

මෙම ගැටුම ආරම්භ වන විටම ජනතාවගෙන් ලැබුණු නිර්නාමික පැමිණිලි අනුව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.එන්. පුෂ්පලාල් මහතා පොලිස් කණ්ඩායමක් සමග වහා සූදානම් වී මෙම ස්ථානයට පැමිණෙන්නට කටයුතු කර තිබිණ. පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට පැමිණෙන විටම අපරාධය කළ තැනැත්තා මහජන අත්අඩංගුවේය. බෝතල් පහර කා බිම වැටී සිටි සේවක රවුෆ්ඩීන් අසාධ්‍ය තත්ත්වයේය. වහා ඔහුව කුරුණෑගල මහ රෝහල වෙත පිටත්කර යැවූ නමුත් රවුෆ්ඩීන්ට වැඩි වෙලාවක් ජීවත් වන්නට අවකාශ ලැබුණේ නැත. ඔහු රෝහල තුළදීම අවසන් හුස්ම හෙළීය. පහර දුන් තැනැත්තා අත්අඩංගුවට පත් විය.

සිංහල නාමයක් සහිතව බස් නැවතුම්පොළ ඉදිරිපිට තිබෙන මෙම හෝටලය මුලින් සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයකුට අයත්ව තිබුණද දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ මොහමඩ් ඉර්ෂාඩ් නමැත්තෙකි. ඔහු යටතේ තවත් පස් දෙනකු පමණ මෙහි සේවයෙහි යෙදී සිටිති. මෙම සියලු දෙනාම කුරුණෑගල පදිංචි අය නොවේ. ඔවුන් සියල්ලෝම ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. බෝතල් පහරින් මියගිය මොහමඩ් ඉර්ෂාන් කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ කෙනකු වුවද ඔහු විවාහ වී ඇත්තේ ගලේවෙල ප්‍රදේශයෙන්ය. ඒ අනුව ඔහු දැනට පදිංචිවී ඇත්තේද ගලේවෙලය.

මොහමඩ් ඉර්ෂාඩ් මෙම හෝටලයේ සේවය සඳහා පැමිණ ඇත්තේ මෙයට වසර දෙකකට පමණ පෙරය. ඔහු දරුවන් තිදෙනකුගේ පියකු වන අතර වයසින් අවුරුදු 58 හැවිරිදිය. හෝටලයේ අයිතකරුගේ විශ්වාසවන්තම සේවකයා මොහමඩ් ඉර්ෆාන්ය.

සැකකරු වන තුවාන් පුත්‍ර නසීර් කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙසේය.

මම එම කඩේට ගොඩ වූයේ කෙසෙල් ගෙඩියක් කන්නටයි. ගෙඩිය රුපියල් තිහයි කිව්වා. මා ළඟ පොඩි සල්ලි තිබුණේ නැහැ. රුපියල් දහසේ කොළයකුයි තිබුණේ. මම එය දික්කළා. මුදලාලි වහාම ඒක මාරු කරලා රුපියල් 30 අරගෙන මට ඉතුරු සල්ලි දුන්නා. මට දොස් කිව්වා. මට තරහ ගියේ ඒකටයි. මේ මනුස්සයා රුපියල් තිහක් ගන්නට දාහේ කොළේ මාරු කළානේ! ඒ තරහටයි මම සණ්ඩු වුණේ. එකට වෙළෙඳාම් කරන අපට එසේ කිරීම නරකයි. මට ආපු තරහට මම බැන්නා. මගේ අතේ තිබුණු බෝතලයෙන් පහර දුන්නා. මම බෝතලයෙන් පහර දුන්නේ මරන්නට නෙවෙයි. මට ආපු තරහටයි මම පහර දුන්නේ. නමුත් මම හිතුවේ නැහැ මගේ පහර දීමෙන් මනුෂ්‍යයා මැරේවි කියා.

කෙසෙල් ගෙඩිවල මිල විවිධය. ඇඹුල් කෙසෙල් ගෙඩියක් රුපියල් 10ක් වන අතර ආනමාලු කෙසෙල් ගෙඩියක් රුපියල් 18ක් පමණ වේ.

කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් රුපියල් විසිදෙකත් විසි පහත් අතර වෙයි. රත්කෙහෙල් පූවාලු ආදී කෙසෙල් වර්ගවලට තිබෙන මිල ඉතා ඉහළය. දැන් කෙසෙල් ගෙඩි විකිණීමේ සිරිතක් නැති අතර දැන් කෙසෙල් විකුණන්නේ ඇවරි වශයෙන් කපා කිලෝ ගණනෙනි. කෙසෙල් ගෙඩියක් කඩාගෙන ආප්පයක් කා කහට ​එකක් බිව් කාලය දැන් ගෙවිලාය. එම නිසාම කෙසෙල් ගෙඩියක මිල ඇසූ විට වෙළෙන්දාටද කේන්ති යන්නට ඇත. කෙසෙල් ගෙඩියට රුපියල් 1000 මාරු කර රුපියල් තිහ ගැනීමද පාරිභෝගිකයා කෝප ගන්වන්නකි.

මේ අසාමාන්‍ය කෝපය අද හැමතැනම තිබෙන බව අපට දැනේ. කෙසෙල් කඩ හිමියා සේම බෝතලයෙන් ඇන කඩයේ සේවකයා මැරූ තුවාන්ද නිරන්තර ඉන්නේ වෙළඳාමත් සංකීර්ණ තරගකාරි ජීවිතයත් නිසා තරහෙනි. ක්‍රීඩා, ආගමික, කලා සෞන්දර්ය කටයුතුවලින් වියෝ වී සියල්ල හම්බු කිරීමට වීමෙන් තුවාන්ද, මොහමඩ් ඉර්ෆාඩ්ද එකසේ කෝපයෙන් සිටින පුද්ගලයන්ව සිටි බව අපට පෙනේ. අප කවුරුත් කෙසෙල් ගෙඩියටත් මිනී මරණ තරම් ඉහළ නැග ඇති කෝප ගින්නට දිය පොදක් ඉසින්නට බැරිද?

මීට දශක ගණනාවකට පෙර මෙරට වෙසෙන විශිෂ්ට චිත්‍ර කලාකරුවකු වූ බන්ධුල හරිස්චන්ද්‍රයන්ට වූ සිදුවීමක් මෙසේය. බණ්ඩාරගම අළුබෝමුල්ල ගමේ පදිංචි බන්ධුල හරිස්චන්ද්‍ර රෑ යාමේ සේවය නිමවා ගෙදර යන විට ගෙයි කඩුල්ල පැන යමක් කර තබාගෙන ඉදිරියට එන මිනිහෙක් ඔහු හමුවට ආවේය. ඒ ආ තැනැත්තාගේ කරේ වූයේ බන්ධුල හරිස්චන්ද්‍ර මාස්ටර්ගේ වත්තෙන් කැපූ කෙසෙල් කැනය. බන්ධුල හරිස්චන්ද්‍ර නම් චිත්‍ර ශිල්පියා හොරා නොදැක්කාක් මෙන් අහක බලාගෙන වත්තට ඇතුළු වූයේ හොරාට ලජ්ජා හිතෙයි කියා සිතාය. ඒ කලාව තුළ ඇති නිවීමය. දවසේම පදික වේදිකාවේ බඩු විකුණන කොට,කඩයේ වෙළෙඳාම් කරනකොට, සල්ලිම හොයන කොට ඒ නිවීම කොහේද?

ජේ. එම් . මහරුෆ් – අලව්ව