විශේෂාංග

කෙසෙල් කොළේ බත් කෑවොත් බඩ අඩු කරගන්න දුවන්න ඕනෙ නෑ !

කොළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත් ඉතින් ඔය තුනී කරපු ප්ලාස්ටික් කොළයක්නෙ. ඔය ප්ලාස්ටික් කොළේට උදේ පාන්දර බත් බෙදාගෙන දුම් දම දමා වැඩට ගෙනියන බහුතරයක් උදවිය දන්නෙ නෑ ඔය ගෙනියන්නෙ වහ ගුළියක් කියලා.

ලන්ච් ෂීට් එකේ තියෙන ප්ලාස්ටික්, බත් ගෙඩියෙ රස්නෙට ටික ටික දියවෙනවා. ඒ දියවුණු ප්ලාස්ටික් හරි අපූරුවට බත් එකට එකතු වෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. ඔය ලන්ච් ෂීට් එකේ බත් ගෙනියන උදවිය දැන් අවුරුදු ගාණක් තිස්සෙ බත්වලට වඩා ප්ලාස්ටික් කෑවා කිව්වෙ ඔන්න ඕකයි අපි.

හැමදාම ඉතින් මිනිස්සුන්ට ප්ලාස්ටික් කාලා ඉස්පිරිතාලවල දිග පෝලිම්වල කරවෙවී ඉන්න බැරි නිසාම ලන්ච් ෂීට් කොළේට වඩා ඔන්න දැන් කෙසෙල් කොළේ බත් කන්න හරි අපූරු ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ අද ඊයෙක ආපු එකක් නම් නෙවෙයි. ඒත් ඉතින් එන්න එන්නම හැම නගරෙකම ‘කෙසෙල් කොළේ බත් කඩ’ වැඩිවෙන්න පටන් අරන් නම් තියෙනවා.

ගමේ මිනිස්සුන්ට නම් ඉතින් කෙසෙල් කොළේ බත් ටිකක් කන එක මහා අරුමයක් නෙවෙයි. බත් ඔතන්න විතරක් නෙවෙයි, කිරිබත තුනී කරන්න, කුරක්කන් රොටිය වඩවන්න වගේම සමහර වෙලාවට වතුර වැඩිවෙලා බෙරි වෙන බත තුනී කරන්න, අළුවා කපන්න, කමතට ඇඹුල ගෙනියන්න, බටපොතු පෙට්ය වහන්නත් ගමේ මිනිස්සු ගත්තෙ කෙසෙල් කොළේ.

කෙසෙල් කොළේටම ආවේණික වුණු එක්තරා විශේෂිත ඉටි වර්ගයක් තියෙනවා. මේ ඉටි ක්‍රියාත්මක වෙන්නෙ කෙසෙල් කොළේට අපි උණු උණුවෙන් බත්, ව්‍යංජන බෙදුවාම. ව්‍යංජනවල තියෙන ඒ රස්නෙත් එක්ක මේ ඉටි ටික ටික දියවෙන්න පටන් ගන්නවා. දියවෙමින් යන ඉටි ක්‍රම ක්‍රමයෙන් කෙසෙල් කොළේ ඔතපු බත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන ඉටිවලින් තමයි කෑමවල රස වගේම සුවඳ වැඩි වෙන්නෙ.

කෙසෙල් කොළේ රත් කළාම, නැතිනම් තවාගත්තම කෙසෙල් කොළේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වෙලා ඒ ආහාරයට උරා ගන්නවා. ඒ නිසා තමයි කෙසෙල් කොළේ ඔතපු බත් එකක් දිග අරිද්දි කටට කෙළ උණන්නෙ. ඔය පෝෂ්‍ය පදාර්ථවලට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, සිට්රික් අම්ලය වගේම කැරොටින් අම්ලයත් මේ කෙසෙල් කොළේ අඩංගු වෙලා තියෙනවා.

අපේ කතාවට ආපහු ආවොත්, අපි අද කතා කරන්නෙ කොළඹ තියෙන කෙසෙල් කොළේ බත් විකුණන තැන් ගැන. කොළඹට කොහෙන්ද කෙසෙල් කොළ? මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෙසෙල් ගස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න අමාරුම වැඩක්.

කොළඹ තියෙනවා කලාප 15ක්. ඔය කලාප පහළොවේම කොහේ හරි අස්සක මුල්ලක නම් කෙසෙල් කොළේ බත් කඩයක් නම් වරදින්නෙම නෑ. කොළඹට කෙසෙල් කොළ ගේන හැටි හොයන්න ගිහින් මට හම්බවුණා හරිම අමුතු පුද්ගලයෙක්. ඒ සිරිදාස මුදලාලි. සිරිදාස මුදලාලිගෙ ගම ගාල්ලෙ, බද්දේගම. අවුරුදු 20ක් 25ක් තිස්සෙ ඉඳලා සිරිදාස මුදලාලි කරලා තියෙන්නේ කෙසෙල් වවපු එක.

‘‘මට කෙසෙල් ගස් එක්ක තියෙන්නෙ මනුස්සයෙකුට බඩේ බත් වගේ සම්බන්ධයක් නෝනා. අපේ තාත්තලා කළේ මේක. අපිත් ඒකම කළා. කෙසෙල් කියන්නෙ ඉතින් අවුරුද්දෙ ඕන කාලෙක වවන්න පුළුවන් දෙයක්නෙ.’’

සිරිදාස මුදලාලි කාලයක් තිස්සෙ කොළඹ ඔය එක එක කෙසෙල් කොළ, බත් කඩවලට විකුණලා තියෙනවා. ඔහු ඒ පිළිබඳව අපිට කිව්වෙ මෙහෙම.

‘‘දැන් ඉතින් කෙසෙල් කොළේ බත් කන්න කොළඹ මිනිස්සු හරි ආසයිනෙ. ඒකනෙ ඔය කඩ හැට හුටහමාරක් විතර තියෙන්නෙ. මුලින්ම මං කොළඹ ආවෙ දෙමළ කඩයකට කෙසෙල් කොළ අරන්. ඔය බොරැල්ල පැත්තෙ ඒ 2011 විතර. එතකොට නම් ඉතින් මහ ලොකු ගණන් ගත්තෙ නෑ. ඒ කාලෙ එක කොළේකට රුපියල් එකයි පනහයි.’’

‘‘කෙසෙල් කැන් කැපුවට පස්සෙ තමයි කෙසෙල් ගස්වල කොළ ඔවුන් කපන්නෙ. ඒ කපන දවසට හරි ඊට පස්සෙ දවසෙ හරි ඒ කපපු ප්‍රමාණෙට අනුව ඒවා කොළඹට ගේන්න ප්‍රවාහන ක්‍රමයක් හොයාගන්නෙ. කොළ 200ක් 500ක් වගේ නම් ඉතින් ඩිමෝ බට්ටෙක් වගේ කුඩා ලොරියක තමයි ඒවා කොළඹ ගේන්නෙ’’ විශේෂයෙන්ම හින්දු බැතිමතුන්ගේ විවිධ ආගමික අවස්ථාවලට, විශාල උත්සවවලට කෙසෙල් කොළ ගේනවා නම් ඔවුන් විශාල ලොරි රථ ඒවාට භාවිත කරනවා. කොළ 1000ක් 2000ක් වුණත් මේ ලොරිවල කොළඹට ගේන්න පුළුවන්.

ඔය කෙසෙල් කොළ අහුරන්නේ හරි අපූරු සිස්ටම් එකකට. කෙසෙල් කොළේ නාරටිය එකිනෙකට විරුද්ධ පැත්තට වෙන්න තියනවා. එහෙම විරුද්ධ පැත්තට තියන කොළ උඩ එකක් උඩ එකක් තියනවා. එහෙම කොළයක් උඩ කොළයක් තිබ්බම ඒ කොළ ඉරෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන් කියලා ඔහු අපිට කිව්වා. කොළ එකක් උඩ එකක් තියන්නෙ කොළේ නටුවද එකිනෙකට විරුද්ධ පැත්තට හිටින්න. එතකොට අහුරගන්නත් ලේසියි, ඉරෙන්නෙත් නෑ, ගෙනියන්නත් පහසුයි.

සිරිදාස මුදලාලිගෙන් කෙසෙල් කොළ ගන්න කොළඹ කඩවල් 40ක් 50ක් තියෙනවා. ඔය අතරින් බහුතරයක්ම දෙමළ කඩ. දෙමිළ මිනිස්සුන්ට කෙසෙල් කොළේ එක්ක හරි ආත්මීය බැඳීමක් තියෙනවා. ඒ හැම ගෙදරම දවල්ට හරි උදේට හරි පවුලෙ උදවිය එකතුවෙලා කෑම ගන්නේ කෙසෙල් කොළේ තමයි. යහමින් වැටුණු සම්බාරු හොදි එක්ක ඉට්ලි දෙක තුනකටම වගකියන්න පුළුවන් ඒ රහට.

‘‘කෙසෙල් කොළයක් දැන් නම් රුපියල් තුනකට හතරකට වගේ තමයි කඩවලට දාන්නෙ’’ කියපු සිරිදාස මුදලාලි කිව්වෙ, ‘‘ඔය දෙමළ මිනිස්සුන්ගෙ උත්සව කාලෙට වගේ නම් කෙසෙල් කොළයක් රුපියල් පහකට දහයකට වගේ විකිණෙනවා. සම්පූර්ණ කෙසෙල් කොළේම කොළඹ ගෙනියන්නෙ නෑ. බත් එකට ඔතන්න පුළුවන් කොටස විතරයි කොළඹ අරන් යන්නෙ. උත්සවවලට නම් සම්පූර්ණ කෙසෙල් කොළේම ගෙනියනවා. ඒ නිසාම තමයි රුපියල් පහක් දහයක් වගේ වෙන්නෙ.’’

ඔය කෙසෙල් කොළවලට හොඳ ඉල්ලුමක්, හොඳ මාකට් එකක් තියෙන්නෙ බොරැල්ල, නුගේගොඩ, කොල්ලුපිටිය, වැල්ලවත්ත වගේ ප්‍රදේශවල. කොල්ලුපිටිය, වැල්ලවත්ත වගේ නම් නිරන්තරයෙන් විදේශිකයෝ ගැවසෙන නිසා ඒ ආශ්‍රිතව තියෙන මේ ‘කෙසෙල් කොළ බත් කඩ’ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

බොහෝ වෙලාවට කොළඹට කෙසෙල් කොළ ගේන්නේ දකුණු පළාතෙන්. ඇල්පිටිය, බද්දේගම, කරන්දෙණිය, මාපලගම, අක්මීමන වගේ ප්‍රදේශවලින්. ඇඹිලිපිටිය, බරවකුඹුර වගේ ප්‍රදේශවලින් කෙසෙල් කොළ කොළඹට ගෙනියනවා. නමුත් සිරිදාස මුදලාලි කිව්වෙ ඇඹිලිපිටිය වගේ දුර පළාත්වලින් කොළඹට කෙසෙල් කොළ ගෙනියන්න පැය හත හටක්ම ගතවන නිසා කොළ හුළඟට ඉරෙන්න බලනවා කියලා.

ඔන්න ඔහොම තමයි ඉතින් මේ කෙසෙල් කොළේ කොළඹට එන්නේ.

ඔබ නොදන්නවා වුණාට කෙසෙල් කොළේ Epigallocatechin gallate කියලා විශේෂිත ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. සරලව කියනවා නම් ඔබ නිතර දෙවේලේ බඩ අඩුවෙන්න කියලා බොන ග්‍රීන් ටී (Green Tea) වලටත් වඩා මේ ප්‍රතිඔක්සිකාරකය බලවත්.

එහෙම බලද්දි නම් බර අඩුකර ගන්න කියලා ඔය හන්දියක් හන්දියක් ගාණේ පණ දාගෙන දුවන නෝනලාට, මහත්වරුන්ට කෙසෙල් කොළේ ඔතපු හොඳ බත් එකක් ඉඳලා හිටලා හරි කනවා නම් ලංකාවටම තියෙන බර වැඩිවෙන ජාතික ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබේවි.

අශිකා ජයවීර