කතුවැකි

කුසල් මෙන්ඩිස්ලාට තළා ක්‍රිකට් ගොඩදැමිය නොහැකිය

ජාතික ක්‍රිකට් පිලේ කෙරුවාව නිසා එය ගන්නට කෙනෙක් ඇත්නම් පෞද්ගලික අංශයට විකුණා දමන්නට අප යෝජනා කළේ පසුගිය සඳුදා (28වැනිදා) ය. එහෙත් දැන් තත්ත්වය අනුව නම් නිකං දුන්නත් කවුරුත් මේ ක්‍රිකට් පිල භාරගනු ඇත්දැයි සැක සහිතය. දැන් ඉන්නේ ක්‍රීඩක දක්ෂතාව පමණක් නොව හැදියාවක්ද නැති වසලයන් ටිකක් බව පෙනී යන නිසාය.

ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩාවකින් ජය පැරදුමට අමතරව අපේක්ෂා කරන වටිනා බොහෝ දේ තිබේ. දරා ගැනීම, ශාරීරික සුවතාව, ඉවසීම, කණ්ඩායම් හැඟීම, නායකත්වයට ගරු කිරීම, නීතිගරුක බව ආදී වශයෙන් සදාචාර සම්පන්න මිනිසකු නිර්මාණය වීමට හේතුවන යහපත් ගුණාංග රාශියක් ලෙස ඒවා ලැයිස්තුගත කළ හැකිය. විනයගරුක බව මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබෙන ප්‍රධාන ගුණාංගයකි. විනයගරුක බව කියද්දී සියලු ක්‍රීඩා අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ ස්ථානයක් හිමි වේ. ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි කියන නිසාය.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩා කළ පමණින් වසලයන් මහත්වරුන් නොවන බව නිරෝධායන නීති නොතකා මහ රෑ එංගලන්තයේ පාරවල් ගානේ රස්තියාදුවේ යන කුසල් මෙන්ඩිස් වැනි අය ඔප්පුකර තිබේ. දැන් හැම දෙනාම කතා කරන්නේ කුසල් මෙන්ඩිස් සහ අනෙක් දෙදෙනා උස්සා පරසක්වල ගසන්නටය. අපගේ අදහස නම් මෙන්ඩිස්ලා කණ්ඩායම් එළවා දැමූ පමණින් අපේ ක්‍රිකට් පිලට ලබා ඇති හෙණහුරා ඉවත්ව නොයනු ඇති බවය.

කුසල් මෙන්ඩිස් හා අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් විවේචන උග්‍ර වී ඇත්තේ ඔවුන් ක්‍රිකට් පිටියේ දිගින් දිගටම අසාර්ථක වී ඇති නිසාය. මේ නිසා ඇතැමකු කියන්නේ ගිය වැඩේ හරියට කළා නම් මේ ආකාරයට හැසිරුණත් කම් නොමැති බවය. අප සිතන ආකාරයට නම් ක්‍රීඩාව සම්බන්ධයෙන් සලකන කල එය නිවැරදි ආස්ථානයක් නොවන බවය. මොන තරම් දක්ෂ ක්‍රීඩකයකු වුවත් ඔහු විනයගරුක නැති නොසණ්ඩාලයකු නම් එවැනි ක්‍රීඩකයන්ගෙන් පලක් නැත. එවැනි ක්‍රීඩකයන් යොදාගෙන ක්‍රීඩා තරග ජයග්‍රහණය කළ හැකි විය හැකි නමුත් ඉන් ක්‍රීඩාවට අත්වන සෙතක් නැත. කුසල් මෙන්ඩිස් වැනි නොහික්මුණු ක්‍රීඩකයන් කොතරම් දක්ෂයන් වුවත් ඔවුන්ට දඬුවම් කළ යුත්තේ මෙවැනි අය නිසා ක්‍රීඩාව සූදු සෙල්ලමක් බවට පත්වීම නිසාය.

කෙසේ වෙතත් අද අපේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයට කුසල් මෙන්ඩිස්ලා පමණක් වග කිව යුතු නොමැති බව අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. එනිසා ඔවුන්ට දඬුවම් කළ පමණින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් ගොඩගත හැකිවනු ඇතැයි අප කල්පනා කරන්නේ ද නැත. හැම දෙනාගේම ඇඟිල්ල ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතත් රටේ අනෙකුත් ක්‍රීඩාවන්ට සිදුව ඇත්තේද එම ආනිසංසයමය. වෙනසකට ඇත්තේ එම ක්‍රීඩාවන් තුළ ක්‍රිකට් ක්‍රීඩාව තරමට මුදල් මැදිහත් වී නොමැති වීමය. අද අපේ ක්‍රීඩාවන්ගේ ජීවගුණය විනාශ වී හුදු සෙල්ලමක් බවට පත්වන්නේ පාසල් මට්ටමේ සිටය. මේ නිසා රටේ ක්‍රීඩාව ක්‍රීඩාවට උරුම ජීව ගුණයෙන් යුතුව පවත්වාගෙන යෑමට නම් එය වෙනස් කිරීම ආරම්භ කළ යුත්තේ පාසල් මට්ටමේ සිටය.

කුසල් මෙන්ඩිස්ලාගේ නොමනා හැසිරීම විවේචනය කරන බොහෝ දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අර්ජුන රණතුංග යුගය ගැන ප්‍රශංසාත්මකව සඳහන් කරමින් සිටිනු දැකගත හැකිය. අර්ජුන රණතුංගගේ අසහාය නායකත්වය ගැන විවාදයක් නැත. අර්ජුන යනු කණ්ඩායමක සාර්ථකත්වයට හොඳ නායකයකු කොයිතරම් වැදගත් වන්නේද යන්නට දිය හැකි හොඳම උදාහරණයකි. අර්ජුනගේ නායකත්වයේ වැදගත්කම ඇත්තේ ඔහු යටතේ ලෝක කුසලාන ජයග්‍රහණය පවා දිනාගත හැකිවීම පමණක් නොව ඔහු විසින් ක්‍රීඩාවේ ජීවගුණය ඔසවා තබන්නට ප්‍රකට කළ ගුණාංගයන් නිසාය.

කෙසේ වෙතත් අර්ජුන රණතුංග යනු අහම්බයක් හෝ ඕපපාතිකයකු නොව, පැවති ක්‍රමයේ නිර්මාණයක් බව අමතක කළ යුතු නැත. අර්ජුන වැනි ක්‍රීඩකයකු නායකයකු බිහි වන්නට ඉඩ සලසන ක්‍රමයක් එදා තිබුණේය. එදා තිබුණේ ක්‍රීඩාව හා රට ගැන තමන්ගේම දැක්මකින් යුතුව ක්‍රීඩා පෞරුෂයන් ගොඩනංවා ගන්නට ඉඩක් ඇති සමාජ, ආර්ථික පරිසරයකි. එසේම එකල ක්‍රීඩාව විසින් ප්‍රකට කරන ගුණාංගයන්ට ඉහළ සමාජ පිළිගැනීමක්ද තිබුණේය. අප කියන්නේ අර්ජුනලා යනු එදා පැවති ක්‍රමයේ නිෂ්පාදනයක් වන්නා සේම කුසල් මෙන්ඩිස්ලා යනු අද පවතින ක්‍රමයේ නිර්මාණයන් බවය.

අද වන විට ඇත්තේ ජාතික පිලේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගිවිසුමකට එකඟ කර ගත නොහැකි තත්ත්වයකි. එවැනි තත්ත්වයක් තුළ තරග සංචාරයකට යන ක්‍රීඩකයන් මහ රෑ පිස්සු නැටීම ගැන පුදුම විය යුතු නැත. අද ක්‍රීඩකයන් පමණක් නොව ඇතැම් නිලධාරින් ද තරග සංචාර සඳහා විදේශ ගත වන්නේ තරගවලට සහභාගි වන්නටද, නැතහොත් කා බී නටා සතුටු වන්නටද? කුසල් මෙන්ඩිස්ලා මහ රෑ නන්නත්තාරේ යන විට කණ්ඩායමේ කළමනාකරු හොඳ සිහියෙන් සිටියාද? මේවා ගැන සොයා බැලිය යුතුය.

ඕනෑම රටක ක්‍රීඩකයන් සලකන්නේ එම රටේ නිල නොවන තානාපතිවරුන් ලෙසය. ජාතික මට්ටමේදී ක්‍රීඩකයකුගේ විනය, හැසිරීම, ආකල්ප, ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා තරමටම වැදගත් වන්නේ මේ නිසාය. මේ දක්වා ක්‍රිකට් පරිපාලනය කටයුතු කර ඇත්තේ එවැනි ක්‍රීඩකයන් නිර්මාණය කරන්නටද, ක්‍රීඩකයන් විකුණා තම තමන්ගේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගන්නටද?

ක්‍රිකට් පරිපාලනයට එන ඇතැම් පුද්ගලයන් ඒ සඳහා මරා ගන්නේ කුමන අරමුණකින්දැයි තේරුම් ගත හැකි නම් ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත. රටේ ගහක් ගලක් ගා​නේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ඇති කෙරෙන්නේ ක්‍රීඩාවේ දියුණුවටද, තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහාද? කලකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි 90 ක මුදලක් වංචා කිරීමේ උත්සාහයක් අනාවරණ විය. මෙම වංචාව පිටුපස සිටියේ කවුද යන්න අදටත් හෙළි වී නැති රහසකි. ක්‍රිකට් කමිටුවේ මූල්‍ය පරිපාලනය කෙසේද යත් ඔවුන්ට කෝප් කමිටුව හමුව ඉදිරියේ පෙනී සිටින්නටද නොහැකිය.

ක්‍රිකට් පරිපාලනයේ කල්කිරියාව මෙයාකාර වන විට ක්‍රීඩකයන් අයාලේ යෑම ගැන කවර කතාද?

තල වපුරා මුං හෝ මුං වපුරා තල හෝ ලබාගත නොහැකි බව අප කවුරුත් දැනගත යුතුය.