අතන මෙතන

කුලියාපිටියට කොඩිවිනයක් වු ටිකිරා මාට්ටු

වසර 2 ක් පුරා පොලිසියට කට්ටි පනිමින් සිටි කුලියාපිටියට කොඩිවිනයක් වු මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන සඳුන් නොහොත් ටිකිරා රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 330 ක් සමඟ ඊයේ (16) සවස කුලියාපිටිය ගල්පොල අගාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.

අත්අඩංගුවට පත් ජාවාරම්කරු කුඩු පානයට ඇබ්බැහිවුවෙකු බවත් මීට ඉහතදි හෙරොයින් මිලිග්‍රෑම් 60 ක් සඳහා වරෙන්තු ලැබ උසාවියෙන් කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකුද වන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරියද කුලියාපිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටිනා බවද පොලිසිය පවසයි.

සැකකරු රද්දොළුගම ප්‍රදේශයේ සිට වසර දෙකක් පුරා ඔහුගේ ගෝලයන් යොදවා මෙම ජාවාරම ඊසිකෑෂ් හරහා මුදල් ලබාගනිමින් සිදුකරගෙන ගොස් ඇති අතර ඔහු කුලියාපිටිය නගරයටම කොඩිවිනයක් වු ජාවාරම්කරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු හෙරොයින් රැගෙන කුලියාපිටිය නගරයට පැමිණෙන බවට ලද තොරතුරු මත විමර්ශන කටයුතු සිදුකරමින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු කොටුකර ගත් බවත් පොලිසිය කියයි.

සැකකරුගේ ගෝලයන් කොටුකර ගත්තද මෙම ජාවාරම්කරු කොටුකර ගැනිමට කලක පටන් උත්සාහ දැරු මුත් එම උත්සහය ඊයේ (16)වැනිදා සාර්ථක කරගැනිමට පොලිසියට හැකිව ඇත.

සැකකරු නඩු භාණ්ඩ සමග අද(17) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

තිළිණි පවිත්‍රා අධිකාරි