විශේෂාංග

කුඹුක් ලී ගෙට දැම්මම සීතලද?

ගස්වල දෙවි දේවාතාවන් වැඩ වෙසෙතැයි යන විශ්වාසය අනාදිමත් කාලයක සිට අප ජන විඥානයේ පවතී. බෞද්ධ, හින්දු ආදී ආගමික සාහිත්‍යයන් මගින්ද මේ සඳහා ලැබෙනුයේ නොමඳ පිටිවහලකි. එහෙත් වෘක්ෂ දේවතාවන්, විමාන දේවතාවන් යනුවෙන් හැඳින්වෙන දේව ගණයා ගස්වල වැඩවාසය කරන බව පිළිගන්නා අපි එම ගස්වලට ඍජුවම දේවත්වයක් ආරෝපණය කිරීමට මැළි වන්නෙමු.

එහෙත්, අපට සාපේක්ෂව ඉන්දියාවේ දී මෙම තත්ත්වය බොහෝ දුරට වෙනස් වෙයි. එහි මුල්බැසගෙන අැති වෛදික හින්දු සම්ප්‍රදායයන් අනුව එම දෙවිවරුන්ගේ නම්වලින් හඳුන්වන ගස් ද තිබේ. එමෙන්ම ඒවා එක්තරා අන්දමකින් ශුද්ධ හෙවත් පූජනීය වෘක්ෂ ලෙසද සැලකෙයි.

හින්දු දේව ත්‍රිමූර්තියට අයත් විෂ්ණු දෙවියන්ගේ බලපරාක්‍රමය සහිත අර්ජුන භාරතීය හින්දු සම්ප්‍රදායේ එන රණකාමී දෙවියෙකි. ඔහුගේ එම රණකාමීත්වයේ උපත පිළිබඳ ලෝක ප්‍රකට භාරතීය වීර කාව්‍යයක් වන මහා භාරතයේ විස්තර කෙරේ. පරිචයන් හෙවත් පරිච්ඡේද දහ අටකින් යුතු මහා භාරතයේ එන වන පර්වයෙහි එන අර්ජුන එලෙස වීරත්වයට පත්වීම පිළිබඳ පුරාණෝක්තිය සැකෙවින් මෙසේය.

අපරාජිත රණශූරත්වයක් හිමිකර ගැනීම පිණිස දිව්‍යායුධ ලබා ගැනීම සඳහා අර්ජුන හිමාල වනයේ බවුන් වැඩීමට යයි. ඒ ව්‍යාස නම් ඍෂිවරයාගේ උපදෙසකට අනුවය. එලෙස අපරාජිත රණශූරත්වයක් පතා බවුන් වඩන අර්ජුන හමුවට මහා දේව හෙවත් ශිව වැදි වේශයකින් පැමිණෙයි. එසැණින් අර්ජුන මරා දැමීමට වන සූකරයකුද කඩා පනින අතර ඒ මොහොතේ එල්ල කෙරෙන හී පහරකින් එම වන සූකරයා එතැනම මැරී වැටෙයි. එහිදී එම වන සූකරයා මරා දැමීමේ හිමිකම මුල්කොට අර්ජුන වැදිවෙස් ගත් ශිව දෙවියන් හා සටනකට එළඹෙන අතර එහිදී අර්ජුන දක්වන අසාමාන්‍ය රණශූරත්වය මුල්කොට ඔහුට ශිව දෙවියන් විසින් දිව්‍යායුධ කට්ටලයක් තෑගි කරයි. ඒ අනුව පසුව අයහපත පිටු දැක යහපත උදාකරලීම පිණිස නොයෙක්වර සිය රණශූරත්වය පළ කරන අර්ජුන අද ද කෝටි සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ උප ප්‍රධාන දෙවියෙකි.

ඔහුගේ එම රණශූර දේවත්වය මගින් ලෝකයට උදා වූ යහපත මුල්කොට අනාදිමත් කාලයක සිට ඉන්දීය සමාජය ඔහුගේ නමින් එක්තරා වෘක්ෂයක්ද නම්කොට ඇත. අර්ජුන වෘක්ෂය (Arjuna Tree) නමින් භාරතය පුරා ප්‍රචලිත එම ගස ශ්‍රී ලංකාවේද පහතරට තෙත් කලාපය, වියළි කලාපය අාදී ප්‍රදේශ බොහෝමයක ජලාශ්‍රිත පරිසර පද්ධතීන්වල දැකිය හැක. ඒ ‘කුඹුක්’ නමිනි.

ඉහත සඳහන් භාරතීය නාමය මුල්කොට Jerminalia arjuna යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන කුඹුක් ශාකය පුරාණෝක්ති වශයෙන් කෙසේ වෙතත් දාර්ශනික වශයෙන් ගත් කල දේවත්වයක් හිමිකර දීමට තරම් වටිනා ශාකයකි.

ඊට හේතුව මිහිතලයේ ජල සම්පත සුරකිමින් එය පිරිසුදු කරදීමේ හාත්පස පරිසරයට අම්ලකර වායුව මුදා හරිමින් වාතය පිරිසුදු කිරීමේ සේම දැඩි සූර්යතාපයෙන් පීඩාවට පත්වන මිහිකතට ඉන් ආරක්ෂාව සැලසීමේ විස්මිත හැකියාවක් මෙම වෘක්ෂය සතුව පවතින බැවිනි.

විශේෂයෙන් කිවුල් දිය සහිත වියළි කලාපයේ ජල මූලාශ්‍ර ආශ්‍රිතව වැවී ඇති මෙම කුඹුක් ශාකමුල්වලින් ඒ සඳහා මුල්වන කැල්සියම් සහ මැග්නීසීයම් උරා ගන්නා අතර ජලයේ ඇති කාබනික සහ අකාබනික ද්‍රව්‍ය, බැර ලෝහ වර්ග ඉවත්කොට ජලය පිරිසුදු සේම මිහිතලය සිසිල් කිරීමේ ‘දිව්‍යමය’ බලයක් මෙම කුඹුක් ශාකයට තිබේ. ගංගා ඇළ දොළ, දෙපස සේම ළිං ආශ්‍රිතව වැඩෙන මෙම ශාකය මගින් නිරන්තරයෙන් සිදු කෙරෙන මෙම පවිත්‍රතා මෙහෙවර අතීතයේ සිට මෙරට ජන විඥානයට කොතෙක් කා වැදී තිබේද කිවහොත් සිසිල් ජලය සහිත ‘කුඹුකේ ළිඳ’ යනුවෙන් වෙනම හඳුනා ගැනෙන ළිං විශේෂයක් මෙරට බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල තිබේ.

අතීතයේ සිට මෙම ‘කුඹුකේ ළිඳ’ කෙතරම් ජනප්‍රිය වීද යත් එය ජන සාහිත්‍යයටද එක්ව තිබේ.

ඊට අමතරව පොළොවේ සිට අඩි 40-60 දක්වා උසින් වැඩෙන මෙම කුඹුක් ශාකයේ අතු පතර පොළොවට සමාන්තරව වැඩීම මත හාත්පසට සෙවණ සේම සිසිලස ලබා දෙනුයේ ස්වභාවික වායු සමීකරණ යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරමිනි. අප්‍රේල්, මැයි යන මාසවල මෙම කුඹුක් ශාකයේ මල් පිපෙන අතර සිංහල අලුත් අවුරුදු සමයට වැඩිපුර මතුවෙතැයි පැපසෙන මී මැස්සන්ගේ ගුමු ගුමු නාදය මෙම කුඹුක් ගස් සහිත පරිසරයන්හි අතිශය සුලබය. එමගින් මීමැස්සන් විසින් සිදු කරනු ලබන පරාගණය මුල්කොට අප ජීවත්වන පරිසරයට සිදුවන මෙහෙය රුපියල්, ශත ඉක්මවා බොහෝ දුරක් යන බව ඒකාන්ත වශයෙන් කිව හැක්කේ එය මිල මුදලකින් ඉටුකර නොහැකි අමිල මෙහෙවරක් බැවිනි.

ඉන්දීය ආයුර්වේදය අනුව මිනිසාට වැලඳෙන රෝග රාශියක් සඳහා ඖෂධ මූලයක් ලෙස සැලකෙන කුඹුක් පොතු සහ දලු දේශීය වෙදකම සඳහා ද යොදා ගැනෙයි. ලේ විෂවීම්, උදරාබාධ, මූත්‍රා ගල් ආදිය සුව වීම සම්බන්ධයෙන් මහත් සේ ගුණදෙන බව පැවසෙන කුඹුක් ගසේ දලු කල්ගත වූ උදරාබාධ සහ ලේ අතීසාරය වළකන ඔසුවක් ලෙසද ගැමියෝ සලකති.

බුලත්විට මගින් මුඛ පිළිකා ඇති නොවන්නේ ද යන්න පිළිබඳ මෙම ලියුම්කරු වරක් ගල්ගමුව ප්‍රදේශයේ බුලත්විට කෑමට හුරු වූ ගැමියකුගෙන් විමසූ විට ඔහු විසින් දෙන ලද්දේ මෙබඳු පිළිතුරකි.

‘බුලත්විටවලින් මුඛ පිළිකා ඇතිවෙන්නේ හුනුවලින්. ඒත් හුනු වෙනුවට කුඹුක් පොතු පුච්චලා ගන්න අළු බුලත් විටට එක් කර ගත්තම ඔය මුකුත් නැහැ. ඕවට ඔය මුඛ පිළිකා හාහෝව එන්න කලින් අපේ පරණ අත්තලා මුත්තලාට හුරුපුරුදු වෙලා තිබුණු දේවල්.
එහෙත් ඔහුගේ එම ප්‍රකාශයෙහි සත්‍යතාව හෝ නිරවද්‍යතාව පිළිබඳ සහතික වීමට අපට නොපුළුවන. එමෙන්ම ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් කළ බවක්ද දැන ගන්නට නැත.

ඒ කෙසේ හෝ සෞම්‍ය රෝස පැහැයකින් සහ පොතු ගැලවෙන ස්වභාවයකින් යුතු කුඹුක් පොතු කැබැල්ලක් සපා බැලූ මෙම ලියුම්කරුට අධික ක්ෂාරමය ලුණු රසක් නම් දැනුණි.
වාර්ෂික වර්ෂා සහ නියං සමයන් අසමතුලිත වීම, වන වැස්ම අහිමි වීම නිසා එල්ලවන ඍජු සූර්යතාපයෙන් මිහිතලය උණුසුම් වී වාෂ්පීකරණය ඉහළ නැංවීම ආදී සාධක මත අප රටේද ඇතැම් ප්‍රදේශ කාන්තාරකරණයට ලක්වීමේ අනතුරු සංඥා ලැබෙන මෙම අවධියේ මිහිමත ජල සම්පත සුරකින අතරේ එය පිරිසුදු කොට දෙමින් මිහිතලයට සිසිල උදාකරගෙන මෙම ‘රුක් දෙවියන්’ සමූල ඝාතනය කිරීම මේ වන විටද රටපුරා ක්‍රියාත්මක වෙයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති රක්ෂිතයන්හි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ ඇති ජල මාර්ග රක්ෂිතයන්හි සේම රජය සතු බිම් කොටස්වල සේම පෞද්ගලික ඉඩම්වල ඇති කුඹුක් ශාක කපා බිම හෙළීම මත නගරයේ අන් කවරදාටත් වඩා ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබේ.

මේ අතර මහා මාර්ග සහ වාරිමාර්ග සංවර්ධන සේම ගංවතුර මැඬලීමේ ව්‍යාපෘතින් වශයෙන් හඟවමින් රාජ්‍ය අංශවල සහභාගිත්වයෙන් සහ අදාළ බලධාරින්ගේ අවසරයට සහ අනුමැතියට සේම අනුදැනුමට යටත්ව කපා දැමෙන කුඹුක් ගස් සංඛ්‍යාව අති විශාලය.
වයඹ ඇළ සංවර්ධනය මුවාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කම්බුක්කුඩවල ප්‍රදේශයේ කුඹුක්ගස් එකසිය පනහක් කපා බිම හෙළීමේ කූට ප්‍රයත්නය පිටුපස රජයේ ප්‍රබල දේශපාලනඥයකු සිටි බව ඉකුත් වසරේ අනාවරණය විනි. එමෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ මනල්තිව් ප්‍රදේශයේ මීඔය දෙපස කුඹුක් ගස් සියයකට අධික සංඛ්‍යාවක් කපා දැමීමේ වෑයමකටද ප්‍රදේශයේ ප්‍රබලතම පුද්ගලයන් හවුල් වී සිටි බව පසුව හෙළි විය. මේ අතර පළමුව එම කුඹුක් ගස් වටා ටයර් දමා ඒවා මරා දෙවනුව ඒවා මැරුණු දැව කොට වශයෙන් හඳුන්වා කපා දැමීමේ ක්‍රියාවලියක් තවම මීඔය අවට සිදුවන බවට තොරතුරු තිබේ. එමෙන්ම ගංගා, ඇළ, දොළ, ආශ්‍රිතව අනවසරයෙන් සිදු කෙරෙන යාන්ත්‍රික වැලි ගොඩදැමීම් නිසාත් වසරකට කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් අදටත් අකල් මරණවලට ලක්වන බව රහසක් නොවේ. ඒ මෙම සම්පත් රැක ගැනීම පිණිස වන නීතිරීති සහ ඒවා ක්‍රියාත්මක කළ හැකි බලධාරින් තොග ගණන් හිඳින පසුබිමක් යටතේ ය.

ලංකාවේ මෙබඳු කුරිරු අවාසනාවන්ත ඉරණමකට ලක්වන කුඹුක් ශාකයට ඉන්දියාවේ දේවත්වයක් ආරෝපණය වීම මත ඊට සිදුවන ආපදාවන් බෙහෙවින්ම අඩු මට්ටමක පවතී. විශේෂයෙන් වෛදික ජ්‍යොතිර්වේදය අනුව ‘ස්වාති’ නම් නැකතින් උපදින්නවුන් උදෙසා කුඹුක් ගසක් සිටුවිය යුතුය යන සහ කුඹුක් මල් සුවඳට විෂ්ණු සහ ගණපති යන දෙවිවරුන් රුචි කරන බව පැවසෙන ආධ්‍යාත්මික විශ්වාසය නිසා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශතුළ මෙම උතුම් වෘක්ෂයේ යහ පැවැත්ම මනාව තහවුරු වී තිබේ. ඒ කෙසේ හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයකින් තොරව කුඹුක් දැව ප්‍රවාහනය සපුරා තහනම්ව ඇති පසුබිමක නිරතුරුව මෙසේ බිම ඇදහෙළන කුඹුක් ශාක විතැන් වන්නේ කෙලෙසද යන්න බරපතළ සැකයට තුඩු දෙන කරුණකි.

මෙම කුඹුක් සංහාරය පිළිබඳ ලැබෙන අලුත්ම තොරතුරුවලට අනුව මේවා වැඩිපුරම යොදා ගැනෙනුයේ අලුතින් තැනෙන ධනවතුන්ගේ සුවිසල් මන්දිරවල තරප්පුවලට සහ පොළොවට සවි කිරීමටය. එහෙත් එය සමාජය පුරා පැතිර යන බරපතළ මිථ්‍යවක් බව අවධාරණය කළ ගොඩනැගිලි ඉදිකිරීමේ ඉංජිනේරුවරයකු කියා සිටියේ එසේ පොළොවට අල්ලනු ලබන ‘කුඹුක් ටයිල්’ මිනිසුන්ගේ දෙපාවල ස්පර්ශවීම මත ඉතා ඉක්මනින් ගෙවී ගොස් පොළොවේ මතුපිට සමතල ස්වභාවයද නොමැතිවී යන බවය. මිහිකතට සිසිල දෙන කුඹුක් ශාකයේ එම ජෛවමය ක්‍රියාව කුඹක් දැවයෙන් බලාපොරොත්තු වීම නිවසේ ආරක්ෂාව පිණිස මුරකරුවකු වෙනුවට මළ සිරුරක් රඳවා ගැනීම වැනි ඛේදනීය සරදමක් බවද හෙතෙම කීය.

ඒ කෙසේ හෝ ඉන්දියාවේ රණශූර දෙවියකුගේ නම යොදා ගනිමින් ශුද්ධ වෘක්ෂයක් සේ සලකා පුද පිළිවෙත් කරනු ලබන මෙම වෘක්ෂය පුරාණෝක්ති මත කෙසේ වුවත් පරිසර සංරක්ෂණයෙහිලා දේවත්වයට පත් කළ යුතුමය. එමෙන්ම මෙම ශාකයන් අමු අමුවේ මරා දමා එම ‘මළ සිරුරු’ දෙපයින් පෑගීමේ සාහසික අපරාධයට උචිත දඬුවම් ගුප්ත බලවේග විසින් කෙසේ වුවත් සොබාදහමේ නීතිය මගින් අපට හිමිකර දීම ඒකාන්තයෙන් සිදුවන අතර එය වැළැක්වීමට දැනටමත් අප ප්‍රමාද වී තිබීමටද පුළුවන.

තිලක් සේනාසිංහ