විශේෂාංග

කුණු වීම

දේශබන්ධු වික්ටර් හෙට්ටිගොඩ මැතිතුමා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේය. සිද්ධාලේප නිෂ්පාදනය අවම වශයෙන් මේ රටේ ලක්ෂ දහයක ජනතාවක් ආලේප කරන බැවින් තමන් ඡන්ද සටන අරඹන්නේ ලක්ෂ දහයක ඡන්ද ප්‍රමාණයකින් බව එතුමා කැට කැඩුවේය. ජනාධිපති වූ පසු සෑම ගෙදරකටම හරකෙකු දෙන බවටද පොරොන්දු වූයේය. සිද්ධාලේප ආලේප

කිරීමට කැමැති වුවත්, හරකෙක් හදන්නට වෙන නීතිය නිසාදෝ ඔහුට ජනතාව දුන් ඡන්ද සංඛ්‍යාව වූයේ 14458 කි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි පරිච්ඡේදයට අනුව පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් හෝ එබඳු පක්ෂයක නම් කිරීම යටතේ ඕනෑම කෙනකුට ජනාධිපතිවරණයකට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් විය හැකිය. ඒ අනුව ඉතිහාසයේ ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූවෝ රාශියකි. හඩ්සන් සමරසිංහ රනිල්ට එරෙහිව වරෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවේය. 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා ඉදිරිපත්වන විට සරත් කෝන්ගහගේ කෙනකුද ඉදිරිපත් වූයේය.

ඊළඟට 2015 මෛත්‍රීපාල සිරිසේනගේ පෙනුමම තිබෙන, ඔහු අනුකරණය කරමින් කොමඩි නාට්‍යයක රඟපෑ ආරච්චිගේ සිරිසේන කෙනකුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේය. එසේම ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ කෙනෙකුද ඉදිරිපත් වූයේය.

ජනාධිපතිවරණයන්හිදී පක්ෂ විසින් මෙබඳු ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ ‘ඩමි’ වශයෙනි. එහි අරමුණ වන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරය, ඇම්බුෂ් කිරීම හෙවත් විරුද්ධ අපේක්ෂකයාගේ රුව හෝ නාමය ජනතාව අතර අවුල් කිරීමය.

එහෙත් මේ තත්ත්වයට එහා ගිය දෙයක් දැන් දැන් මේ රටේ සිද්ධ වෙමින් යයි. ඒ දේශපාලනඥයකු නොවන කෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔහු දිනවා රටේ නීතිය රජකරවන තැනකට ගෙන යාමට සිතීමය. තරුණ පිරිස් මේ මතයට අාකර්ෂණය වන බව පෙනෙයි. හිටපු අගවිනිසුරුතුමිය ශිරාණි බණඩාරනායක, හිටපු විගණකාධිපති නීතිඥ නාගානන්ද ආදී නම් ඒ අතර වෙයි. එහෙත් මේ නම් අතරින් කිහිපයක් නම් ජනගත කෙරුණේ දේශපාලන පක්ෂ විසිනි. තමන්ගේ දේශපාලන පක්ෂය කුණු වී ඕජස් ගලන බවත්, ඉන් කෙනකු තෝරා ගැනීමට වඩා පිටස්තරයකු ජනාධිපතිවරණයට තෝරා ගැනීම යෙහෙකැයි ඔවුහු සිතන බැවිනි, එබඳු තේරීමකට යන්නේ.

සැබැවින්ම දේශපාලන පක්ෂවලට අයත් නැති ස්වාධීන පුද්ගලයකු ජනාධිපති කරවා රට ගොඩගන්නට පුළුවන්ද?
දේශපාලනඥයකු ජනප්‍රිය තීන්දුවලින් බැහැර වී රටේ තීරණාත්මක වෙනසකට හේතුවන තීන්දුගතහොත් ඉන් ඇතිවන ඉරණම ගැන සිතා බැලීමෙන් මේ ගැන තේරුම්ගත හැකිය. ජනප්‍රිය පාසල්වලට තියෙන අයුක්ති සහගත තරගය නැති කරන්නට ජාතික පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි අහෝසි කරන්නට තීන්දු කළහොත් පිරිසුදු නීතිගරුක දේශපාලනයක් ගැන කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී මහත්වරු කුමක් කරාවිද?

පහේ ශිෂ්‍යත්වය ළමා පරපුරේ විනාශය කැඳවන බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් පවා පිළිගන්නා සත්‍යයකි. එය අහෝසි කර ජනප්‍රිය පාසල් තරගය නතර කරන්නට එන දේශපාලනඥයාට කුමක් වේද? එබන්දක් කරන්නට යන දේශපාලනඥයා නිරන්තර සිහියට නගා ගන්නේ රටටම නිදහස් අධ්‍යාපනයක් ලබාදුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිදාණන්ට මතුගම ජනතාව කළ දෙයය. එතරම් දුර සිතන්නට ඕනෑ නැත. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු නම් ප්‍රාදේශීය සභාවේ තිබෙන ඔප්පු තිරප්පුවල හැටියටම නිරවුල්ව පාර දෙපස තනා තිබෙන තාප්ප කඩා නිවැරදිව වතුර බැස යන්නට කානු පද්ධතිය හැදුවොත් ඔහුට කුමක් වේද? ඔහුට විරුද්ධව පළමු ගල ගහන්නේ, අවි ඔසවන්නේ මේ රට නීතියට අනුව යුක්තිගරුකව පාලනය කළ යුතු යැයි කියන මහත්වරුමය.

එබැවින් කුණු වී තිබෙන්නේ දේශපාලනඥයා පමණක් නොව අපමය. දේශපාලනඥයා ළඟින් හමන්නේ ජනතාවගේ ගඳය.