විශේෂාංග

කුඩු සල්ලි දානකම් බැංකු මොනවද කළේ?

 

මෙරට වාණිජ බැංකුවල දෙපැත්තක් තිබේ. සාමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම්වලට දොරටු විවෘතය. එහෙත් එම ගිණුම්වල තැන්පත් කරන මුදල් බැංකු හා මූල්‍ය ආයතනවල විශේෂ ඒවා නොවේ. මූල්‍යායතනවල දොරටුව අවහිර කරගෙන සිටින ආරක්ෂක නිලධාරීන් පැත්තකටකර ඇතුළු වන ඇතැම් ගනුදෙනුකරුවෝ සිටිති. සමහර බැංකු හා මූල්‍ය ආයතනවලට හා ඇතැම් කාර්ය මණ්ඩලයට ඔවුහු විශාල අවස්ථා ඇති කරයි. ජනතාවට දොරටු වසන අතර මහා පරිමාණ ධනය වෙනුවෙන් අගුළු ගැලවෙයි. මෙම කොටස අතර සටකපට ගනුදෙනුකරුවෝ වෙති.

අපිරිසුදු ව්‍යාපාරවලින් ලැබෙන ධනය කිලිටිය. කිලිටි මුදල් සංහාරයට විශාල ප්‍රයත්නයක් ජාත්‍යන්තරය පුරා තිබේ. කොපමණ නීති රීති පනවන ලද නමුත් ඒවායෙන් ගැලවෙන්නට සූක්ෂම පිළිවෙළ අනුගමනය කරන බව පෙනේ. කළු සල්ලි භාර ගැනීම ගැන ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට සෑහෙන චෝදනා ඇත. ජාත්‍යන්තර රතු දත්ත ලේඛනයට ද ඇතුළු වී ඇති බව පෙන්වා දිය යුතුය. රාජ්‍ය තාන්ත්‍රික මටට්මින් ගෙන ගිය වැඩපිළිවෙළ හෙයින් එයින් යම් සහන ලැබී තිබුණි. එහෙත් මෑත කාලය තුළ අනාවරණය වූ සිද්ධි ශ්‍රී ලංකා මහ බැංකුවේ තද අවධානයට ලක් විය යුතු බව දැක්විය යුතුය.

නීති විරෝධී ධනය උපයා ගැනීම බලවත් ගැහැටකි

වංචනිකව ධනය උපයන අවස්ථා ජාත්‍යන්තර ප්‍රජාවට හිසරදයකි. එය කොපමණ බරපතළ ද යත් කළු ආර්ථිකය වශයෙන් හඳුන්වයි. ලෝක ආර්ථිකයෙන් සියයට දෙකක සිට පහ දක්වා පරාසයක් දක්වා කළු ආර්ථිකය බලවත් කොටසක් බව ප්‍රකාශ වෙයි. එනම් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන අට සියයක සිට ට්‍රිලියන දෙක දක්වා අති විශාල මුදලක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් දක්වා තිබේ. එය හිතා ගැනීමට පවා නොහැකි මහා ධනස්කන්ධයකි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කළු සල්ලි හැදෙන ප්‍රධාන තැනෙකි.

හෙරොයින්වල සිට ගංජා දක්වා විශාල පරාසයකට මත්ද්‍රව්‍ය වෙළෙඳාම විහිදී ඇත. රටවල් අතර කරන බෙදාහැරීම ඉතාම සංකීර්ණ ව්‍යුහයකි. ඖෂධ ජාවාරම, ගණිකා වෘත්තිය, පරිගණක මෘදුකාංග සොරකම්, වංචනික සිනමාව, කැසිනෝ, ආයුධ වෙළෙඳාම යනාදිය කළු සල්ලි මවන තැන් වශයෙන් දැක්විය හැකිය. රත්තරන්, ගෑස් සහ බොරතෙල් කර්මාන්තය වැනි අංශයන් හි ගනුදෙනු සිදුවන විට ඒවා අතරෙහි අති විශාල වශයෙන් කළු ආර්ථිකයක් හැදෙන බව පර්‌යේෂණවල දී පෙන්වා දී තිබේ. නිලධාරීන් හා ගැනුම්කරුවන් අතර කොමිස් අල්ලස් වශයෙන් හුවමාරු වන මුදල් සම්මත නීතිවලට එරෙහිය. එම මුදල් බැංකුවලට නොලැබෙන අවස්ථා තිබේ. එහෙත් වක්‍ර ක්‍රමවලින් නැවත සම්මත සුදු ධනය සේ හරවන්නට දරන උත්සාහයන් තිබේ. ඉතාම සූක්ෂමය. තාක්ෂණ හා ආරක්ෂක ක්‍රම තිබිය දී පවා මෙම කළු සල්ලි ජාවාරම පාලනය කළ නොහැකි තරමට සංකීර්ණය.

දූෂිතව උපයන ධනය නොයෙක් තැන නොයෙක් පුද්ගලයෝ අත පත්ව පරිහරණය වෙති. ඇතැම් නිලධාරීන් හා දේශපාලනඥයන් අතට පත්වන බව දැක්වේ. ඒවා විසුරුවා හැරීමෙන් ධනය සහ බලය නිර්මාණය කරගනිති. කිසියම් රටක නීති ඉක්මවා අයථා ලෙස සංසරණය වන ධනය කොපමණදැයි කෙසේ කිව හැකිද? උපයන ආකාරය හෙළිදරව් නොකරන, තැන්පත්ව ඇති තැන නොදන්නා ධනය හසුරවන ආකාරය ද විස්මිතය. ඒවා නැවතත් නොයෙක් ක්‍රමවලින් සම්මත ආර්ථිකයට ඇතුළු කෙරේ. සාමාන්‍ය ජනතාවගේ තුට්ටුව ගැන අවධානයක් නැති වාණිජ හා බැංකු ක්‍රම ව්‍යාජව එන ධනය වෙනුවෙන් නීතිය පැත්තකින් තබන අවස්ථා වාර්තා වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ කමිටුවක් 1998 වසරේ මුදල් විශුද්ධිකරණය හමුවේ ලෝකයේ රටවල් මුහුණ දී ඇති අනතුර ගැන හෙළිදරව්වක් කළේය. දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 600ක් හෝ එයට වැඩි එනම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක කළු ධනයක් අවුරුදු පතා විශුද්ධිකරණය වී සංසරණයට එකතු වන බව අනාවරණය කළේය.

රස්සාවක් නැති සාමාන්‍ය මිනිසුන් බිලියනපතියෝ කරන බැංකු

මෑත කාලයේ දී මෙරට මාධ්‍ය බැංකු ගිණුම් කිහිපයක තොරතුරු අනාවරණය කළේය. ඒවායේ විස්තර පුදුම සහගතය. මිලියන ගණනින් මුදල් හුවමාරු වී තිබේ. ඇතැමෙකු ස්ථිර රස්සාවක් නැත. තවත් විස්තර අනුව එම බැංකු ගිණුමක් හිමි අය සුළු රැකියාවක නිරතය. ප්‍රකට වාණිජ බැංකු මෙම ගිණුම් පවත්වාගෙන ගොස් තිබේ. මෙකී පුද්ගලයෝ බැංකුවලට එන යන හා තැන්පත් කරන ධනය එම ගිණුම් තිබුණ ආයතනවලට කිසිසේත් රහසක් නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගත් බවට සැලකෙන ධනය ගැන පරීක්ෂණ කරන විට ගිණුම් සොයා ගෙන ඇත. එක පුද්ගලයෙක් බැංකු ගණනාවක ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළිවෙයි. කරුණු අනාවරණය වන අවස්ථාවේ දී ගිණුම් පවත්වාගෙන ගිය අංශ අනාවරණය කරන දෙයක් තිබේ. එනම් තමන් නිදොස් බව දක්වන මාධ්‍ය නිවේදන නිකුත් කිරීමය. ඔවුන්ගේ නිර්දෝෂී භාවය ගැන ප්‍රශ්නයක් නැත. නමුත් මහ බැංකුව නිකුත් කර ඇති විශේෂ නියෝගයක් තිබේ. එයට අනුව ගනුදෙනුකරු හඳුනාගැනීම මූල්‍ය ආයතනවල පරම වගකීමකි. මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති සියලුම බැංකු, ලීසිං හා ෆිනෑන්ස් සමාගම් තම ගනුදෙනුකරු ගැන සියලු විස්තර සොයා ආරක්ෂා කරගත යුතුය. එසේ නොකිරීම වරදකි. බැංකු පනත උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දීම අවශ්‍යය. නමුත් එම නීති නොසලකා හැර තිබේ. ජාවාරමකට අනුබල දීමකි.

සාමාන්‍ය ගනුදෙනුකරුවෙකු ස්ථිර තැන්පත් ගිණුමක් ආරම්භ කරන්නට උත්සාහ කළහොත් දහසකුත් එකක් ප්‍රශ්නවලට උත්තර දෙන්නට සිදුවෙයි. මුදල් ලැබුණු ආකාරය පැහැදිලි කළ යුතුය. මුදල් තැන්පත් කරන පත්‍රිකාවේ හැඳුනුම් පත් අංකය පමණක් නොව ජංගම දුරකතන අංකයත් සටහන් කරන සේ බල කෙරේ. කවුන්ටරයේ දී එවැනි නීති පනවන නමුත් කවුන්ටර්වලින් එපිට සිදුවී ඇති සිද්ධි සලකා බලන විට ශ්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණය කරන ආකාරය ගැන බලවත් සැකයක් ඇති වෙයි. අසාමාන්‍ය ගනුදෙනු සිදුවන ගිණුම් ගැන සොයා බලන ක්‍රමයක් හෝ අනුගමනය කර නැති බව පෙනේ. රහස් පොලිසිය අනාවරණය කරගත් තොරතුරු හෙළිදරව් කරන තෙක් නොදැන සිටීම බලවත් වරදකි. බැංකු හා මූල්‍ය ආයතනවල ගිණුම් පරීක්ෂා කරන්නට දෙන අවසරය ආරක්ෂාව සම්බන්ධයෙන් හා කළු සල්ලි සම්බන්ධයෙන් වැදගත් නමුත් ගනුදෙනුකරුවන් ගිණුම් අරඹන්නේ රහස්‍යභාවය ගැන තද විශ්වාසයක් සහිතව බව ද පෙන්වා දිය යුතු අනෙක් කරුණකි. සාමාන්‍ය ගිණුම් හිමියන්ගේ සායම යන තෙක් අතගා බලන ආයතනික ක්‍රම ජාවාරම්කාර ගනුදෙනු ගැන නිසොල්මන්ය.

ජාත්‍යන්තරය හැසිරෙන අන්දම පාඩමකි

චීනය 2003 වසරේ දී මුදල් විශුද්ධිකරණයට එරෙහිව අලුත් නීති පැනවීය. බ්‍රිතාන්‍ය එය අපරාධයක් බවට දැඩි නීති පනවන්නේ ද එම වසරේදීය. ඇමරිකාව 2001 වසරේ දී මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය සම්බන්ධව විශේෂ රෙගුලාසි පනවා බලාත්මක කර ඇත. ලෝකයේ ප්‍රකට බැංකු හා මූල්‍ය ආයතන අනපේක්ෂිත ගණන්වලින් තැන්පත් කරන හෝ ආපසු ගන්නා මුදල් ප්‍රමාණය ගැන පරෙස්සම් වෙන බව පෙන්වා දිය යුතුය. එහෙත් එම නීතිවලින් සම්පූර්ණ වාරණයක් සිදු නොවේ. නොදන්නා ගනුදෙනුකරුවන්ට එන පණිවුඩ මගින් කරන තැන්පත් හා ඒවා වියදම් කරන අන්දම ගැන විශාල සාක්ෂි තිබේ. දූෂිත ගනුදෙනු හා මත්ද්‍රව්‍ය ජාවාරම් නතර කරන්නට නීතිය පමණක් ප්‍රමාණවත් නැත. ඒවායෙන් උපයන ධනය සංසරණය ද නතර කළ යුතුය. ආරක්ෂක අංශ යුහුසුළුව සිටිය දී ඇප් හා වෙබ් හරහා ජාවාරම් කරන්නේ නම් එය ප්‍රශ්නයකි. එවැනි ගනුදෙනුවලින් හුවමාරු වන ධනය නොදන්නා පුද්ගලයෝ ලවා ගිණුම්ගත කරන්නේ නම් එය මහා විපතකි. ආරක්ෂක අංශ පමණක් නොව මූල්‍ය පද්ධතිය ද සටකපට ආර්ථිකය පාලනය කරන පියවරකට එකඟ කරගත යුතුය.

සමහර දේශපාලනඥයෝ යැපෙන්නේ පිරිසුදු මුදල්වලින් නොවේ. ජනතා යහපත වෙනුවෙන් පෙනී සිටින බව දක්වන ජනතා සංවිධානවලට මුදල් ලැබෙන ක්‍රම සොයා බැලිය යුතුය. ජනතාව නොමග යවන මත වපුරන අතර රට ඉදිරියේ වීරයන් සේ පෙනී සිටින චරිත නඩත්තු කරන්නේ අපරාධවලින් උපයන ධනයෙන්ය. එය භයානක තත්ත්වයකි. තමන්ට අවනත ආකාරයකට නීති විරෝධී ආර්ථිකය හසුරුවා ගැනීමටත්, නිලධාරීන්, ආරක්ෂක අංශ සහ බන්ධනාගාර නිලධාරීන් පවා අවනත කරගැනීමටත් මුදල් බෙදන සූක්ෂම ආකාරය හෙළිදරව් වෙමින් තිබේ. ඇතැම් බැංකු හා මූල්‍ය අංශ දැන හෝ නොදැන මෙම ක්‍රමයට බිලි වී ඇත. බැංකු ප්‍රධානීහු නොදැන කාර්ය මණ්ඩලය කරන වංචාවක් ද විය හැකිය. එහෙත් අවසානයේ දී අධීක්ෂණය වගකිව යුතුය.

බැංකු කටයුතු වේගයෙන් තාක්ෂණය හා මුහු වී තිබේ. එහි යහපත පමණක් නොව අයහපත ද ඇත. ලෝකයේ එහා කෙළවරක සිට මෙහා කෙළවරට ධනය හුවමාරු කරන්නට පුළුවන්කම ලැබීම පමණක් නොව එම මුදල් ගැන අවධානයෙන් සිට වහා කඩා පැන පරීක්ෂණ පවත්වන්නට ද තාක්ෂණයට හැකියාව තිබේ. එවැනි අවකාශයක් ප්‍රයෝජනයට නොගන්නේ ඇයි? මහ බැංකුව මාස තුන හතරකට වරක් බැංකුවලට කඩා පැන ගිණුම් ප්‍රකාශ සටහන් කිරීමට අමතරව විශාල සොයා බැලීමකට යා යුතුය. එය රටට කරන සේවයකි. දැනට නීතිය අනුව මෙරට විදේශ මුදල් හුවමාරු කරන සෑම ස්ථානයකම විසි හතර පැය වැඩ කරන කැමරා සවිකර ඒවා මහ බැංකුවට සම්බන්ධ කළ යුතුය. නමුත් ඒවා කෙරෙන්නේ නැත. එයට අවශ්‍ය පිරිවැය හා තාක්ෂණික ගැටලු දක්වා නීතිය මග හරිති. තැන්පත් කරන මුදල් ගැන නොදන්නා සේ ක්‍රියා කරති. එය රටට කරන හානිය බරපතළය. සාමාන්‍ය ජනතාවගේ තැන්පත් ගැන යොදන අවධානය වංචනික ගනුදෙනු වෙනුවෙන් ද යොමු කළහොත් යහපත්ය.

ජී.කේ.ජී. සරත්