විශේෂාංග

කුඩු රජෙක් වූ පිටිගල දානපතියා

පිටිසර ගමක් වූ පිටිගලට එක්වරම පහල වූ දානපතියා ඔහුය.

පසුගිය මාස හය හත තුළ ගමේම කතා බහ වුණේ කැලුම් ගැනය. අවුරුදු දහයකට පෙර ගමෙන් අතුරුදන් වන මොහු ගමට එන්නේ ධන කුවේරයකු ලෙසය. ව්‍යාපාරිකයකු ලෙසය.

ගමට පැමිණි කැලුම්ගේ අතේ පයේ පවුම් හතළිහකට වඩා රන් ආභරණය. ඇන්දේ රුපියල් පන්දහස ඉක්මවූ කමිසය. කෑවේ බීවේත් වටිනාම කෑම වර්ගය. ගමේ පන්සලේ කඨින පිංකමට ඔහු රුපියල් ලක්ෂ හැටපහක් වැය කළේය. පන්සලේ චෛත්‍යයට අකුණු සන්නායකයකුත් සවි කරන්නට ලක්ෂ ගණනක් දුන්නේය. දකුණු ආසියාවේ විශාලතම බුදු පිළිමය තම ගමේ වූ පෞරාණික විහාරයේ කන්ද උඩ ඉදිකරන්නටද අඩිතාලම දැම්මේය.

පන්සලේ පිංකම්වලට පමණක් නොව ගමේ පාලම් පවා ඉදිවූයේ මොහුගේ ධන පරිත්‍යාගයෙන්ය. පාසලේ තෑගි ප්‍රධානෝත්සවවලට පවා මොහු මුදල් දෙන්නේ ගමේ දානපතියා ලෙසින්ය. සහතිකපත් පවා මුද්‍රණය කරන්නේ ඔහුගේ වියදමින්ය.

මොහුගේ මවත් ගමේම ප්‍රසිද්ධ කාන්තාවකි. ඒ ඇගේ රූ සපුව නිසාය. කලකට පෙර ගමේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ නිසා ඇය ගමේ කවුරුත් හඳුනන්නීය. පිටිගල, බොරළුහේන, ඉහළ හෙවස්ස පාරේ පදිංචි ඇයට උපන් දරු දෙදෙනාගෙන් අයකු ගමේ මේ දානපතියාය. අනෙක් දරුවා ගමේ පොළේ එළවළු වෙළෙඳාම කරගෙන යන්නෙක්ය.

සහ සුද්දෙන්නම කියනවා නම් දානපතියා දොඩන්දූවේ වඩුගේ කැලුම් ඉන්දික සම්පත්ය. උසස්පෙළ කලා අංශයෙන් හැදෑරු හෙතෙම වසර ගණනකට පෙර ගමේ බස් රථයක කොන්දොස්තරය. රියැදුරා වූයේත් රටම හඳුනන චරිතයකි. ඒ මධුෂ් ලක්ෂිතය. නැතිනම් මාකඳුරේ මධුෂ්ය. ගතාරෙ උපන් මධුෂ් බිරිඳගේ ගමට ගිය පසු මාකඳුරේ මධුෂ් ලෙස ප්‍රසිද්ධ වන්නේ අපරාධ රැල්ලට වැටුණු පසුවය.

බස් එලවූ රියැදුරා රටම හොල්ලන අපරාධකරුවකු වේයැයි කවුරුත් සිතුවේ නැත. එමෙන්ම බසයේ කොන්දොස්තර ලෙසින් සිටි කැලුම් ඉන්දික ගමේම දානපතියා වේයැයි කවුරුත් සිතුවේත් නැත.

අපරාධ හා මංකොල්ලකෑම් කීපයකට වැරදිකරු වී 2005 දී හිරගෙදරට යන කැලුම් එහි සිටින්නේ මධුෂ් සමගය. වසර දහයක් හිරේ ගත කළ ඔහුට මධුෂ්ගේ විශ්වාසවන්තම සගයන් පස් දෙනා අතරට යන්නට හැකිවන්නේ ඒ යාළුකමේ පරණකම නිසාය.

මධුෂ් සමග එකට සිරගෙයි කුටියක සිටි පස් දෙනා සහ පාසලේ එකම පන්තියේ සිටි ළඟම මිතුරන් හැරෙන්නට මධුෂ් කවුරුත් ළඟින්ම ආශ්‍රය කළේ නැත. මධුෂ්ගේ අපරාධ රැල්ලේ සැඟවුණු චරිත වූයේ හිරගෙදර කුටියේ එකටම සිටි පස් දෙනා ය. මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් ජාවාරම්, අවි ආයුධ රැස්කරන තැන් හා බැංකු කටයුතු ගැන දැන සිටියේත් මේ පස් දෙනා පමණය. කෝටි ගණන් කුඩු විකුණා හොයාගත් කෝටි ගණන් මුදල් මධුෂ්ගේ ඩුබායි ගිණුම්වලට යැව්වේත් මේ කියන ළඟම සිටි පස් දෙනාය. කුඩු ගෙන එන ට්‍රෝලර් පවා ඔවුන් සතුය.

පසුගිය අවුරුද්දේ මධුෂ්ගේ පහේ කල්ලියෙන් දෙන්නකු ගැන රටටම හෙළිකරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයය. මාකඳුරේ මධුෂ්ගේ දළ කඩන මෙහෙයුම පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක එම්.ආර්. ලතිෆ් මහතාගේ අණින් ඇරඹීමත් සමග මධුෂ්ගේ ගුරා තිලක් වෙඩි කා මියයන්නේ විල්පිට කැලෑවේදීය.

මානෙල් රෝහණ හෙවත් තිලක් මධුෂ්ට සිටි විශ්වාසවන්තම අයෙකි. මිරිස්ස, වැලිගම ප්‍රදේශයේ තිබූ මධුෂ්ගේ ට්‍රෝලර් යාත්‍රාවලින් එක්වන මුදල් බැංකුවලට දැම්මේ තිලක්ය. දකුණු පළාතේ මධුෂ්ගේ මත්කුඩු ජාලයද මෙහෙයවූයේද තිලක්ය. කඹුරුපිටියේ, හොරපාවිල පදිංචි තිලක් අපරාධ ලොවට පිවිසි පසු මාකඳුරේ මධුෂ්ව අපරාධ ලොවට ගෙන ආ ගුරා ලෙසද ඔහු ප්‍රසිද්ධය.

තිලක්ගේ මරණයෙන් පසුව මධුෂ්ගේ කුඩු ජාලයේ සියලු බැංකු කටයුතු හා කුඩු බෙදා හැරීමේ වගකීම් රැසක් පැවරුණේ කැලුම් ඉන්දික හෙවත් කැවුමාටය.

මාකඳුරේ මධුෂ්ට තිලක්ගේ අභාවය මෙන්ම වජිර කුමාර හෙවත් වජිර පොලිස් විශේෂ කාර්ය බළකා වෙඩි ප්‍රහාරයකින් අන්ධයකු බවට පත්වීමත් දැවැන්ත පාඩුවක් විය. වජිරගේ දෑස් අන්ධවීම මධුෂ්ට කෙතරම් පාඩුවක් ලෙස දැනුණද යත් එහි පලිය ගන්නට රුපියල් ලක්ෂ පනහක් ඇප තැන්පත් කර බයිලා නමැති හිරකරු මුදාගන්නේය.

වජිරගේ පලිය ගන්නට මුදාගත් බයිලාත් මහනුවර වත්තේගමදී එස්.ටී.එෆ්. ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේය.

මේ සියලු අඩුපාඩු සපුරන්නට සැඟවුණු චරිතයක් ලෙසින් සමස්ත මෙහෙයුම් භාරව ඉන්පසු මධුෂ් කරළියට ගෙන එන්නේ කැලුම් ඉන්දිකය.

කැලුම් සැඟවුණු චරිතයක් ලෙසින් මධුෂ්ගේ මත්කුඩු ජාලය මෙහෙයවමින් කෝටිපතියකු බවට පත්වන්නේය. මාකඳුරේ මධුෂ්ගේ මෙන්ම මුස්ලිම් පාතාලයේ ප්‍රබලයා වූ කංජිපානි ඉම්රාන්ගේ මෙරටට එවන කුඩු තොග බෙදාහැර මුදල් ඩුබායිවලට යැව්වේත් කැලුම්ය. මාකඳුරේ මධුෂ් හා කංජිපානි එකතු වී දකුණු මුහුදු තීරයට එවන කුඩු තොග ආරක්ෂිතව කොළඹට ගෙන යන්නේ කැලුම්ගේ රැකවල් මැදය.
මාතර, මිරිස්සේ සිට කොළඹට කුඩු තොග රැගෙන එන වාහනවලට ඉස්සරහින් යන්නේ කැලුම් ඉන්දිකගේ පදවන වාහනයය. දානපතියකු ලෙස හොඳින් හැඳ පැලඳගෙන යන කැලුම් අතරමග පොලිසිය සිටී නම් ඒ ගැන ඔත්තුව දෙන්නේ මධුෂ්ටය.

කුඩු රැගෙන යන වාහනයේ සිටින කංජිපානිගේ ගෝලයන්ට අනතුරු හඟවන්නේ මධුෂ්ය. එක් කුඩු තොගයක් රැගෙන යාම වෙනුවෙන් කැලුම්ට ලැබෙන මුදල රුපියල් කෝටි එකහමාරකි.
මධුෂ් අන්තිමට එවූ කුඩු තොගය පසුගිය දෙසැම්බරයේ හමු වූ කිලෝ තුන්සිය වන්නේය. එදා කුඩු තොගය ගන්නට කැලුම් යන්නේ ප්‍රාඩ්‍රෝ ජීප් රථයකින්ය.

‘‘තිස්සට ගිහින් බීච් සයිඩ් එකට යන්න. ඒසී බස් එකකුයි, වැගන් ආර් එකකුයි ඇති. බස් එකේ තියෙන බඩු ටික කොළඹට අරන් යන්න’’ මධුෂ්ගෙන් කැලුම්ට ලද උපදෙස විය. සුඛෝපභෝගී බස් රථයෙන් මොරටුව දක්වා කුඩු තොගය රැගෙනවිත් මොරටුවේදී ඩීමෝ බට්ටා ලොරියකට පටවන්නේය. එතැන් පටන් කංජිපානි ඉම්රාන්ගේ කෙසෙල්වත්තේ කුඩු තිප්පොළවල් දක්වා රැගෙන යන්නේය.

මේ සියලු කුඩු තොග රැගෙන යද්දී කැලුම් ගියේ වෙනම වාහනයකය. කැලුම් එක් මෙහෙයුමෙන් මෙහෙයුමට දුරකථන හා අංක වෙනස් කළේය. ඔහු හැමවිටම සම්බන්ධ වූයේත් මධුෂ් සමග පමණකි.
කැලුම් ඉන්දික මොරටුව, ප්‍රජාශාලාව මාවතේ අංක 71/10 ලිපිනයේ වූ නිවසක් රුපියල් විසිඅටදහසක කුලියට ගන්නේ කලක පටන්ය. මොරටුවේ නිවසට අමතරව පානදුර කෙසෙල්වත්තේ නිවසක්ද කුලියට ගන්නේ කුඩු ජාවාරමේ පහසුවටය.

පානදුර, කෙසෙල්වත්ත, තක්සලා හරස්පාරේ 12/7A ලිපිනයේ පදිංචි ෂෙරින් වැන්ගස්ටන් නමැති කාන්තාවකට අයත් නිවසේ කොටසක් රුපියල් 25,000 කුලියට ගන්නේ ආරක්ෂිතව රැඳී ඉන්නටය.
අවිවාහකයකු ලෙස ජීවත් වුවත් කැලුම් වසර දහයක් හිරේ සිටියදී විශේෂ අවසරයකින් බන්ධනාගාරය තුළදී විවාහවූ අයෙකි. ඔහු තමාට ඇප ගන්නට තම පළමු පෙම්වතිය විවාහ කරගත් බව කියන්නේය. ඉන්පසුව එම කාන්තාව කැලුම් අතැර ඊශ්‍රාලයට ගිය පසු තනිකඩයකු ලෙස ජීවිතයක් ගත කරන්නේය. පෙම්වතියගේ පවුලෙන් කැලුම්ට විරෝධය එල්ල වූ නිසා පෙම් සබඳතාව පැවැති සමයේ උසාවියේ ළගින්නට කැලුම්ට සිදුවිය.

කැලුම් ඉන්දික පානදුරේ හා මොරටුවේ නිවාසවල හිමිකරුවන්ට පෙනී සිටියේ පාලම් ඉදිකරන ඉන්ජිනේරුවකු ලෙසය. එක නිවසක සිට සයිට් එකට යන බව කියා පිටව ගොස් අනෙක් නිවසේ සිටින්නේය. සැමවිටම තමා සිටිනා තැන පිටස්තරයකුට පවා දැනගන්නට ඔහු ඉඩ තැබුවේ නැත.
මේ අයුරින් සැඟවුණු දානපතියකු ලෙසින් සිටි කැලුම් ඉන්දික කොටුවන්නේ ලංකාවේ මෙන්ම ආසියාවේ සිදුවූ ලොකුම දියමන්ති කොල්ලය බව කියන ඇරැව්වල දියමන්ති කොල්ලයටය.

ඔහු කිසිදිනෙක පොලිසියට කොටු නොවන ලෙස තම මෙහෙයුම්වලට වෙන වෙනම ජංගම දුරකථන පවා තබාගත්තේය. ලංකාවේ එක් අපරාධකරුවකු සතුව තිබූ වැඩිම ජංගම දුරකථන ප්‍රමාණය වූ ජංගම දුරකථන 132ක් මොහු සන්තකයේ විය. එක් අපරාධයකට යොදාගත් දුරකථනයක් තවත් අපරාධයකට යොදාගන්නේ නැත.

ඒ සඳහා මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයුම්වලට පරිගණක විශේෂඥයකු ලෙස යොදා ගන්නේ කඩුවෙල හේමාල්ය. හේමාල් පරිගණක හා ජංගම දුරකථන අලුත්වැඩියා කරන එම තාක්ෂණයේ කෙළ පැමිණි අයෙකි. හේමාල්ව කැලුම්ට සොයා දෙන්නේ කැලුම්ගේ අයියාගේ පුතා වූ කසුන්ය.

හේමාල්ව කැලුම්ට සොයා දෙන්නේ කැලුම්ගේ අයියගේ පුතා වූ කසුන්ය. කසුන් පිටිගල සිට කොළඹ පැමිණ කඩුවෙල රනාලේ පදිංචිව සිටි අයෙකි. එහිදී හඳුනාගත් හිතවත්කම මත හේමාල්ව මෙහෙයුම්වලට යොදාගත්තේ හේමාල්ට කුලී වාහන දෙන ආයතනයක්ද තිබූ බැවිනි.

හේමාල්ව මුලින්ම කැලුම්ට සම්බන්ධ වන්නේ මධුෂ්ගේ පියාගේ මළගෙදර සජීවීව ඩුබායිවලට බලන්නට කැමරා සවිකරන ව්‍යාපෘතියටය. කැලුම්ගේ කීමට හේමාල් තමාගේ නමටම රවුටරයක්ද මිලදී ගත්තේය. සී.සී.ටී.වී. කැමරා සවිකර වයිෆයි තාක්ෂණය ඔස්සේ මධුෂ්ට තම පියාගේ අවමංගල්‍යය බලන්නට සලසා දේනනේ හේමාල්ය. මෙම මළ ගෙදරට වියදම් කරන්නට මුදල් යවන්නේත් කැලුම්ය.

හිරගෙදර ඉද්දීත් කුඩු ජාවාරම කළ කැලුම් ඉන්දික මොරටුව ආශ්‍රිතව රැඳී සිටිමින් මධුෂ්ගේ කුඩු බෙදාහැරියේය. කෙතරම් මුදල් ගලා ආවත් මොහු වාහනයක් මිලදී ගත්තේ නැත. වාහනයක් තබා ජංගම දුරකථනයක්වත් තමාගේ නමින් තබා ගත්තේ නැත. ඒ ආරක්ෂාව සඳහාය. කුලියට යන වාහනයටත් තමන් ඉන්න තැනට රැගෙන යන්නේත් නැත. මීටර් දෙසියයක් තුන්සියයක් දුරින් බැස පයින් ඇවිදයාම මොහුගේ පුරුද්ද වී තිබුණි. දුරකථන ඇමතුමක් ගන්නට ඕනෑ වූ විට කිලෝමීටරයක් පමණ දුරට ගොස් ජංගම දුරකථනය විවෘත කිරීම කැලුම්ගේ සිරිතය.

මොරටුව ප්‍රජා ශාලාව පාරේ නිවසේ රැඳී සිටින විට තමාට අවශ්‍ය කෑමබීම ලබාගැනීම හා ඇඳුම් සෝදාගැනීමට පුස්තකාලයක සේවය කරන කාන්තාවක් කැලුම් සොයාගෙන තිබුණේය. ඇයට මසකට තිස්දහසක් ගෙවන බව කැලුම් කියන කතාවයි. නිර්මාංශ ආහාර හා පලතුරු පමණක් ගන්නා මොහු කෑම මෙම කාන්තාව ලවා සකස් කරගෙන තිබුණේය.

හදිසියට හෝ කසුන්ට තම බාප්පා කැලුම් සම්බන්ධ කරගන්නට නම් මෙම කාන්තාවගේ දුරකථනයට කතා කර පණිවුඩය යැව්වේය. මධුෂ්ගේ කුඩුවල මුදල් රැගෙන එන්නට වාහන සමග කසුන්ව හා හේමාල්ව තැනින් තැනට යවන්නේ කැලුම්ට මධුෂ් දෙන උපදෙස් අනුවය. එකතු කරගන්නා මුදල් රැගෙන එන කසුන්වත් මොරටුවේ නිවස දන්නේ නැත. මොරටුව ‘කේ සෝන්’ හෝ ඇවිදින මන්තීරුව මොවුන් හමුවන තැන්ය.

සෑම කුඩු බෙදාහැරීමකදීම හේමාල් ලවා දුරකථන පහ හයක් හේමාල්ගෙන් ගෙන්වාගෙන ගෝලයන්ට බෙදන්නේය. යළිත් ගනුදෙනුව අවසන් වූ පසුව දුරකථන එකතු කරගන්නේය.

දියමන්තිය කොල්ලය යෙදුණේ මීගමුවේ ව්‍යාපාරිකයකු හට එය විකුණන්නට විදේශිකයකු සොයා දෙන්නැයි හිමිකරු විසින් කළ ඉල්ලීමකින් පසුවය. මෙම වටිනා දියමන්තිය ගැන මධුෂ්ට තොරතුර යන්නේ මීගමුවේ ව්‍යාපාරිකයා මගින්ය.

මධුෂ් කණ්ඩායම් දෙකක් යොදා සූදානම් කරන කොල්ලයේ මෙහෙයුම භාරදෙන්නේ කැලුම් ඉන්දිකටය. කැලුම් ඒ සඳහා අවශ්‍ය දුරකථන දෙකක් ට්‍රැකින් සිස්ටම් යොදා අරගන්නේ හේමාල්ගෙන්ය. ට්‍රැකින් සිස්ටම් යෙදූ දුරකථනයක් ‘ආතබූත’ නම් වූ මධුෂ් පිලේ ගෝලයකුට දී මාතර මල්ලි ඇතුළු කොල්ලයට ගෙන්වූ කණ්ඩායම අතරට දමන්නේය.

නොවැම්බර් 04 දා පිලියන්දල ඇවිදින මංතීරුවට එන කැලුම්, කසුන් හා හේමාල් කැබ් රථයට වී ආතබූත සමග කණ්ඩායම ගමන් ගන්නා අයුරු නිරීක්ෂණය කළහ. කණ්ඩායම කටුනායකට යන්නේ දියමන්ති කොල්ලයට මධුෂ් එවූ ඔස්ට්‍රියා ජාතිකයා රැගෙන ඒමටය. නොවැම්බර් 05 දා මීගමුවේ සිට පැමිණෙන වාහනය සවස 4.30ට පමණ ඇරව්වල, පන්නිපිටියට එන්නේය. ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නමැති ඇරව්වල පදිංචි අයගේ නිවසට දියමන්තිය මිලදී ගන්නට එන මුවාවෙන් පැමිණ කණ්ඩායම සුළු මොහෙතක් තුළ දියමන්තිය හා එහි වූ මැණික් තොගය කොල්ල කාගෙන යන්නේය. සවස 6.30 වන විට වැහි බීරිමේම මාතර මල්ලි පිළියන්දලට පැමිණ දියමන්තිය හා ගෙන්වාගත් පිස්තෝල තුන සහිත බෑගය කැලුම්ට භාරදී පිටව යන්නේය.

නොවැම්බර් 05දා සිදු වූ කොල්ලයෙන් පසුව දියමන්තිය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹුණේය.
නොවැම්බර් 08 දා ඩුබායි ගිය ගායක අමල් හා රංගන ශිල්පී රයන් ඇතුළු කණ්ඩායම අතේ මැණික් ගල් සමග දියමන්තිය ද ගිය වග මිරිහාන පොලිසියට ඒත්තු ගියේ විමර්ශනවලට අනුවය.

කෙසේ හෝ අවසානයේ ඩුබායි ගිය බව කියන දියමන්තිය ගැන බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශයට තොරතුරක් ලැබුණේය. ඒ රුපියල් කෝටියක් දෙන බව කියා දියමන්තිය කපන්නට බත්තරමුල්ලේ තැනකට කෙනකු රැගෙන ආ වගය.

මේ ගැන විමර්ශන කෙරෙන අතරේ කඩුවෙල හේමාල්ව කසුන්ව පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් උප පොලිස් පරීක්ෂක සමීර මංජුල, කැලණිය පොලිස් විශේෂ කාර්යාංශයේ සැරයන්වරුන් වන සෝමසිරි (14846), බණ්ඩාර (53252), උදය කුමාර (5508) ඇතුළු කණ්ඩායමක් යොදා අත්අඩංගුවට ගත්තේය. මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර හෙළිවූ තොරතුරු මත මාකඳුරේ මධුෂ් විසින් ලංකාව තුළ ලෝකල් මධුෂ් ලෙසින් රහසිගතව ජීවත් වන්නට කටයුතු යෙදූ කැලුම් ඉන්දික සොයන්නට ගත්තේය.

දියමන්තිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා (වමේ), පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් (දකුණේ) ඇතුළු කණ්ඩායම

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් මාසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ලෝකල් මධුෂ් ලෙස පෙනී සිටි සැඟවුණු චරිතය කොටු කරන මෙහෙයුම බාර දෙන්නේ පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඇතුළු පිරිසටය. පොලිස් පරීක්ෂක ලින්ටන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සංගීත් ඇතුළු කණ්ඩායම කැලුම් නොසිතූ මොහොතක කොටු කරගත්තේය.

කැලුම් ඉන්දික අත්අඩංගුවට පත්වන මොහොතේ සුළු දිය පහවන්නේ කිසිදා පොලිස් කණ්ඩායමකට කොටු නොවේතැයි සිතූ නිසාය. ‘‘ගහන්න එපා කියන්නම්’’ යන්න කැලුම්ට හිරේ සිටියදී පට බැඳි තිබූ කාඩ් එකයි.

ඇත්තටම ඔහුට අත නොතියාම මධුෂ් රටක් වටිනා බව කියූ දියමන්තිය පානදුර කෙසෙල්වත්ත නිවසේ අල්මාරියක කුඩා ලොකරයක තිබී සොයා දුන්නේය. එයට අමතරව කුඩු සල්ලිවලින් හැදූ පවුම් හතළිහක රන් ආභරණද එහි විය. ලංකාවේ නමගිය රන් ආභරණ ආයතනයකින් මේවා නිම කරවා තිබුණේය. මංගල, මුදු, මාල, වළලු, රන් ආභරණ සියල්ලම මාකඳුරේ මධුෂ්ට ඩුබායිවලට හදා යවන්නේත් මෙම ජුවලර්ස් ආයතනයෙන්ය. එම රන් අලෙවිසලේ සේවකයන් සමග කැලුම්ට සබඳතා තිබූ වග එයින් හෙළිවුණේය.

කැලුම්ගේ මොරටුවේ නිවසින් අත් බෝම්බ, උණ්ඩ ගා කොල්ලකෑම් සඳහා යොදා ගන්නා හමුදා ඇඳුම්ද සොයා ගත්තේය. කළුතර, එතනමඩලදී රනාලේ සමයං ගිය බන්ධනාගාර බස් රථයටත්, පිලියන්දලදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ප්‍රහාරය එල්ල කරන්නටත් කැලුම් සම්බන්ධ බවට සාධක මෙහිදී හමුවිය. ප්‍රහාරවල සැඟවුණු චරිතය කැලුම් විය.

කැලුම්ගේ පිටිගල නිවසේ වත්ත පසුපස තුන්තැනක වළ දැමූ රුපියල් කෝටි එකහමාරක මුදල් තොගද සොයා ගැනුණේය.

මධුෂ් කොටුවීමෙන් පසුව බිය වූ කැලුම් ඉන්දික කෝටිපතියකු වන ජ්‍යොතිෂ්‍යවේදියකු සොයා යන්නේ ආරක්ෂාවට සුරයක් දමන්නටය. නක්ෂත්‍රකරු හමුවූ කැලුම්ට අපල නැතිවෙන්න, වෙඩි නොවදින්න කොංගෝ වනයේ සිංහයකුගෙන් ගත් තෙල් යෙදූ සුරයක් යොදන්නට රුපියල් ලක්ස 37ක් ඉල්ලා සිටියේය. සුරයේ රත්‍රන්වලට පමණක් ලක්ෂ දෙකක රත්රන් යන බව නක්ෂත්‍රකරු කියා තිබේ. ඒ සියල්ලට එකඟ වූ කැලුම් මධුෂ් කොටුවී දින හතරකට පසු කිරිලීටර් පනහකින් ස්නානය කර පලතුරු වට්ටි හතක පූජාවක් තියා සුරයද දැම්මේය. රූපවාහිනී නාළිකාවල නක්ෂත්‍ර වැඩසටහන්වලට එන රුපියල් කෝටි දාහතරක පමණ වාහන හිමි නක්ෂත්‍රකරුගෙන් පොලිසිය ප්‍රකාශයක් ගන්නට කටයුතු කළේය. එහිදී රුපියල් ලක්ෂ තුනේ සිට පහ දක්වා මුදලට විකුණන සුරයක් කැලුම්ට විකුණා තිබුණේ ලක්ෂ 37කටය. කැපෙන තැනින් කපන්න ඕනෑය යන තියරියෙන්ය.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම්, මුදල් රැස්කිරීම් මෙන්ම අවි ආයුධ රැස්කිරීම් භාරව සිටි කැලුම් ඉන්දික දැන් සියල්ල වවාරමින් සිටින්නේය.

ආසියාවේ ලොකුම මංකොල්ලය බව කියූ දියමන්තිය දැන් ඇත්තේ පොලිසිය සන්තකයේය. මෙහි වටිනාකමේ සත්‍ය අසත්‍යතාවයන් ඔප්පු කරගත හැක්කේ පුළුල් විමර්ශනයකින්ය.

දියමන්තියේ පැමිණිලිකරු ක්‍රිෂාන් ඩේවිඩ් පිරිස් පොලිස් පරීක්ෂණවලදී හෙළි කර තිබූ ආකාරයට මෙම දියමන්තිය මෙරටට ගෙන එන්නේ 1996දීය.

ඩුබායිහි නිවසක සාදයක් අතරේ මුත්‍රා කිරීමට යන මොහොතක ඊතණ පඳුරක් අයිනේ දිළිසෙමින් තිබියදී මෙය අහුලාගෙන ලංකාවට ගෙනවිත් මාළු ටැංකියක ලස්සනට තිබූ බව පැමිණිලිකරු කියූ කතාවයි.
එහෙත් කැලුම්ගේ පැත්තෙන් කියවෙන්නේ මෙය දියමන්ති ප්‍රදර්ශනයකින් සොරකම් කළ එකක් බවය.
දියමන්තියේ සැබෑ වටිනාකම දැනගන්නට නම් ඇමෙරිකාවට හෝ තායිලන්තයට රසායනික පරීක්ෂණයට යැවිය යුතු විය.

අප මේ ගැන ඩයමන්ඩ් ගේට් ඉන්ටර්නැෂනල් ආයතනයේ හිමිකරු පාලිත විජයරත්න ඇලපාත මහතාගෙන් විමසුවෙමු.

‘‘කෙමිකල් ටෙස්ට් එකක් නොකර දියමන්තියක සැබෑ වටිනාකම කියන්න බැහැ. මේ ඩයමන්ඩ් එක කොල්ලකන්න කලින් අපේ ආයතනයට ගේනවාට ඒ අය කිව්වේ රුපියල් කෝටි 2500ක් කියලා. අපි ගැනුම්කරුවකු සොයා දෙන්න උත්සාහ කළා. රුපියල් කෝටි දහයක්. ඔෆර් කරලා කෙනෙක් ආවා. නමුත් අයිතිකරුගේ ගාන වුණේ කෝටි 750යි. මේ වගේ වෙනත් විශාල ගලක වටිනාකම තීරණය කරන්න වෙන්නේ ඔක්ෂන් එකකදීය. දියමන්ති වගේ ගල් විශේෂයකුත් තියෙන නිසා කපන්නේ නැතිව ස්ථිරවම මෙය ගැන කියන්නත් බැහැ. කෙමිකල් ටෙස්ට් එකකින් හරි වටිනාකම කියන්න පුළුවන්’’ යැයි ඔහු සඳහන් කරයි.

සැබවින්ම් මේ කියන දියමන්තියේ සැබෑ තත්ත්වය වටිනාකම මෙන්ම මෙහි ඇත්ත නැත්ත සොයාගැනීම ඉදිරියේදී සිදුවිය හැකිය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම ගල සම්බන්ධයෙන් වාර්තාව හෙට (11) ලබා ගැනීමට නියමිතව ඇත. එයින් මෙය සැබෑ දියමන්තියක්ද යන්නත් හෙළි කර ගත හැක.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා