කතුවැකි

කුඩු නැද්ද – කුඩු ගැන හොයන්නෙ නැද්ද?

යළිත් වරක් මුළු රටම කොරෝනා වයිරසයට නතු වී තිබේ. බ්‍රැන්ඩික්ස් පොකුර මුල් කරගත් ආසාදිතයන් රටේ තැනින් තැනින් මතුවීම නිසාය. දැන් කවුරුත් කොරෝනා ගැන යළි කතා කරන අතර රටේම න්‍යාය පත්‍රය කොරෝනා වයිරසයට අනුකූලව සකස් කිරීමට සිදුව තිබේ. සෞඛ්‍ය හා හමුදා බලධාරින් උදේ සවස තබන ප්‍රවෘත්ති සාකච්ඡාවල පමණක් නොව දේශපාලකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවලද මුල් තැන කොරෝනා වයිරසයටය. මේ නිසා පත්තර පිටු පිරෙන්නේද, විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අරා සිටින්නේ ද කොරෝනාමය.

මේ නිසා පසුගිය දිනවල ජනමාධ්‍යයේ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වූ පාතාල මර්දනය, මත්ද්‍රව්‍ය සංහාරය කාටත් අමතක වී ඇති සේය. කාට අමතක වුවත් අපට ඒවා අමතක කළ නොහැකිය. මුළු රටේම කොරෝනා වෙත දෑස් දල්වා සිටියදී ඒ ගැන මතක් කරන්නේ එනිසාය.

පසුගිය දිනවල කුඩු තොග ගණනින් හමු වූ පුවත් වාර්තා වූ අතර රුපියල් කෝටි ගණන් හුවමාරු වූ බැංකු ගිණුම් පිළිබඳ දිනපතාම පාහේ ලියන්නට දේ තිබිණ. පාතාල සාමාජිකයන් එකිනෙකා මරා ගන්නා අන්දම, ඔවුන්ට උදව් කරන මෙරට බලවතුන් ගැන තොරතුරුද පසුගිය දිනවල ඉතා බහුල විය. දැන් ඒවා වාර්තා නොවන්නේ අප කොරෝනා පුවත්වලට පමණක් ඉඩ දී ඇති නිසා යැයි අපේ පාඨකයන් වරදවා වටහා ගත යුතු නැත. මේ දිනවල කුඩු සහ පාතාලය ගැන පරීක්ෂණ සිදු කෙරෙන්නේ නැති තරම්ය.

කොරෝනා වයිරසයේ තරම අප කවුරුත් දන්නා නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම ගැන විවාදයක් නැත. එසේ වුවත් කොරෝනාවට ඉඩ දී අනෙක් සියල්ල අමතක නොකළ යුතු බව අපගේ අදහසය. කොරෝනා වයිරසයේ බලපෑමෙන් රට නිදහස් කරගෙන ආපසු බලන විට පාතාලය, මත්ද්‍රව්‍ය, නීති විරෝධී මත්පැන් ආදියෙන් රට විනාශ වී තිබිය හැකි නිසාය. එවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් කොරෝනා වයිරසයෙන් රට නිදහස් කර ගන්නට දරන මේ මහන්සියෙන් කවර පලයක්ද?

කොරෝනා නිසා මත්කුඩු ජාවාරම වැනි නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියා ඇනහිට ඇතැයි හෝ අවසන්ව ඇතැයි කල්පනා කළ නොහැකිය. ඇත්තෙන්ම දක්නට ඇත්තේ ගම් මට්ටමින් නීති විරෝධී මත්පැන් ජාවාරම පවා ඉහළ යෑමකි. බලධාරින්ගේ අවධානය වෙනස් වීම මේ අපරාධකරුවන්ට ආශීර්වාදයකි.

කොරෝනා වයිරසයේ බලපෑම තිබියදී මත්කුඩු ජාවාරම වැනි කටයුතු මැඬලීමට කටයුතු කළ නොහැක්කේ මන්දැයි අපට වැටහෙන්නේ නැත. අප මහ මැතිවරණයක් පැවැත් වූයේ කොරෝනා අවදානමක් තිබියදීය. ඊයේ පෙරේදා ශිෂ්‍යත්ව විභාගය පවත්වා අවසන් කළ අතර මේ වන විට උසස් පෙළ විභාගය ක්‍රියාත්මකය. කොරෝනා නිසා කාගෙ කාගේත් හිත්වල යම් චකිතයක් ඇතත් කාගේත්, කොතැනත් එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. එසේ නම් පාතාලය ගැන, මත්ද්‍රව්‍ය ජාවාරම හෝ නීති විරෝධී මත්පැන් ජාවාරම ගැන කටයුතු නොකර සිටින්නට හේතුවක් තිබිය නොහැකිය.

කොරෝනා බලපෑම තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරම ඇතුළුව පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට කටයුතු කළ යුත්තේ සමාජ සංවර්ධනය සඳහා පමණක් නොව එය කොරෝනා මර්දනයටද උපකාරී වන හෙයිනි. මීට පෙර නාවික හමුදා කොරෝනා පොකුර ඇති වීමට හේතු වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය. එකට මත්පැන් බිව් පුද්ගලයන්ට පමණක් නොව එක දුම්වැටිය බෙදාගෙන පානය කළ අයද කොරෝනා ආසාදිතයන් වූ බව වාර්තා වී තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතර කොරෝනා පමණක් නොව ඒඩ්ස් වැනි සමාජ රෝග පවා පැතිර යෑමේ අවදානම වැඩි බව කවුරුත් දන්නා කාරණයකි.

මේ නිසා සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරන අයට දඬුවම් කිරීමට නව නීති පැනවීමට මහන්සි වනවාට වඩා පවතින නීතිය යටතේ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පහසුය.

පාතාල සාමාජිකයන්ගේ බැංකු ගිණුම් ආදිය සම්බන්ධයෙන් වාර්තා වූ පුවත් සම්බන්ධයෙන් ඇති වූ සැකයන්ද තවමත් පහව ගොස් නැත. රුපියල් කෝටි ගණන් මෙම ගිණුම් හරහා හුවමාරු වූ බව කියූ නමුත් ඒ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි අනාවරණය වූයේ නැත. මේ නිසා ඒ තොරතුරු දැන ගැනීමටද රටේ ජනතාවට අයිතියක් තිබේ. කොරෝනා බලපෑම හමුවේ මේ පරීක්ෂණ යට වී ගියහොත් ඇත්තටම එවැනි පරීක්ෂණ සිදු වූයේ දැයි සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එවැනි සැකයක් ඇතිවීමට තවත් හේතුවක් වන්නේ පසුගිය දිනවල අනාවරණ වූ මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර නිලධාරින් ආදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ද සම්බන්ධ බව අනාවරණය වීම නිසාය.