විශේෂාංග

මේ සිංහ කොඩියේ නැත සිංහ කකුල් එහි ඇත්තේ කුකුල් කකුල්

හුදී ජන පන්තියේ බොහොම දෙනෙක්, දහඩියට ම දියැවී ගිය ලිපි ගොනු ද අතැතිව ආණ්ඩුවේ කන්තෝරු ගානේ ඇවිදින්නේ තම පෞද්ගලික වැඩ කටයුතු කර ගනු පිණිස ය. ඒවා අතර, තමන්ගේ දූ දරුවන්ට රැකී රක්ෂා සොයා ගැනීම, රජයේ සේවයේ ස්ථාන මාරුවක් ලබා ගැනීම සහ තම දරුවන්ට නගරයේ පාසලක් ලබා ගැනීම ආදී අවශ්‍යතා ප්‍රධාන ය. ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ කන්තෝරුවලින් නිසි සහනයක් නොලැබෙන නිසා ඒ අයට කකුල් ගෙවෙන තුරු ඇවිදීමට සිදුවී තිබේ. එහෙත් කඩුවෙල පදිංචි ජී. එන්. බන්දුසේන මහතා දැනට වසර පහක පමණ කාලයක සිට, දහඩියට ම දියවුණු විශාල ලිපි ගොනුවක් ද අතැතිව ආණ්ඩුවේ කන්තෝරු ගානේ ඇවිදින්නේ එබඳු පෞද්ගලික කටයුත්තකට නොවේ. ශ්‍රී ලංකාවේ ‘අභිමානය’ වූ ‘ජාතික කොඩියේ අවභාවිතාව’ වළක්වා ගනු පිණිස ය!

ජාතික කොඩිය සහ ජාතික ගීය යනු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම කොටසකි. පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරව ඒවායෙහි කිසිදු වෙනසක් කළ නො හැකි ය. එහෙත් දැන් දැන් ලංකාවේ රාජ්‍ය ආයතනවල පවා භාවිත වන්නේ වැරදි ජාතික කොඩියක් බව ජී. එන්. බන්දුසේන මහතාගේ අදහසයි.

‘සාමාන්‍යයෙන් අපේ නිවැරදි ජාතික කොඩියේ සිංහයාට හොඳට පොළොවේ පය ගැහුණු සිංහ කකුල් තියෙනවා. ඒත් දැන් භාවිත කෙරෙන ජාතික කොඩිවල සිංහයාට තියෙන්නේ ‘කුකුල් කකුල්’ යයි ද ඔහු කියන්නේ ය. නිවැරදි ජාතික කොඩිය භාවිත නොකිරීම, අවභාවිතාවක් බවත්, එය රටට අවමානයක් බවත් ඔහු පවසයි.

වෘත්තියෙන් වාස්තු විද්‍යා ශිල්පියෙකු සහ ඉදිකිරීම්කරුවකු වන බන්දුසේන මහතා, ලංකාවේ බෞද්ධ කොඩිය සහ ජාතික කොඩිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන්නෙකි. ඔහු කියන්නේ, වර්තමානයේ අපේ රටේ රාජ්‍ය ආයතනවල පවා ජාතික කොඩිය අවභාවිත කෙරෙන බවයි. එනම්, නිවැරදි ජාතික කොඩිය භාවිත නොවන බවයි. ඔහු පවසන අන්දමට, දැනට ක්‍රියාත්මක වන 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා පළකර ඇත්තේ නිවැරදි ජාතික කොඩිය නොවේ! කොටින්ම, ජාතික කොඩිය සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරියා වන ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශය’ පවා භාවිත කරන්නේ වැරදි කොඩියකි!

ජී. එන්. බන්දුසේන මහතා කියන කතාව තේරුම් බේරුම් කර ගැනීමට නම්, ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වීමේ පසුබිම සහ එහි ඉතිහාසය ගැන කරුණු අධ්‍යයනය කළ යුතුය.
අපේ රටේ ‘ජාතික කොඩිය’ මුලින්ම පාර්ලිමේන්තුවේ අනුමත වූයේ 1951 වර්ෂයේ ය. ඒ, ‘ජාතික කොඩිය’ සැකසීම පිළිබඳව පත් කෙරුණු පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශ අනුව ය. එකල මෙම කමිටුවට, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ටී. බී. ජයා, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ලලිත අභය රාජපක්ෂ සහ ජී. ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් ඇතුළත් වූහ. ඔවුන්ගේ අත්සනින් නිර්දේශ කෙරී, පාර්ලිමේන්තුවේ අනුමත කෙරුණු ‘ජාතික කොඩිය’ එවක් පටන් ලංකාවේ ‘ජාතික කොඩිය’ බවට පත් විය. එදා අනුමත කෙරුණු කොඩියේ මුල් පිටපත දැනට ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර තිබේ. එය කඩුවක් අතින් ගත් සිංහයෙක් දැක්වෙන කොඩියකි.

මේ කොඩියට, කහපාට මායිමක් තුළ කොළ පැහැ තීරුවක් ද, රත් පැහැ තීරුවක් ද, තද රතු පැහැ පසුබිමක කඩුවක් අතින් ගත් සිංහ රුවක් ද ඇතුළත් විය. කොඩියෙහි මුලු සතරෙහි කොත් හතරක් ද විය. මේ කොඩියෙහි දැක්වෙන සිංහ රුව, දුටුගැමුණු රජු, ආක්‍රමණික එළාර රජු සමග යුද වදින්නට රුහුණේ සිට රැගෙන ගිය කොඩියෙහි වූ සිංහයා යයි සැලකේ. සිංහ රුව සකස්කර ගෙන ඇත්තේ රංගිරි දඹුළු විහාරයේ එන සිත්තමකිනි. පසුව, මහනුවර සහ කෝට්ටේ යුගවල දී ද සිංහ රුව සහිත ‘රාජකීය ධජ’ භාවිත කෙරී ඇත. 1951 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ අනුමත කෙරුණු ජාතික කොඩිය මේ සියල්ලේ සම්මිශ්‍රණයකි. එය 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී, 1951 මාර්තු 31 වෙනි දා අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ ප්‍රථම වරට ඔසවන ලද්දේ ය.

පසුව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ‘ජාතික කොඩියේ’ යම් යම් කොටස් යළි සංශෝධනය කෙරිණි. ඒ අනුව, කොඩියේ රතු පැහැති පසුබිමෙහි මුලු හතරේ තිබුණු කොත් හතර ඉවත්කර, ඒ වෙනුවට ‘බෝ කොළ’ හතරක හැඩ එක් කෙරිණි. දැනට අපේ රටේ නිවැරදි ජාතික කොඩිය යයි ගිනිය හැක්කේ 1951 වර්ෂයේ දී පාර්ලිමේන්තුවෙන් අනුමත කෙරුණා වූ ද, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී අලුත් කෙරුණා වූ ද ජාතික කොඩිය යි.

‘ඒත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රිත පිටපතේ දක්වලා තියෙන්නේ කුකුල් කකුල් තියෙන සිංහ රූපයක්. මේක වැරදියි. ඉන් පසුව 2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී, එහි මුද්‍රිත පිටපතට ද තවත් ජාතික කොඩියක් එක් කෙරුණා. ඒකත් වැරදි කොඩියක්’, ජී. එන්. බන්දුසේන මහතා කියන්නේ ය. ඔහු සඳහන් කරන ආකාරයට, වර්තමානයේ ක්‍රියාත්මක වන ‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ’ මුද්‍රිත පිටපතේ ද දක්වා ඇත්තේ වැරදි ජාතික කොඩියකි.

වර්තමාන නිවැරදි ජාතික කොඩියේ අර්ථ නිරූපණය ද වැදගත් ය. ඒ අනුව ජාතික කොඩිය යනු, අප මව්බිමේ ද, අපගේ ස්වාධීනත්වයේ ද, ජනතාවගේ එක්සත්භාවයේ ද සංකේතය වන්නේ ය. එහි කහ පාට සිංහයා, සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුක බව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත් විදහා දක්වයි. කහ පැහැ අසිපත මගින් සංකේතවත් වන්නේ ධාර්මිකව ද, නීත්‍යානුකූලව ද, යුක්තිගරුකව ද, රට පාලනය කරමින් මව්බිමේ ආරක්ෂාව උදෙසා නැගී සිටීමයි. කොඩිය සිවු කොනේ ඇති බෝපත් හතර මගින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය පෙන්නුම් කරයි. තද රතු-මෙරුන් පාට කොටස, ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජීව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය සංකේතවත් කරයි. කොල, හරිත හා තැඹිලි, රඹ පැහැ සිරස් පටි දෙක ඔස්සේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, වතු දෙමළ යනාදි සියලු සුළු ජාතීන් නියෝජනය වේ. එක සමාන පළලකින් වූ කහ පටිය, ජාතික කොඩියේ සියලු කොටස් එකට බැඳී තිබෙන බව පෙන්නුම් කරයි. එසේම එයින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලිකර දෙයි. සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහළ කොටස මගින් සංකේතවත් වන්නේ පාලකයා හා රටවැසියන් අතර සමානාත්මතාව පැවතීම සහ මැදි පිළිවෙතට ගරු කිරීමයි. කරුණු එසේ වුව ද, දැන් රටේ බහුලව භාවිත කරන්නේ වැරදි ජාතික කොඩියකි.

වර්ෂ 1987 දී ජාතික කොඩිය සඳහා රීති සංග්‍රහයක් සකස් කෙරිණි. එහි අරමුණ වූයේ ජාතික කොඩිය, එහි ගෞරව බහුමානයෙන් යුක්තව භාවිත කිරීමට මග පෙන්වීමයි. එය එදා පටන් ම, ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට’ පැවරුණු වැඩ විෂයක් විය. වර්තමානයේ ද එම රීති ක්‍රියාත්මක කරන්නේ ‘ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි’. ඔවුන්ගේ වෙබ් අඩවියෙහි දක්වා ඇති ජාතික කොඩිය ද ‘කුකුල් කකුල් මොඩලයේ’ ජාතික කොඩියකි.

ලංකාවේ ජාතික කොඩිය සඳහා, ‘එස්. එල්. එස්. 693: 1985 දරන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය සකස්කර ඇත. එයින් ජාතික කොඩියෙහි නිවැරදි සැලැස්ම, ප්‍රමාණය සහ වර්ණ කෙරෙහි අවධානය යොමුකර තිබේ. එහි නිර්දේශිත වර්ණ ඵලකයක් ද ඇතුළත් ය. එහි ද පෙන්නුම් කර ඇත්තේ වැරදි ජාතික කොඩියකි. ‘ඒකේ වර්ණ නම් හරි. ඒත් එහි සිංහයා 1978 දි පාර්ලිමේන්තුවේ සම්මත වුණු කොඩියේ සිංහයාට වඩා වෙනස්’, බන්දුසේන මහතා පවසයි. වර්තමානයේ ඇතැම් මුද්‍රිත ප්‍රකාශනවල ජාතික කොඩියෙහි මුලු හතරේ බෝ කොළවල නාරටි පවා ඇඳ තිබෙනු දැකිය හැකි ය. එහෙත් නිවැරදි කොඩියේ ඇති බෝ කොළවල නාරටි නැත.

ජාතික කොඩිය අවභාවිත කිරීමෙන් වළකාලන්නැයි ඉල්ලමින්, ජී. එන්. බන්දුසේන මහතා ජනාධිපති, අගමැති, කථානායක, පොලිස්පති ආදී ඉහළ තලයේ උදවියට යැවූ ලිපිවල පිටපත් සහ ඒවාට ලැබුණු පිළිතුරු ඇතුළත් ලිපි ගොනුව විශාල එකකි. ඒ සියලු දෙනා, ඔහුගේ යෝජනාව සම්බන්ධයෙන් ස්තුතිකර ඇති අතර, කාරණය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ බව දන්වා තිබේ. එහෙත් ජාතික කොඩිය අවභාවිත වීම වළක්වන්නට කිසිවෙකු කටයුතු නොකළ බව, ඔහු කියන්නේ සංවේගයෙනි. ‘ලෝකේ ඕනෑම රටක ජාතික කොඩිය ගත්තොත්, ඒවා ඒ රටේදිත් ලෝකය පුරාවටත් එක සමානයි. ඒත් අපේ රටේ එහෙම නෑ. අපේ කොඩිය කොඩියෙන් කොඩියට වෙනස්’, ඔහු කියයි.

ඔහුට නිරීක්ෂණය වුණු ආකාරයට, ජාතික නිදහස් දින ජාතික උත්සවයට පවා භාවිත කරන්නේ නිවැරදි ජාතික කොඩිය නොවේ. එබැවින් ඔහු 2018 ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරුව දා කදිම විරෝධතාවක් දැක්වූයේ ය. ‘ත්‍රිවිධ හමුදා සහ පොලිස් මහත්වරුණි, අවභාවිත ජාතික කොඩි භාවිත කරන්න එපා’ යනුවෙන් සඳහන් විශාල පෝස්ටරයක් ද අල්ලා ගෙන, ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියේ (පෙරහුරුවේ) ඉදිරියට ගියේ ය. ඉන් පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත් විණි.

‘ඊට පස්සේ මාව කොටුව පොලිසියට අරන් ගියා. කොටුව පොලිසියේ ස්ථානාධිපතිතුමාට ඉදිරිපත් කළා. මං සේරම විස්තරේ කිව්වා. ඒ වෙලාවේත් මගේ ලිපි ගොනුව තිබ්බා. ඒකේ ජනාධිපති කාර්යාලයේ සහකාර ලේකම්වරයෙක් මට එවාපු ලියුමකුත් තිබුණා. පස්සේ පොලිසියෙන් ඒ මහත්තයාට කතා කළා. ජාතික කොඩියේ ප්‍රශ්නය ජනාධිපති කාර්යාලයටත් කියපු බව එතුමා කියන්න ඇති. මාව නිදහස් කළා’, බන්දුසේන මහතා කියන්නේ හිනැහෙමිනි.

ඔහු මීට ඉහත බෞද්ධ කොඩියේ නිවැරදිතාවය වෙනුවෙන් සටන් කළේ ය. ‘ආණ්ඩුව ඒක නම් සකස් කළා. ඒත් ජාතික කොඩියේ වැඩේ තවම නෑ. මං හිතන විදිහට, අපේ රජයේ නිලධාරීන් කවුරුවත් නිවැරදි ජාතික කොඩිය දැකලා නෑ වෙන්න ඇති. මං ප්‍රාර්ථනා කරන්නේ මුළු රටේ ම, එකම ආකාරයේ නිවැරදි ජාතික කොඩියක් භාවිත කරන දවසක් ඉක්මනින්ම පැමිණේවා කියලයි’, බන්දුසේන මහතා පැවසුවේ මහත් බලාපොරොත්තු සහගතව ය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර