කීර්ති පැස්කුවල්ගේ ලේලිය වෛවර්ණ වෙයි
13 October 2021
කීර්ති පැස්කුවල්ගේ ලේලිය වෛවර්ණ වෙයි
13 October 2021
අවුරුදු හතකට පස්සෙ නිර්මාණයක් කළේ
රැකියාව නිසා කාලය වෙන්කර ගන්න අමාරුයි
චේතනා රණසිංහ කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් බිහි වුණු ඉතාම දක්ෂ ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඒ වගේම ඇය සතු නර්තන කුසලතාවද දෙරණ නර්තන රියැලිටි තරගයක් තුළින් දැක ගන්නට ලැබුණා. ඇය විවාහ වුණේ ප්‍රවීණ ගායක කිර්ති පැස්කුවෙල් මහතාගේ පුතු වන කසුන් පැස්කුවෙල් සමගයි. කසුන් පැස්කුවෙල් කියන්නේ සංගීත ක්ෂේත්‍රයේදී තමන්ගේ පාඩුවේ ගමනක් යන දක්ෂයෙක්. කාලයක් නිහඬව හිටි චේතනා නැවත ආදරණීය රසිකයින් අතරට ඇවිත් තියෙනවා ‘වෛවර්ණ නාරි’ තුළින්. ‘වෛවර්ණ නාරි’ ගැන චේතනා පිනිපලසට කිව්වේ මෙන්න මෙහෙම... වෙනස් විදියේ වැඩක් කරන්න කාලයක් තිස්සේ ලොකු ආසාවක් තිබ්බා. මොකද වසර ගණනාවකට පස්සේ තමා මගේම තනි නිර්මාණයක් විදියට ගීතයක් කරන්නේ. කාලයකට පස්සේ කරන නිසා ලොකු කාලයක් තිස්සේ හිතුවා මොනවගේ ගීතයක් ද කරන්න ඕනේ කියන දේ. ඊට පස්සේ පසන් ලියනගේ අයියට තමා ගීතය කරන්න භාර දුන්නේ. ගීතය ලිව්වේ ෂෙහාන් ගලහිටියාව අයියා. පසන් තමා ගීතය සංගීතවත් කළේ. වචන එහෙට මෙහෙට කරමින් හොඳම නිර්මාණයක් කරන්න කාලයක් ගත වුණා.ඔක්තෝබර් පළවෙනිදා තමා මම ‘වෛවර්ණ නාරි’ ගීතයේ වීඩියෝව රිලීස් කළේ. මේ ගීතය අඬන සින්දුවක්වත් මල් සින්දුවක්වත් නෙවෙයි. හැපි ඩාන්ස් එකක් එක්ක යන වෙනස් විදියේ වැඩක්. බොලිවුඩ් රිදම් එක පොඩ්ඩක් එකතු කරලා තියෙනවා. ඒ එක්කම මගේ නර්තන හැකියාවත් එකතු කරලා තමා මෙහි රූප රචනාව නිර්මාණය කරේ. මේ සියල්ල නිසාම මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඉස්සරහටත් බලන් ඉන්නවා ප්‍රේක්ෂකයින් ආදරෙන් තව තවත් මේ ගීතය වැළඳ ගනී කියලා.හරියටම ගත්තොත් රොමේෂ් සුගතපාල අයියා එක්ක කරපු නොකියූ ආදරේ ගීතයෙන් පස්සේ අවුරුදු 7කට පස්සේ තමා මගේ තනි නිර්මාණයක් විදියට මේ ගීතය එන්නේ. ඒ අතරතුර කාලයේ වෙනත් අයගේ ගීත නිර්මාණවලට මම දායක වුණු අවස්ථා තිබ්බා. තව කසුන් එක්ක මම ‘නිල්වන් ජලාශේ’ කියලා යුග ගීතයක් කළා. ඊට පස්සේ එයත් එක්කත් යුග ගීතයක් කරන්න බැරි වුණා. එයත් රැකියාවක නිරත වෙලා ඉන්නේ. ඒ එක්කම මගේ ඉගෙනීම් කටයුතු සහ රැකියාවේ කටයුතු නිසාත් මම කාර්යබහුල වෙලා හිටියා. ඒ කාර්යබහුලකම සහ විවිධ හේතු බලපෑවා මෙච්චර කාලයක් ගීතයක් නොකරන්න. විශේෂම දේ තමා අද හොඳ නිමාවකින් රූප රචනාවක් එක්ක ගීතයක් අවසන් කරන්න ලොකු මුදලක් තියෙන්න ඕනේ. කරන්නම් වාලේ ගීත නිර්මාණය කරන එක තේරුමක් නැහැ. ඒ නිසා කාලයක් අරන් හොඳ දෙයක් කරනවා කියන තැන මම හිටියේ.

මගේ නර්තන හැකියාව වුණත් ප්‍රේක්ෂයන්ට මුලින්ම දැක ගන්න ලැබුණේ දෙරණ නාළිකාවේම රියැලිටි තරගයක් තුළින්. ඒ සියල්ල කාලයකට පස්සේ යළි මතක් කරන්නත් එක්ක තමා අලුත් ගීතය සංගීතය සහ නර්තනය දෙකම එකතුවෙන් යන නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතුවේ. මේ වෙද්දී ‘වෛවර්ණ නාරි’ ට ලැබෙන ප්‍රතිචාර බලලා තව අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. රංගනයට සෑහෙන්න ආරාධනා ලබුණා සහ තවමත් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම මම රැකියාවක නියුතු කෙනෙක් නිසා රූපගත කිරීම්වලට එක දිගට දින ලබා දෙන්න බැරි ප්‍රශ්න තියෙනවා. අනිත් අතට මට හිතෙනවා රංගනයට වඩා මේ සංගීතය පැත්තෙන් මගේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. සංගීතය නිසා තමා අපි ජීවත් වෙන්නේ. පුංචි කාලයේ මම ඉඳන්ම සංගීතයට ඇළුම් කරපු කෙනෙක්. මේ වෙද්දී මම විශාරද විභාගෙත් කරලා තියෙන්නේ. ඒ එක්කම මට ඕනේ වුණා හොඳින් අධ්‍යාපන කටයුතු අවසන් කරන්න. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියත් සම්පූර්ණ කළා. මම කොහොමත් ආසාවෙන් හිටියේ වෘත්තියක නියැළෙන ගමන් සංගීත කටයුතු කරන්න. අනුෂා රණසිංහ https://youtu.be/Ker2biu3oYgසාමාන්‍ය පෙළ කරන කාලේ තමා දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයට සහභාගී වෙන්නේ. එතකොට වයස අඅවුරුදු 16යි. හරිම සුන්දර කාලයක් සහ ජීවිතේ අමතක නොවන කාල පරිච්ජේදයක්
කිව්වොත් නිවැරදියි. ඒ කාලයේ ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ මොනවද කරන්න ඕනේ කියන. ඒ තරගය තුළින් ලැබුණු අත්දැකීම් තමා සංගීත ගමනට ලොකු රුකුලක් වුණේ.















