brand logo

කිසිම බැංකුවකින් ගිණුම් ඉවත්කර ගන්නැයි අපි කාටවත්ම කියා නැහැ

07 July 2020

ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි. ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක මුස්ලිම් ජාතිකයන් සතු ගිණුම් ඉවත්කර ගන්නා ලෙස ජම්ඉයියතුල් සංවිධානය විසින් අනුබල දෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී එම සංවිධානයේ මාධ්‍ය ලේකම් ෆසිල් ෆාරුක් මේ බව සඳහන් කළේය. හෙතෙම ඒ පිළිබඳ මෙසේද සඳහන් කළේය. ‘‘රතන හාමුදුරුවො කරල තියෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. අපි ජම්ඉයියතුල් උලමා සංවිධානය විදිහට කිසිම බැංකුවක ගිණුම් ඉවත් කරගන්න උපදෙස් ලබා දීලා නැහැ. මේක ජාතීන් අතර භේද ඇතිකරන ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සහයෝගයෙන් වාසය කළ යුතුයි කියන එකයි අපේ ස්ථාවරය. ඔය කියන බැංකුවේ සිදුවුණු දෙය අදාළ බැංකුවත් ඊට සම්බන්ධ අයත් පෞද්ගලිකව විසඳා ගත යුතු ගැටලුවක්.’’ මෙම චෝදනාව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එල්ල කරන ලද්දේ ඊයේ (06 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ ‘‘අපි සිංහල බැංකුවලට යන්නේ නැහැ. අපි වෙනම බැංකුවලට යනව කියල මේ ගොල්ලො ප්‍රකාශ කරනවා. මේ විදිහට ප්‍රකාශ කරනවා නම් අපිටත් ප්‍රකාශයක් කරන්න වෙනවා. ජම්ඉයියතුල් උලමාව මේ සියලු දේටම උඩගෙඩි දෙමින් ගොළුවො වගේ ඉන්නවා. සහරාන්ගේ බෝම්බ පිපිරීමටත්, රටපුරා මද්‍රසා පාසල් ඇති කිරීමටත්, සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් සමාජය ආකාරවලින් බෙදීමටත් වැඩකළේ ජම්ඉයියතුල්ලා උලමාවයි. යනුවෙන්ද පැවසීය. නයන තරංග ගමගේ
 

More News..