විශේෂාංග

කිරි දියෙනි දෙව්වත් – අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්

මේ සඳුදා සියලුම ජාතික පත්තරවල මුල් පිටුව, ආණ්ඩුව විසින් පළ කළ වෙළෙඳ දැන්වීමකින් උදුරාගෙන තිබිණ. ‘‘සුදු ජූලිය ඇරඹෙයි’’ යනුවෙන් සෑම පත්තරයකම මුල්පිට මිලට ගෙන පළකර තිබූ දැන්වීමෙන් උත්සාහ කර තිබුණේ ජූලිය කළු වීමේ මතකය වෙනස් කිරීමය. ජූලිය දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක වූයේ කවදා ඉඳන්ද? ජූලිය කළු වුණේ කවදා ඉඳන්ද?

1915 ජුනි මාසයේ ගම්පොළ ප්‍රදේශයෙහි ඇරඹි සිංහල – මුස්ලිම් කෝලාහලය වේගයෙන් රට පුරා පැතිරිණි. ඒ පළමුවෙනි ලෝක යුද සමය වූයෙන් බ්‍රිතාන්‍ය රජය මාර්ෂල් ලෝ හෙවත් යුද නීතිය පනවා කෝලාහලය දැඩිව මර්දනය කරන්නට පටන් ගත්හ. සිංහලයන්, බ්‍රිතාන්‍ය රජයේ දැඩි මර්දනයට හසු වූ අතර සිය ගණනක් මහමග වෙඩි පහරින් මරු වැලඳ ගත්හ. අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් වූ එෆ්. ආර්, ඩී.එස්, ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, බොරළුගොඩ රාලහාමි, හෙන්රි ප්‍රේද්‍රිස් ආදීහු දඟගෙයි ලනු ලැබිණ. පෑලියගොඩ සිට ආ මුස්ලිම් කලහකාරී පිරිසකට වෙඩි තැබුවයි චෝදනා ලද කොළඹ නගරාරක්ෂක හමුදාවේ කැප්ටන් තනතුර හෙබවූ හෙන්රි ප්‍රේද්‍රිස් වෙඩි තබා මරා දැමීමට මාර්ෂල් ලෝ නීතිය යටතේ තීන්දු කෙරිණ. කොළඹ මුළු මහත් ප්‍රභූ සමාජයම කැලඹිණි. එහෙත් සිංහල ප්‍රභූ පවුල්වල ඉල්ලීම නොතකා 1915 ජූලි හත්වැනිදා හෙන්රි ප්‍රේද්‍රිස් වෙඩි තබා මරා දැමිණ. මේ මහා වියවුල මැද මළ කෙළියයි- ජූලි හතයි කියාද, මළ ජූලියයි කියාද සිංහලයාට කියැවිණ. වසර 104 කට පෙර අද වැනි දිනක සිදු වූ මේ සිදුවීම සිංහලයාගේ මනසට කෙතරම් බලපෑවේද යත් අදත් කලබලයකදී කියැවෙන්නේ මළ ජූලියයි කියාය.

ජූලිය දේශපාලන සැමරුම් මාසයක් වූයේ එසේය. එය කැතම කැත, කළුම කළු කළුවන් කළු ජූලියක් බවට පත් කළේ 1977 පිහිටු වූ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙනි.

1980 දී රුපියල් දහයක වැටුප් වැඩිවීමක් ඉල්ලා රජයේ සේවකයන් කළ මහා වැඩ වර්ජනය යූඑන්පී ආණ්ඩුව බිමට සමතලා කළේ 40,000 ක රජයේ සේවක පිරිසක් මහ පාරට ඇද දමමිනි. කර කියාගත හැකි කිසිවක් නොවූ රජයේ වර්ජකයෝ සිය ගණනක් සියදිවි නසා ගත්හ. 80 ජූලි වර්ජනය බිඳ දමා ලබාගත් ශක්තියෙන් උදම් වූ යූඑන්පී ආණ්ඩුව ඊළඟට කළේ 1981 පැවැත්වූ උතුරේ සංවර්ධන සභා ඡන්දය මංකොල්ල කෑමය. ජාතික සේවක සංගමයේ මැරයන් රැගත් දුම්රියක් කුරුණෑගලින් උතුර බලා පිටත් වී උතුරේ දෙමළුන්ගේ ඡන්ද පෙට්ටි මුහුදට වීසිකර යාපනේ මහා පුස්තකාලයද ගිනි තැබූහ. එදා යාපනේ තරුණයන් වෛරයෙන් යුතුව කෝච්චි පාර ගලවා දමා උතුර – දකුණ වෙන් කර ගත්හ. ඉන්පසුය 83 කළු ජූලියට පාර කැපුණේ. එල්ටීටීඊය හමුදා සෙබළුන් 13 දෙනකු 83 ජූලියේදී මරා දැමූ නිසාය. එසේ මරා දැමූ සෙබළුන්ගේ සිරුරු දෙමාපියන්ට භාර දෙනවා වෙනුවට කොළඹ කනත්තේ වළ දැමීමට යූඑන්පී ආණ්ඩුව උත්සාහ කළ මොහොතේ, මහා කෝලාහලය ඇරඹිණ. ඒ ජූලියේ දහස් ගණනක් දෙමළුන්ගේ කඩ සාප්පු ගිනි තැබුණ අතර දසදහස් ගණනින් කොළඹ හා අවට පදිංචිව සිටියවුන් ඇතැම් කඳවුරුවලට ගාල් කෙරිණ. මේ ජූලිය කළු වෙනතුරු යූඑන්පී ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් නිහඬව උන්නේය.

ඊළඟ බිහිසුණු සිදුවීමද යූඑන්පීය ජූලි මාසයකම උදාකර දුන්නේය. 1987 ජූලි මාසයේ යූඑන්පී රජය ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කර උතුරද නැගෙනහිර ද ඉතිහාසයේ පළමු වරට ඉන්දියානු හමුදාවන්ට භාර දුන්නේය. ගිවිසුම අත්සන් කළ දා නාවික හමුදා පෙරට්ටුවක් පරීක්ෂා කළ රජීව් ගාන්ධි, කෝපයට පත් නාවික සෙබළ ප්‍රහාරයෙන් මියයාමට වුව ඉඩ තිබුණේය. එදා ඉන්දු ලංකා ගිවිසුම අනුව ලංකාවට ආ ඉන්දීය සෙබළුන් දූෂණය කළ ධනු නම් තරුණිය, රජීව් ගාන්ධිව තමිල්නාඩුවේදී මරාගෙන මළේය. 87 ජූලියේ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ දා පෙරට්ටුවේදී ලත් පාඩම නිසා අදටත් රාජ්‍ය නායකයන් හමුදා පෙරෙට්ටු නිරීක්ෂණය කරන්නේ බඹ ගානක් ඈතින් යමිනි.

යූඑන්පීය පාලක බලය පැවති කාලයේ ජූලි මාසවල ඇති කළ දෙයෙහි ප්‍රතිඵල තාමත් රට භුක්ති විඳී. 80 ජූලි වර්ජනය මර්දනයෙන් පසු වෘත්තීය සංගම්වල වැඩ කරන ජනතා ශක්තිය තාමත් බිමය. 83 කළු ජූලිය ඇති කළ කළු පැල්ලමින් ජාතක වූ දෙමළ ඩයස්පෝරාව තවමත් එහෙමමය. 1987 ගෙනා පළාත් සභා සුදු අලියාද උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමාදී ප්‍රශ්නද එහෙමය.

යූඑන්පී ආණ්ඩුව එදා ජූලිය, කළු කරන විට ඒ ආණ්ඩුවේ සිටි ළාබාලම ඇමැති අද අගමැතිය. යාපනේ සංවර්ධන සභා ඡන්දය කඩාකප්පල් කර පුස්තකාලය පුච්චන්නට කුරුණෑගලින් කෝච්චිය ගෙන ගිය අැමැති තවමත් මේ ආණ්ඩුවේය. කළු ජූලියට වගකිව යුතු යූඑන්පී ඇමැතිවරුන්ගේ පුත්තු අද යූඑන්පීයේ ප්‍රබල ඇමැතිවරුය. ඒ පිරිසම එදා කළු කළ ජූලිය අද සුදු කිරීම දෛවයේ සරදමකි.

මේ ආණ්ඩුව කහ ඉරි සුදු කළේය. කහ රුපියල සුදු කළේ ය. මහ බැංකුව ශුද්ධ කළේය. එහෙත් අප ජන මනසේ අපේම සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථයක කවක් ඇඳී තිබේ.

කිරි දියෙනි දෙව්වත්
අඟුරු සුදු වන කලෙක් නම් නැත්
කිරිවලින් දෝවනය කළත් අඟුරු සුදු වෙන්නේ නැත.