අතන මෙතන

කිරිඇල්ලගෙ හැඟුම්බර හීන

අගමැතිවරයා පසුගිය සතිය පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමේ කටයුතු රැසක නිරත විය. ඉන් පළමුවැන්න වූයේ රුපියල් ලක්ෂ 2800ක් වැයකරමින් බණ්ඩාරගම ඉදිකළ පොදු වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමය.

දෙවැන්න වූයේ මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස 384ක ව්‍යාපෘතිය විවෘත කිරීමය. ඒ සඳහා රු.ලක්ෂ 15,300ක් වැයකොට තිබිණ. අනතුරුව අංගසම්පූර්ණ ජාතික පාසල් රට පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළේ මූලික අදියර ලෙස කුරුණෑගලදී විවෘත වූ රුපියල් ලක්ෂ 10,000ක් වැය කළ විශ්වෝදා ජාතික පාසල සිසු අයිතියට පැවරීමය. උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සඳහා අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම උතුරු පළාත බලා පිටත් විය.

කෝපායි වලිකාමම් හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල මෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම, කිලිනොච්චි රෝහල සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම හා හදිසි අනතුරු ඒකකය සඳහා මුල්ගල් තැබීම, නැවත පදිංචි කිරීමේ නිවාස සංකීර්ණයද එහිදී විවෘත කෙරිණි. මෙම සංචාරයේදී අගමැති රනිල් කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට යාමටද නියමිතව තිබිණි. එහිදී අගමැති එහි යාමට ප්‍රථම පූර්ව ආරක්ෂක පරීක්ෂාවන් සඳහා එහි ගිය අගමැති ආරක්ෂක අංශයේ නිලධාරින්ට නාවික හමුදා කඳවුර තුළට ඇතුළු වීමට අවස්ථාව හිමිව නැත. අගමැතිවරයා පසුගිය 14 වනදා යාපනයට යාමට නියමිතව තිබියදී ඊට දින හයකට පෙර මෙම ආරක්ෂක සෝදිසි මෙහෙයුම දියත්කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශය මෛත්‍රී ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බැවින් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බව එජාපයේ ඉහළ නිලධාරීහු මේ සිද්ධිය අනාවරණය කරමින් අරුණට සඳහන් කළහ. මේ අතර පලාලි ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ටද අගමැතිගේ පැමිණීම පිළිබඳව පෙර දැනුම් දීම් නොකර සිටීම හේතුවෙන් ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ට අගමැති එහි පැමිණෙන බවට ලැබුණු ආරංචි මාර්ග අනුව අගමැති කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසා ඇත. එහිදී අගමැතිවරයාගේ යාපනේ සංචාරය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිසියාකාරයෙන් සන්නිවේදනය ක්‍රියාත්මක නොවන බව අගමැති කාර්යාලයේ නිලධාරීන් අගමැති රනිල්ට දන්වා තිබුණි.

රනිල් තමන්ගේ යාපනය සංචාරය පිළිබඳව න්‍යාය පත්‍රය ආරක්ෂක අමාත්‍යංශයට යවා ගැටලුව විසඳන ලෙස උපදෙස් දුන්නේය. නමුත් නිලධාරීන් කීවේ තමන් එම තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය වෙත කලින් යොමු කර තිබූ බවය. නමුත් ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව හෙළි වූයේ අදාළ තොරතුරු නිසියාකාරව අමාත්‍යාංශයට ලැබී නැති බවය. යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව එහි නිලධාරීන් සමග සාකච්ඡාවක්ද සංවිධානය කර තිබියදී ගුවන් හමුදාවට අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳව නිශ්චිත තොරතුරු නොලැබීම පුදුම සහගත දෙයක් බවත් එය මෛත්‍රී – රනිල් ගැටුමේ ප්‍රතිඵලයක් බවත් කරළියේ කතාබහට ලක්වෙමින් ඇත.

එම යාපනය සංචාරයට පිටත්වීමට පෙර අරලියගහ මැඳුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු ලෙස මැති ඇමැතිවරු රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යකරුවන් සමග කතාබහකද නිරත විය.

‘‘මහනුවර අධිවේගයේ මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා කොටසේ වැඩ නිමවෙන විදිහ පෙන්නන්න නිකාය හතරේම ප්‍රධාන හිමිවරු වැඩම කරවා නිරීක්ෂණ චාරිකාවක් සිදුකරපු එක කිරිඇල්ල ඇමැතිතුමා කරපු වැදගත් වැඩක්” නවීන් දිසානායක කතාවට මුල පිරීය.

‘‘මේ ආණ්ඩුව යටතේ ඉදිකරපු ලොකුම ව්‍යාපෘතිය ඔය අධිවේගයයි. අපට අන්තිමට පෙන්නන්න තියෙන්නෙත් ඒක විතරයි” වෛද්‍ය කාවින්ද ජයවර්ධන කී දේ සියලුදෙනා අනුමත කළහ.

“මම මල් පූජා කරන්න දළදා මාලිගාවට ගියාම මහනාහිමිවරු ඇහුවා කෝ මහත්තයෝ නුවර අධිවේගය කියලා. තවත් සමහරු කෝචොක් කරන්නත් පාර ගැන ඇහුවා. මේ අවුරුද්ද අන්තිමට විවෘත කරන පාර බලන්න යමු කියල මම මහනාහිමිවරුන්ට යෝජනා කළා. පහුගිය සඳුදා නුවර හාමුදුරුවරු සියයක් විතර වැඩම කරවලා පාර පෙන්නුවා. නිකාය හතරෙම අනුනාහිමිවරු පාර බලලා හරි සතුටු වුණා.

මහනාහිමිවරුන්ට විස්තර වාර්තා කරනවා කියලත් කිව්වා. පාරෙ මේ කොටස තව මාස කීපෙකින් විවෘත වුණාම පස්යාලෙ ඉඳලා මීරිගමට ගිහින් ඊට පස්සෙ කුරුණෑගල හරහා මහනුවරට යන්න හොඳ පාරක් ලැබෙනවා. නුවර මිනිස්සුන්ට පැය එකහමාරකට වඩා ඉතිරි වේවි. කඩවත ඉඳලා මීරිගම දක්වා කොටසත් ලබන අවුරුද්දේ විවෘත කරන්න පුළුවන්. මේක මගේ හීනයක්. ඕනම ආණ්ඩුවක් කන්ද උඩරට ජනතාවට ලබාදීපු ලොකුම තෑග්ග මේ අධිවේගයයි” ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ ඉතා හැඟුම්බරවය.