විශේෂාංග

කියවන මුද්දර සාහිත්‍යය | දැනුම බෙදන – නුවණ ගෙනෙන

* ලංකාවට මුද්දර සාහිත්‍යය හඳුන්වා දුන්නේ ලංකාදීපයේ ඩී.බී. ධනපාල

* සංඝ විරෝධයෙන් තහනම් වූ මුද්දරයක්

* තරුණ බෞද්ධ මූලස්ථානය හැදුවේ මුද්දරයක් වෙන්දේසි කරලා

* ලංකාවේ මුද්දරවල Sri Lanka නාමය Shri ලංකා වූ යුගයක්

* අවුරුදු 60ක් වික්ටෝරියා රැජන ළමිස්සියක් කළ මුද්දරය

ඒ කොළඹ කොඩි ගහ ඉදිරිපිට සිංහල පත්තර කොම්පැනියක් පටන් ගත් යුගයකි. මේ සිංහල පත්තරය පටන් ගන්නේ එංගලන්තයේ ටයිම්ස් කොම්පැනිය පටන් ගෙන මාස ගණනකට පසුවය. සිලෝන් එකේ පටන්ගත් සුද්දන්ගේ ටයිම්ස් කොම්පැනිය මුදලට ගන්නේ සංගරුපිල්ලේය. මේ කොම්පැනියෙන් පටන්ගත් අලුත් සිංහල පත්තරේ නම ‘ලංකාදීප’ නම් විය. පත්තරේ ආරම්භ කර්තෘවරයා වූයේ ජූලියස් ද ලැනරෝල් වුවත් ජීවනාලිය වූයේ ඩී.බී. ධනපාලය.

ධනපාල දිනක් තම පීකොක් සිගරැට්ටුව විනාඩියට අඟලක් පිච්චෙන වේගයෙන් උරමින් සිටියේ කඳානේ සිටින පුද්ගලයකු තමන් කළ ආරාධනයට එනතුරුය. කියූ වේලාවටම එම පුද්ගලයා ධනපාල මහතාගේ කාමරයට ඇතුළු වූයේ බාබර් සාප්පු දොර විවර කරමිනි. මේ පැමිණි පුද්ගලයා නමින් ෆ්‍රැන්සිස් පී. ගුණසේකර නම් විය.

‘‘අයිසෙ ෆ්‍රැන්සිස් මං කියෙව්වා තමුසෙ කරපු පිනිබිඳු නත්තල් සඟරාව. එක්සලන්ට් දැන් ෆ්‍රැන්සිස් ලංකාවේ මුල්ම මුද්දර එකතු කිරීමේ සංගමයක් පටන් අරන් තියෙනවනේ. හෙට අනින්දට ලංකාවට නිදහස හම්බෙනවා. අපි අලුතින් පටන්ගමු. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මුද්දර තිබෙන සාහිත්‍යයක්. මුලින්ම අපි මේ වෙනකම් නිකුත් වෙච්ච මුද්දර ගැන ලිපියකින් ෆීචර් එක පටන් ගමු.

මේ සිදුවීමට වසර 72ක් පිරෙන්නේ ලබන ඔක්තෝබර් 27 වැනිදාටය. ලංකාදීපය පටන් ගන්නේ 1947 දීය. මුද්දර සාහිත්‍යයේ විචිත්‍රත්වය ලංකාවට හඳුන්වා දීමට සවිමත් අඩිතාලමක් දැම්මේ ඩී.බී.ධනපාල සූරීන්ය. ධනපාලයන්ගේ ඇරයුමින් මෙරට මුද්දර සාහිත්‍යය රසවත් කළ ලේඛකයා ෆ්‍රැන්සිස් පී. ගුණසේකරයන්ය.

මුද්දර සාහිත්‍යය වර්තමානයේ පොදු ජනතාවට සමීප කරන්නට දැඩි කැපවීමක් කරන තරුණයකු පසුගියදා ‘අරුණ’ සොයා ආවේය. ඔහු නිරෝෂණ පීරිස්ය. ඔහු මෙම ‘කියවන මුද්දර’ නමින් මුද්දර සාහිත්‍යය මෙරට ප්‍රචලිත කරන්නට ගන්නා උත්සාහය දුටු විට අපට පෙනී ගියේ එය මෙරට මුද්දර කාර්යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී කළ යුතු ජාතික කර්තව්‍යයක් නොවේද කියාය.

මම ඉගෙන ගත්තේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ. ධර්මන් වික්‍රමරත්න මහත්මයාගේ ජනමාධ්‍යවේදී සංගමේ මම ඉන්නකොට අපි ගියා ලංකාවේ දියඇලිවල සුන්දරත්වය ගැන හොයන්න. එහෙම ගිහින් අපි පිටු 382ක පොතක් ලංකාවේ දියඇළි ගැන කළා. මට ඊළඟට දැනගන්න ලැබුණා දියලුම දියඇල්ල ගැන මීමන ප්‍රේමතිලක මහත්තය ලියලා දියඇලි සාහිත්‍යයක් ආරම්භ කරල තියෙනවා කියලා. මටත් ඕන වුණා දියඇලි සාහිත්‍යය වගේ මුද්දර සාහිත්‍යයත් හදාරන්න. මම ගිහින් මුද්දර කාර්යාංශයට මේ ගැන කරුණු හොයන්න පටන් ගත්තා.

ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කොට ඇත්තේ මීට වසර 162කට පෙර 1857 අප්‍රේල් 01 වැනිදාය. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය මුද්දරය හඳුන්වා ඇත්තේ මෙසේය. ‘‘තෑපෑලෙන් ලියුම් යැවීමේදී ලියුම් වැස්මේ පිට දකුණු පැත්තේ උඩ කෙළවර ඇලවිය යුතු ආණ්ඩුවට මුදල් ගෙවා ගනු ලබන මුද්‍රිත කඩදාසි කැබැල්ල’’ මුදුංගා සංස්කෘත වදන මුද්‍රාව ලෙස පාලි බසටද ‘‘මුද්දර’’ ලෙස සිංහල බසටද එක්වූ බව කියැවේ.

නිරෝෂණ කියන පරිදි ලොව පළමු තැපැල් මුද්දරය නිකුත් කිරී‍මේ ගෞරවය ලබාගැනීමට සමත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයි. ඒ වසර 1840 මැයි 06 වැනිදාය. එම මුද්දර 12ක තීරුවක් අලෙවි කොට ඇත්තේ සිලිමකටය. මේ මුද්දර කතුරෙන් කපා වෙන් කරගත යුතු විය. වසර අටක් යන තුරුත් දැන් භාවිතයේ දකින සිදුරු සහිතව වෙන් කර ගත හැකි මුද්දර දක්නට තිබී නැත. මේ සිදුරු නොහොත් විදමන් (Perforation) සහිත මුද්දර ලොව වෙළෙඳපොළට නිකුත් වන්නේ 1848දීය. මුල් කාලයේ බ්‍රිතාන්‍යයේ නිකුත් වූ මුද්දරවල රටක් සඳහන් නොවන්නේ එවකට ලොව මුද්දර නිකුත් කළ එකම රට බ්‍රිතාන්‍යය වීම නිසාය. එහෙත් වෙනත් රටවලත් ඉන්පසු මුද්දර නිකුත් කරන්නට පටන් ගත් විට එම රටවල් වෙන් වෙන්ව හඳුනා ගැනීමට රටේ නම සඳහන් කිරීම අවශ්‍ය විය. එහෙත් තවදුරටත් රටේ නම නොමැතිව මුද්දර නිකුත් කිරීමේ බලය බ්‍රිතාන්‍යයට පමණක් හිමිව තිබෙන්නේ ප්‍රථම තැපැල් මුද්දරය ලොවට හඳුන්වා දීමට ගෞරවයක් ලෙසිනි.

ලංකාවේ මුද්දර සාහිත්‍යය හැදෑරීමේදී පෙනී යන්නේ මෙරට ප්‍රථම සමරු මුද්දර එකතුව නිකුත් වී ඇත්තේ මීට වසර 84කට පෙර 1935දීය. පසුගිය අරුණ කලාපයක අප ලංකාවේ සමරු නෝට්ටු ගැන සමරු කාසි ගැන ලිපි දෙකක් පළ කළෙමු. එමෙන්ම සමරු මුද්දරයක් නිකුත් කරන්නේද කිසියම් සිදුවීමක් සංවත්සරයක් පුද්ගලයෙක් හෝ වැදගත් ස්ථානයක් සැමරීමට හෝ ඇගයීමටය. එක් වතාවක් පමණක් මුද්‍රණය කරන මේ මුද්දර නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයක් බැවින් මේ ඉපැරණි මුද්දර ඉතා දුර්ලභය. 1935 මැයි 06 දා නිකුත් වී ඇති ලංකාවේ ප්‍රථම සමරු මුද්දර නිකුත් කොට ඇත්තේ 5 වැනි ජෝර්ජ් රජුගේ පදවි ප්‍රාප්තියේ රිදී ජුබිලිය වෙනුවෙනි. ඒ වෙනුවෙන් නිකුත් කළ මුද්දර හතර ශත 6, 9,20 සහ ශත 50 වටිනාකමින් යුතු විය.

මුද්දර සාහිත්‍යය කියවන විට අපූරු රසවත් සිදුවීම්ද සොයා ගත හැකි විය. එහි වසර 64ක් තරුණියකව සිටි මහේෂිකාවක් ගැන මුද්දර ඇසුරෙන් කියවිය හැක්කේ බ්‍රිතාන්‍යයෙනි. වික්ටෝරියා රැජනට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන්නේ වයස 18දීය. ඒ 1837 වසරයි. 1840 මැයි 06 වැනිදා බ්‍රිතාන්‍යයේ දී ලොව පළමු මුද්දරය නිකුත් වන්නේ එතුමියගේ පාලන සමයේදීය. එහි සිතුවම් වී ඇත්තේ 18 හැවිරිදි ළමිස්සියක වූ වික්ටෝරියා රැජනගේ රුවයි. එතුමිය ජන්මාන්තරගත වී ඇත්තේ 1901 ජනවාරි 21 වැනිදාය. ඒ වන විට ඇගේ වයස 82කි. ආශිර්වාදය පතා එවකට ‘සිලෝන්’ එකේ විවිධ පළාත්වල දේව මෙහෙයයන් පවත්වා ඇති බව නිරෝෂණ පීරිස්ගේ මුද්දරය එදා අද සහ හෙට කෘතියේ සඳහන්ය. වර්ෂ 1840 සිට 1900 දක්වා වසර හැටක් ඇගේ රුවින් යුතු මුද්දරය නිකුත් වී ඇති අතර ඇය ජීවිතාන්තය දක්වාම මුද්දරය තුළ ජීවත් වී ඇත්තේ මහේෂිකාවකට වඩා ළමිස්සියක් ලෙසය.

ලංකාවේ මුද්දර රජු ලෙස හැඳින්වෙන්නේ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාය. කොළඹ රාජකීය විද්‍යාලය මෙන්ම කේම්බ්‍රිජ් එංගලන්තයේ විශ්ව විද්‍යාලයේ දී නීතිය උගත් එතුමාගේ සමකාලීනයින් වන්නේ ශ්‍රී ජවහර්ලාල් නේරු මෙන්ම ලේක් හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධනයන්ය. ආසියාවේ එවකට ‘රෝල්ස් රොයිට්’ වර්ගයේ රථයක් හිමි වූ කලාපයේ එකම ධනවතා වූයේ ශ්‍රීමත් අර්නස්ට්ය. සර් අර්නස්ට්ගේ මුද්දර එකතුව දෙවැනි වී ඇත්තේ 5 වැනි ජෝර්ජ් රජුගේ මුද්දර එකතුවට පමණි. මුද්දර ආශ්‍රයෙන්ම උගෙන ඇති ඉතිහාස තොරතුරු අනුව කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් මූලස්ථාන ගොඩනැගිල්ලට මුදල් පරිත්‍යාග කොට ඇත්තේ ශ්‍රීමත් අර්නස්ට්ය. එතුමන් ළඟ තිබූ ඉතා දුර්ලභ මුරුසි (Mavritivs) මුද්දරයක් වෙන්දේසි කිරීමෙන් මෙම මුදල සොයාගෙන තිබුණි.

කියවන මුද්දර සංකල්පය දැනුම නව මානයකට රැගෙන යන්නකි. මේ ඉතිහාසය සොයායෑමේදී මුද්‍රණය කළද නිකුත් නොකළ මුද්දරයක් ද ඇත. මේ මුද්දරය නිකුත් කිරීමට නියමිතව තිබී ඇත්තේ 1968 දෙසැම්බර් 19 වැනිදාය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සමරු ජයන්ති සැමරුමට මුද්දර 2ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබී ඇති අතර ඉන් ශ්‍රී පද්ම ලාංඡනය සහිත මුද්දරයට මේ ඉරණම අත් වී ඇත. ඊට හේතු වී ඇත්තේ එම මුද්දරය බුද්ධ වර්ෂ අනුව සඳහන් නොවීම, මුද්දරයට කෙළ ගෑම, සීල් ගැසීම මගින් බුදු හිමියන්ට අගෞරවයක් වීමද නිසා සංඝරත්නයෙන් එල්ල වූ විරෝධය මෙම මුද්දරය නිකුත් නොකිරීමට හේතු වී ඇත. මෙම මුද්දරය විකිණීම තහනම් කොට ඇත්තේ එවකට තැපැල් ඇමැති මොන්ටේගු ජයවික්‍රම විසිනි.

මේ මුද්දර කියවන විට රටේ නාමය කලක් වෙනස් වී තිබී ඇති අයුරුද දැක ගත හැකි විය. 72 ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව (Sri Lanka) බිහිවිය. නමුත් ඊට වසර 20කට පසු එය ඉංග්‍රීසියෙන් Shri Lanka බවට පත්විය. 1992 ජුනි 14 වැනිදා අනුබුදු මිහිඳු ජයන්ති සමරුවට නිකුත් කළ මුද්දරවල ශ්‍රී ලංකා නාමය ඉංග්‍රීසියෙන් Shri Lanka බවට වෙනසකට භාජනය කොට ඇත. 1993 දෙසැම්බර් 17 දින දක්වා මුද්දරවල මේ ලිඛිත භාෂාමය වෙනස අත්විඳිය හැකිය.

කියවන මුද්දර සාහිත්‍යයේ දැන් නිම්වළලු පුළුල් වී ඇති අයුරු නිරෝෂණ පීරිස් පෙන්වා දෙන්නේ මෙසේය.

‘‘අපි හිතමු අපි සීගිරිය ගැන මුද්දරයක් ගැන අධ්‍යයනය කරනවා කියලා. ඒ මුද්දරෙන් අපිට සීගිරිය ගැන සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරපු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහත්තයාගේ මුද්දරේට යන්න පුළුවන්. ඊළඟට සෙනරත් පරණවිතාන සූරීන්ගේ මුද්දරේට අපට යන්න පුළුවන් සීගියේ කුරුටු ගී ගැන විශේෂ පර්යේෂණයක් කළේ එතුමා නිසා ඊළඟට අපට ආනන්ද කුමාරස්සාමි සහ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුද්දර අධ්‍යයනය කළ හැක්කේ ඔවුන් දෙදෙනාම සීගිරි ලළනාවන් ගැන මත ප්‍රකාශ කළ නිසාය.

මෙසේ සීගිරිය මුද්දර ආශ්‍රයෙන් කියවීමේදී එම මාතෘකාව විශාල පරාසයක් කරා මුද්දර මගින්ම ඉදිරියට ගෙන යා හැකියි. මෙහිදී ගොනු කර ගත හැකි තොරතුරු ප්‍රමාණය ​අතික්‍රමණය කරමින් ඒ ගැන ලියවී ඇති ග්‍රන්ථ වෙතද යොමු විය හැකිය. මෙයින් මුද්දරවලට අනුගත ලේඛන සාහිත්‍යයක්ද, බිහිවනු නියතය. මුද්දර සාහිත්‍යයක් ගොඩනැගීම තුළින් මුද්දර එකතු කිරීම වැනි අන්තර්ජාතිකව ජනප්‍රියම විනෝදාංශයකට ජනතාවගේ ආකර්ෂණය හිමි වනු ඇත්තේ නිතැතිනි. එය මෙරට බාල, තරුණ, මහලු, කාගේත් අධ්‍යාපන සංවර්ධනයට මහෝපකාරී වනු නියතය.

වජිර ලියනගේ