brand logo

කැළෑ සතුන්ට කොරෝනා පරීක්ෂණ කරන්නේ මෙහෙමයි

05 July 2021

කොරෝනා ආ මුල් කාලයේ පීසීආර් කිරීමට ඇතැම්හු මැළි වූයේ රිදෙන බව කියමිනි. අපට රිදුනත් එය ඉවසා වදාරන්නට සිද්ධ වන්නේ දොස්තරලා නර්ස්ලා එය කරන්නේ අපේ හොඳට බැවිනි. ඒත් පීසීආර්, ඇන්ටිජන් කරන්නේ තමන්ගේ හොඳට බව කැලේ සතුන් දන්නවාද? මිනිස්සු වාගේ සත්තු පීසීආර්, ඇන්ටිජන් කරන විට ඉවසාගෙන සිටීදැයි කතාබහක් ආවේ සතුන්ටත් කොරෝනා පරීක්ෂණ කරන්නට පටන් ගත් විටය. මේ කතාබහ ඇති වුණේ දෙහිවල සත්තුවත්තේ තෝර් නමැති සිංහයාට පීසීආර් පරීක්ෂණය කළ පසුවය. ඔහුට එවැනි පරීක්ෂණයක් කළේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමත් සමගය. ලංකාවේ මුලින්ම කොරෝනා වැලඳුණු කකුල් හතරේ සතා ලෙස තෝර් හඳුනා ගන්නේ මේ පරීක්ෂණයත් සමගය. සතුන්ටත් කොරෝනා බව හෙළිවීමෙන් පසු ලංකාව පුරා සිටින සතුන්ටත් පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කෙරෙන බව පැවසුණේය. හැබැයි එය මිනිසුන්ගෙන් පීසීආර් හෝ ඇන්ටිජන් කරන ආකාරයෙන් කරන්න පුළුවන් වැඩක් නොවේ. [caption id="attachment_155233" align="alignnone" width="1200"] කොරෝනා වැළඳුනු ලංකාවේ මුල්ම සතා[/caption]

ඇත්තටම ලංකාවේ සත්තුන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට පීසීආර් හෝ ඇන්ටිජන් කළ යුතුද?

පශු වෛද්‍ය සංගමය නියෝජනය කරමින් පශු වෛද්‍ය සුහද ජයවර්ධන කීවේ ලෝක සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට අත්‍යවශ්‍ය කාරණාවකට හැර කැලෑ සතුන්ගේ ඇන්ටිජන් පරීක්ෂණ කරන්නේ නැති බවය. ඊට හේතුව උපකරණවල හිඟතාවයයි. පොහොසත් රටවල්වලට සතුන්ටත් ඇන්ටිජන් කරන්නට පහසුකම් තිබුණත් දුප්පත් රටවල ජීවත්වන මිනිසුන්ටත් කොරෝනා පරීක්ෂණ කරන්නට උපකරණ බොහෝ හිඟය. උපකරණ හිඟ වුවත් සතෙකුගේ කොරෝනා පරීක්ෂා කළ යුතු නම් එය කිරීමට සිද්ධ වන්නේය.
‘‘සතෙකුට කොරෝනා වැලඳී ඇද්දැයි පරීක්ෂා කර බැලීමක් කළයුතුවන අත්‍යවශ්‍ය කාරණයකදී සතාගේ ගුද මාර්ගයෙන් තමයි එම සාම්පල ගැනීම කරන්නේ.’’ පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියන්නේය. මළ සතකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය අවස්ථාවකදී බොහෝ විට සාම්පල ගන්නේ ශ්වසන මාර්ගයෙනි. ඒ සතා මියගිය බැවින් ඔහුට ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමට බැරි නිසාය.
හීලෑ එසේ නැතිනම් හුරතල් සතුනුත් එහෙමය. අන් බොහෝ විට සිය ස්වාමියා සමග සිටින විට එකවරම චන්ඩ නොවන්නේය. එබැවින් උන්ගේ කොරෝනා පරීක්ෂා කරන්නට අවශ්‍ය වන තත්ත්වයකදී ඒ සතාගේ ශ්වසන මාර්ගයෙන් සාම්පල ගැනීම කළ හැකිය. නමුත්, වන සතෙකුගේ හෝ හීලෑ නැති සතකුගේ ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමට අවශ්‍යවන අවස්ථාවකදී එසේ කරන්නට බැරිය. කොටියා කොටියාමය. ඌ සතපහකටවත් විශ්වාස කරන්නට බැරිය. එවැනි අවස්ථාවකදී පශු වෛද්‍යවරු කරන්නේ උපක්‍රමශීලී, තාක්ෂණික ක්‍රමයකට, සතාව කුඩුවට යොමු කර ගැනීමය. කොටි, වඳුරු, රිලව් වැනි සතෙක් නම් ඌ ප්‍රිය කරන ආහාරයක් කූඩුව ඇතුළත තබා එය ගැනීමට සත්ත්වයා එන අවස්ථාවේ ඌ කූඩුකර ගනී. කුරුල්ලන් වැනි සතුන් එසේ කොටුකර ගැනීමට අවශ්‍ය වූ විටක ඔවුනුත් ප්‍රියකරන ධාන්‍ය වැනි දෙයක් දමන්නේය. කුරුල්ලන් එය කන විට ඔවුන්ට ඉහළින් දැලක් දමා අල්ලා ගනී. අදාළ සත්ත්වයා කූඩුව තුළට දමාගත් පසුව සත්ත්වයාගේ ගුද මාර්ගයෙන් පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම කළ හැකිය. මිනිස්සුන්ට පීසීආර් කරන විට, නාසය තුළට දැමීමට භාවිත කරන කූර සතාගේ දිග අනුව සතාගේ ගුද මර්ගය තුළට දමා අසූචි සාම්පල ගනී. එසේ ගන්නා සාම්පලය වෙනත් අසූචි හෝ අපද්‍රව්‍ය සමග මිශ්‍ර නොවන ආකාරයට පරීක්ෂණ නළයක් ඇතුළට දමා එය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂාගාරයට යැවේ.

සත්තු අල්ලන්නට විශේෂයෙන් සකස් කළ යකඩ කූඩු වර්ගයක් තිබේ. එම කූඩුව ඇතුළට ගිය විට සතාට ආපසු හැරෙන්නට බැරිය. එම කූඩු හැඳින්වෙන් Squeez Cage යනුවෙනි.

කෙසේ නමුදු පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියන්නේ සතුන්ට රැපිට් ඇන්ටිජන් කිරීම සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගන්නේ නැති බවය. ඔහු කියන ආකාරයට හොඳම ක්‍රමය පීසීආර්ය. ඒ සඳහා රුධිරය, කෙළ, සෙම, අසූචි ගන්නේ දැයි තීරණය වන්නේ සතාගේ ස්වරූපය අනුවය. පසුගිය දිනක මෙරට පළමු වරට කොරෝනා වැලඳුණු සතා බවට තහවුරු කළ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට එම පීසීආර් පරීක්ෂණය පැවැත් වූ කණ්ඩායමේ ප්‍රධානී පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ආචාර්ය ඩිලාන් ඒ සතරසිංහය. [caption id="" align="aligncenter" width="768"] ආචාර්ය ඩිලාන් සතරසිංහ පිසිආර් කරමින්[/caption]

ඔහු පවසන පරිදි ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තා කරන ආකාරයට වැඩිම අවධානම ඇති සත්ත්ව කොට්ඨාසය ලෙස දැනුම් දී ඇත්තේ වානර පැලැන්තියට අයත් චිම්පන්සීන්, ඔරංඔටං, රිළවුන්, වඳුරන් වැනි සත්තුන්ටය.

ඒ අතර කොරෝනා රෝගය වැලඳුණු කොටියා, සිංහයා වැනි බිළාල කුලයේ විශාල සතුන් වාර්තා වී ඇති අතර ඒ නිසා මේ වගේ කුල කිහිපයකට අයත් සතුන්ට මෙය වැලඳීමේ අවදානමක් තිබෙන්නේය. එසේම සතුන්ට කොරෝනා වැලඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට සිදු කරන්නා වූ පීසීආර් පරීක්ෂණවල හා මිනිසුන්ට පීසීආර් කිරීමේදී භාවිත කරණ ක්‍රමයේ වෙනසක් ඇත්තේය. RNA සහ DNA හඳුනා ගැනීමේදී මිනිසුන්ගේ සහ සතුන්ගේ ජාන ආකෘති දෙකක් වීම ඊට හේතු වෙයි. ඒ නිසා ආචාර්ය ඩිලාන් සතරසිංහ ප්‍රකාශ කරන්නේ, මනුෂ්‍යයන්ගේ පීසීආර් කිරීම සඳහා භාවිත කරන්නා වූ කට්ටල සතුන්ගේ පීසීආර් කිරීම සඳහා උචිත යැයි මොනම ආයතනයකින් හෝ වලංගුකරණයට ලක් කර නොමැති බවය. කෙසේ නමුදු බල්ලෝ, බළලුන් සේම ධනවත්තු අලිත් ඇති කරති. එබැවින් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ඇසුවේ අලින්ට කොරෝනා හැදෙන්නේ නැත්දැයි කියාය. ඔහු කියන්නේ සිංහයාට, කොටියාට සාපේක්ෂව අලියාට රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රවණතාව වැඩි බවය. ඒ කතා කෙසේ වෙතත් මෙවර මහනුවර ඇසළ පෙරහරට යන්නට සිටි අලි වැඩි පරිස්සමට මෙවර ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ගත්තේය. ඒ යටතේ පෙරහරට යන සියල්ලම පීසීආර්. කරන්නේ ඒ අයගෙන් අලින්ට කොරෝනා බෝ වීම වැළැක්වීමටය. එසේ සතුන්ගෙන් මිනිසුන්ට කොරෝනා බෝවීමේ අවදානමක් පවතින්නේද යන්න පිළිබඳ වැඩිදුර කළ විමසීමකදී, මහාචාර්ය අසෝක දංගොල්ල කියා සිටියේ සතකුගෙන් මිනිසකුට කොරෝනා බෝ වූ තත්ත්වයක් පිළිබඳ දත්ත දැනට වාර්තා නොවන බවය. අනූපමා ගල්කඩවල
 

More News..