විශේෂාංග

කැසට් ගහලා රාජාලියෙක් වුණු සමන්

ඔබට ගුවන්විදුලියේ රැකියාව අතහැර ව්‍යාපාරිකයෙක් වෙන්න හිතෙනවා. ඇයි ඒ?

මම ගුවන්විදුලියට එක්වුණේ සිතාර් වාදකයෙක් හැටියට. ඒ 1978 අවුරුද්දේ. අපට ගෙව්වේ දවස් පඩි. වැඩසටහනක් කළොත් රුපියල් හතයි ශත පනහයි ලැබුණේ. ඒක දවසකට එක වැඩසටහනක් වගේ තමයි ලැබෙන්නේ. ඉතින් ඔය මුදල ජීවත් වෙන්නත් මදි. අනාගතේ ගැනත් ඒ වෙනකොට සිහින ගොඩයි. මම කල්පනා කළා මට කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන. ඒ දවස්වල කැසට්පට ව්‍යාපාරය දියුණු වෙමින් පැවති කාලේ. හරිගියා හරි, වැරදුනා හරි මටත් හිතුනා කැසට් එකක් කරන්න. අතේ සල්ලිත් නැතුව ඒ වගේ වැඩකට අතගහනවා කියන එක ඒ කාලේ ගින්දරට පනිනවා වගේ වැඩක්.

කොහොමද ඉතිං කැසට් වැඩේට මුල පුරන්නේ?

ගීතය, සංගීතය ඇඟේ තිබුණු නිසාම, මම කල්පනා කළා ණයවෙලා හරි කැසට් පටයක් නිෂ්පාදනය කරනවා කියලා. මම ගුවන්විදුලියේ හිටපු මිත්‍රයෙක්ගෙන් රුපියල් විසිපන්දාහක් ණයට ගත්තා. දැන් සියලු වියදම්වලට තියෙන්නේ එම මුදල විතරයි. සංගීත කණ්ඩායම් ශිල්පීන්ව මම හඳුනනවා. ඒ වගේම ටී. එම්. ජයරත්න තමයි මම තෝරාගත් ගායකයා. ඔහු මගේ මිත්‍රයා. මම ඔහු හමුවෙලා කිව්වා මම මෙහෙම වැඩක් කරනවා, හැබැයි සල්ලි දෙන්න වෙන්නේ පස්සේ කියලා. ඒකට කැමැතිද කියලා ඇහුවාම ඔහු කැමැති වුණා.

ඒ කාලේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය තරමක් ජනප්‍රියයි. ඇය තරුණ සේවා සභාවට ඒ දිනවල සම්බන්ධයි. ඇයත් රුපියල් තුන්දහසක් වගේ මුදලකට මගේ ‘‘යොවුන් සිහින’’ කැසට්පටයට ගී ගයන්න කැමැති වුණා. සින්දු ටික ලියා ගත්තෙත් පස්සේ සල්ලි දෙන්නම් කියලයි. ප්‍රියානන්ද විජේසුන්දර මහත්තය තමයි සින්දු ටික ලිව්වේ. ඔය විදිහට තමයි මගේ මුල්ම කැසට් එක කළේ. එහි ගී තනු සියල්ලම නිර්මාණය කළේ මම. නිෂ්පාදකත් මම. චන්ද්‍රලේඛා මහත්මිය ගායනා කරපු මේ උයන්කොනේ ගීතයත්, මේ පාළු සීත රාත්‍රියේ කියන ගීතයත් ඒ දවස්වල අතිශයින් ජනප්‍රිය වුණා.

එහෙමනම් ‘යොවුන් සිහින’ කැසට් එක හොඳට අලෙවි වෙන්න ඇති? කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ
කැසට් එක කළාට පස්සේ, ඊළඟ අභියෝගය වුණේ රෙකෝඩ් බාර්වලට දාන එක. එතකොට මෝටර් සයිකලේ විතරයි තිබුණේ. කැසට් එකේ පිටපත් අරන්, ගෝලයවත් බයික් එකේ තියාගෙන රට වටේම ගියා. ඒ විදියට තමයි කැසට් එක විකුණගන්න මුල් කාලේ දුක් වින්දේ. කොහොම හරි වැඩේ සාර්ථක වුණා. කැසට්පට දස දහසකට වඩා අලෙවි වුණා. පළමු වටයේ රුපියල් ලක්ෂයකට වඩා මුදලක් අතට ආවා. ඒ මුදලින් ගත්තු ණය වගේම වාදක මණ්ඩලයේ, ගීත ලියපු ප්‍රියානන්ද විජේසුන්දර මහත්තයාගේ, ටී. එම්ගේ මුදල් බේරුවා. සමහරු පුදුම වුණා මං ඒ අයව හොයාගෙන ගිහින් ණය බේරද්දී. ඒත් මම මගේ පොරොන්දුව ඉටු කළා.

ඔබ ඊළඟ පියවර ගැන හිතන්නේ ඔය අතරේ?

කැසට් ව්‍යාපාරයෙන් අතමිට සරුවෙන්න ගත්තට පස්සේ, මම කල්පනා කළා ඒ වැඩේ තව ටිකක් පුළුල් කරන්න. ස්වර්ණ සංඛ රෙකෝඩ්බාර් ඇතිවෙන්නේ ඒ අනුව. කැසට් පිටපත් කරන යන්ත්‍රයක් සිංගප්පූරුවෙන් ගෙනාවා. එම්. එස්. ප්‍රනාන්දුගේ වගේම රුක්මණී දේවි ගායනා කළ ගීත, ඇයගේ සහෝදරිය ලවා ගායනා කර කැසට් එකක් කළා. එයත් ජනප්‍රිය වුණා. ඔය අතරේ කැසට් ලේබල් ගහන්න 1986 දී මුද්‍රණාලයක් දාන්න අදහස් කළා. නාවල මේ බිල්ඩිම තියෙන ඉඩම ගත්තෙත් ඔය කාලේ. එතකොට මෙය තට්ටු ගොඩනැගිල්ලක් නෙවෙයි. යට තට්ටුව යාන්තමට හදලා සමනල ග්‍රැෆික් කියලා නම දැම්මා. විවිධ මුද්‍රණ කටයුතු අපි එහි කළා. පුවත්පත් කීපයක්ම මුද්‍රණය කළා. ‘තිනමුරුසු’ කියන ද්‍රවිඩ පත්තරේ සතියකට පිටපත් එක්ලක්ෂ දෙදහසක් මුද්‍රණය කළා. මෙය එල්ටීටීඊයට විරුද්ධ පුවත්පතක්. එය ලෝකේ පුරාම විකිණුනා. ‘රාජාලියා’ ‘ලක්මිණ’ වගේ පත්තරත් කළා. ඔය අතරේ දේශපාලන පෝස්ටර් මුද්‍රණය කළා. ඒ හින්දාම භයානක අත්දැකීම් ගොඩකටත් මුහුණ දුන්නා.

භයානක අත්දැකීම් කිව්වේ?

මුද්‍රණාලයක් හැටියට අපට දේශපාලන පක්ෂ භේදයක් තිබුණේ නෑ. ඒත් 2000 අවුරුද්දේ අපේ මුද්‍රණාලයට ගිනි තිබ්බා. එතකොට චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව තිබුණේ. එජාපයේ පෝස්ටර් මුද්‍රණය කළා කියලා තමයි මුද්‍රණාලය ගිනිබත් කළේ. ඒ වෙලාවේ මැෂින් ඔක්කෝම ගිනිබත් වුණා. ගොඩනගාගෙන ආපු ව්‍යාපාරය එතැනදී කඩාගෙන වැටුණා. ආයතනය රක්ෂණ කරලා තිබුණට ද්වේශ සහගත ගිනිතැබීම්වලට රක්ෂණ ආවරණය ලැබුණේ නැහැ. ඒත් කොහොම හරි ආයෙමත් අපි නැගිට්ටා.

යළි ව්‍යාපාරය දියුණු කරගන්න අර දේශපාලන පක්ෂයේ උදව් ලැබුණද?

අපි මුදලට පෝස්ටර් මුද්‍රණය කළා විතරයි. විපක්ෂයේ ඉන්නකොට හොඳ දේශපාලන පක්ෂ ආණ්ඩුවකට ගිය ගමන් වෙනස් ගමනක් යන්නේ. කියන දේ කරන්නේ නෑ. ඒ නිසා දේශපාලන පක්ෂ එක්ක ආශ්‍රය දුරින් තිබුණේ. ප්‍රේමදාස මහත්තයගේ කාලේ ලලිත්, ගාමිණී දෙදෙනා පක්ෂය කඩාගෙන ගියා. ඔවුන් පසුව ‘රාජාලියා’ කියන පත්තරයක් කළා. එහි පිටු දෙකක් මුද්‍රණය කළේ අපේ මුද්‍රණාලයේ. ඒ ඇරෙන්න මගේ ඔවුන් සමග වෙන සම්බන්ධයක් තිබුණේ නෑ. ඒත් හිටි ගමන් මට හතරවැනි තට්ටුවට එන්න කිව්වා. ඒ දවස්වල හැටියට හතර වැනි තට්ටුවට එන්න කිව්වම පණ බයයි. මම හතර වෙනි තට්ටුවට ගියා. මගෙන් ප්‍රශ්න කළා. ඒත් මට ලොකු ප්‍රශ්නයක් ආවේ නෑ. ඔය වගේ ප්‍රශ්න දිගින් දිගටම ආවා. අද මම මුද්‍රණ කටයුතු කරන්නේ නෑ.

කොහොම වුණත් තිබුණු අභියෝග මැඬගෙන මුද්‍රණ ක ටයිල් ආනයනය අතරත් ඔබ ප්‍රමුඛයෙක්? ර්මාන්තයේ උපරිමයකට එන්න මට පුළුවන් වුණා. ඒ වෙනකොට ස්වර්ණ ෆිනෑන්ස් ආයතනය (1996) පිහිටුවලා තිබුණේ. ව්‍යාපාර කරන අයට වගේම ඉගෙන ගන්න අයට ඕන කරන මූල්‍ය අවශ්‍යතා අඩු පොලිය යටතේ අප විසින් ලබා දෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත්ව සරසවි අධ්‍යාපනය ලැබීමට නොහැකි අයට පිටරට අධ්‍යාපනය ලබන්න අපෙන් ණය ලබාගත හැකියි. එහි පොලී අනුපාතය 2.5% යි.

ටයිල් ආනයනය අතරත් ඔබ ප්‍රමුඛයෙක්?

ඔව්. ටයිල් වගේම වායු සමීකරණ ගෙන්වනවා. ඒ වගේම අපි නාවල ප්‍රදේශයේ ටයිල් ආනයනය කරන ව්‍යාපාරිකයන්ට ණය පහසුකම් වගේම ගබඩා පහසුකම් සලසනවා. විශ්වසනීයව වගේම සාධාරණ මිලට පාරිභෝගිකයාට අවශ්‍යතා ඉටුකරදීම අපේ අරමුණයි.

ඔබේ ව්‍යාපාර ගමන් මග දිහා ආපසු හැරිලා බලද්දී ඔබට මොනවද හිතෙන්නේ?

මෙම ව්‍යාපාර අරඹලා දැන් වසර තිස් එකක්. රුපියල් විසිපන්දහසක් ණයට අරන් වැඩේ පටන් ගත්තේ. අද මට නාවල ප්‍රදේශයේම ව්‍යාපාරික ගොඩනැගිලි හයක් තියෙනවා. අද මගේ වත්කම් බිලියන දෙකකට වැඩියි. ඒ සියල්ල බදු ගෙවා උපයාගත් වත්කම්. මම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගියහම කියන්නේ මම 80% ක් බදු ගෙවන කෙනෙක්. ඊට වඩා කරදර කරන්න එපා කියලයි. අපි බැංකුවලට ණය නෑ. අපෙන් ණය ගන්න බැංකු කතා කරනවා.

අද කලාවට ඔබේ සම්බන්ධයක් නැද්ද?

ගී තනු නිර්මාණයට අදටත් කැමැතියි. ව්‍යාපාරිකයෙක් වුණත් කලාව එක්කයි මගේ ගමන පටන් ගත්තේ. මට මතකයි ඒ කාලේ අමරදේව මාස්ටර් කිව්ව කතාවක්. ඒ සරස්වතියි, ලක්ෂ්මියි එකගෙයි තිබ්බ එකම මිනිහා උඹ කියලා.

ඒ සරස්වතියගේ වරමට අදටත් මම කැමැතියි. මම ගුවන්විදුලියට එක්වුණේ 1978 අවුරුද්දේ. 1981 ඉන් ඉවත් වුණේ. ඒ කාලේ මං තනු නිර්මාණය කළ ගී අතර එඩ්වඩ් ජයකොඩි ගයන ජාතියේ උදාර පැතුම්, අමරා රණතුංග ගයන ස්වර්ණමාලි සෑ කිරණයි, ටී. එම්. ජයරත්නගේ විහාරයෙන් එන නාමල් සුවඳින් යන ගී මගේ තනු නිර්මාණයන් කීපයක්.

ඔබේ බිරිඳ, දරුවන් ගැනත් කියමු?

මගේ බිරිඳත් මෙම ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකාවක්. ලොකු පුතා ව්‍යාපාරිකයෙක්. පොඩි පුතා ඔස්ට්‍රේලියාවේ පදිංචියි.

දීපා වසන්ති එදිරිසිංහ