විශේෂාංග

කැලේ ලස්සන ඡායාරූපයට ගන්න නාවික හමුදා දොස්තර

මා මේ කතා කරන්නට යන්නේ මොහොතකට පෙර මා දුටු විශිෂ්ට වනජීවී සේයාරූ එකතුවක මැවුම්කරුවා පිළිබඳවයි. අන්තර්ජාතිකව කීර්තියට හා සම්මානයට පාත්‍ර වූ මෙරට සිටින මුල් පෙළේ වනජීවී ඡායාරූප ශිල්පියකු වන ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියකු නොව නාවික හමුදාවේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායකය. නාවික හමුදාවේ 35 වසරක කීර්තිමත් සේවා කාලයෙන් ඔහු ඉසිඹු ලන්නේ ඉකුත් වසරේදීය. එහෙත් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ඔහු තවමත් කාර්යබහුලය.

වෛද්‍යවරයකු ලෙස ස්ටෙතස්කෝපය දරමින්ම කැමරාව අතට ගත් තැන් පටන් වනජීවී ඡායාරූපකරණය ගැන ඔහුගේම අත්දැකීම් හා වනජීවී ඡායාරූපකරණයේ කලාව ගැනත් ඔහු කී කතාවයි මේ.
කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනගනිමින් සිටි අවදියේම ලලිත් ඒකනායක ස්ටෙතස්කෝපයට සේම කැමරාවටද ඇලුම් කළේ ය. ඒ නිසාම ඔහු රීල් කැමරාවක් මිලට ගත්තේ රුපියල් 1300 ක් වැනි මුදලකටය.
‘‘මම කැමරාව අරගෙන මුල් කාලයේ ගත්තේ අපේ යාළුවන්ගේ පින්තූර. ඒ වගේම විශ්ව විද්‍යාලයේ උත්සව අවස්ථා, චාරිකා වගේ විශේෂ අවස්ථාත් ඡායාරූපගත කළා.
මම කලාවට නැඹුරු වෙන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නා කාලයේ පටන්මයි. මම චිත්‍ර ඇන්දා. නාට්‍යවල රඟපෑවා, කලා සංගම්වල හිටියා. ක්‍රීඩාත් කළා.
වෛද්‍ය ශිෂ්‍යයකුව සිටියදීම, 1982 වසරේ දී ලලිත් නාවික හමුදාවට බැඳුණේය. ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ වෛද්‍ය ශිෂ්‍යයකු හමුදාවට බැඳුණු පළමු අවස්ථාව එය විය. වෛද්‍ය උපාධිය අවසන් කළ ඔහු වෛද්‍යවරයකු ලෙස සේවයට එක්වන්නේද නාවික හමුදාවටය.

යුද සමයේදී ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි කළා. ඔය අතර ඡායාරූපකරණයෙත් යෙදුණා. වනජීවී ඡායාරූපකරණයට ඒ දවස්වල යොමු වුණේ නෑ. ඒ ප්‍රදේශවල ඊට අවශ්‍ය පහසුකම් තිබුණෙත් නෑ. හැබැයි මං ඡායාරූපකරණය අතහැරියෙත් නෑ. මම ඡායාරූපකරණය පැත්තට යොමු වුණේ වෛද්‍යවරයෙක් හැටියට මගේ කාර්යබහුලත්වයත් එක්ක. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා මට ඔස්ට්‍රේලියාවට යාමට සිදු වුණා. ඒ අතරතුරත් හොඳටම ඡායාරූපකරණයේ යෙදුණා. හැබැයි වනජීවී ඡායාරූපකරණය නෙවෙයි. ඔස්ට්‍රේලියාව කියන්නේ මහද්වීපයක්. විශාල භූමි ප්‍රදේශයක් අයිතියි. මගේ බිරිඳ සහ දරුවනුත් සමග එහි සිටි කාලයේ මම හුඟාක් සංචාරය කළා. පින්තූර ගන්න ලොකු හැකියාවක් ලැබුණා. දකින දේ ඡායාරූප කරමින් ටිකෙන් ටික මා ඊට නැඹුරු වුණා.

වෛද්‍ය ලලිත් ඒකනායක මුලින්ම වනජීවී ඡායාරූපකරණයට යොමු වන්නේ වසර 2000 දී පමණ ආපසු ලංකාවට පැමිණීමත් සමගය. ඒ ඇරඹුම යාල වනෝද්‍යානයෙනි. කැමරාවේ පරිණාමයත් සමග මේ අවදියේදී ඔහු රීල් කැමරාවෙන් ඩිජිටල් කැමරාවට මාරු විය. යාලෙන් පටන්ගෙන ලංකාව පුරා වනෝද්‍යානවල සංචාරය කළේ ය. දෙසතියකට වරක්වත් යාලට යාම ඔහුගේ පුරුද්දක් වී තිබිණි.
‘‘මෙහෙම ගන්න ඡායාරූප මම තරගවලටත් යැව්වා. මුලදී ඒවාට ජයග්‍රහණ ලැබුණේ නෑ. කොටින්ම තේරුණේවත් නෑ. හැබැයි මම අධෛර්යමත් වුණේ නෑ. මොකද, මගේ පළමු පරමාර්ථය තරගවලින් දිනීම නෙවෙයි. වින්දනයක් ලැබීම. කලක් ගතවන විට මගේ ඡායාරූපවල යම් වර්ධනයක් ඇති වුණා. ටිකෙන් ටික ජයග්‍රහණත් ලැබෙන්න පටන් ගත්තා.

මම ඡායාරූපකරණය හැදෑරුවේ මා විසින්මයි. විෂයක් හැටියට කොතැනකවත් එය හදාරා නෑ. විදේශීය තරගවලින් ජයග්‍රහණ කරන ඡායාරූප මම බොහෝ විට අධ්‍යයනය කළා. ඒවායෙන් යමක් ඉගෙන ගත්තා. මේ පින්තූරය මම ගත්තා නම් කොහොමද කියලා සංසන්දනය කරලා බැලුවා. සාමාන්‍යයෙන් මම ජීවිතයේ අවදානම ගන්න කැමැති කෙනෙක්. අනෙක් අයටත් එහෙම කරන්න කියලා මම කියන්නේ නෑ. ඒත් මම විශ්වාස කරන්නේ සාර්ථකත්වයක් ලබන්න නම් යම් අවදානමක් ගන්න වෙනවා කියලා.

බොහෝ අවස්ථාවලදී ඔහුගේ ක්‍රමය සාර්ථක විය. වැරදුණු අවස්ථා ද විය. යමක් ග්‍රහණය කරගත් පසු අත් නොහරින ස්වභාවය හමුදා සේවයෙන් ඔහුට ලැබුණු දෙයක් විය යුතුය. ඒ ඔස්සේම ඉදිරියට යාමේ හැකියාව ඔහුට තිබිණි.
‘‘විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට පසුව මගේ ආර්ථික තත්ත්වයත් දියුණු වුණා. කැමරාවේ පරිණාමයත් එක්ක මම ඊළඟ කැමරාව ගත්තා. ඒ එක්කම ලෝකයේ සෑම තැනම සංචාරය කරන්න පටන් ගත්තා. ඒ විදියට හැම අවුරුද්දෙම සංචාරය කරලා මේ වනකොට රටවල් තිහ හතළිහක විතර අත්දැකීම් ලබලා ඇති. මේ කාලය වෙද්දී මම අන්තර්ජාතික ඡායාරූප තරගවලට යොමු කළ ඡායාරූපවලට ත්‍යාග සම්මාන ලැබෙන්න පටන් ගත්තා. ඊට පසුව දිගටම ඒවා මා පසුපස ආවා. තවමත් මම තරගවලට ඡායාරූප යවනවා. සමහර ඒවා ජයග්‍රහණය කරනවා. ඇතැම් විට දිනන්නේ නෑ. ඒත් මට ඒක ප්‍රශ්නයකුත් නෙවෙයි. මොකද තරගවලින් දිනීම මගේ මූලික අරමුණ නෙවෙයි.
ඡායාරූපකරණයෙන් ඔහු ලබන්නේ විශාල වින්දනයකි. එහි නියැළෙමින් අලුත් දේ නිර්මාණය කර ගැනීමටද ඔහු දක්ෂය.

‘‘මම වෑයම් කරන්නේ මටම ආවේණික ශෛලියක් ගොඩනගා ගන්න. හොඳ ඡායාරූප ශිල්පියෙක් තමන්ට අවශ්‍ය වට්ටෝරුව තමන්ම සාදාගත යුතුයි. සල්ලි තියෙනවා නම්, කැමරා ඕනෑම අයකුට මිලට ගන්න පුළුවන්. ඒකෙන් අදහස් වන්නේ නෑ ඔහු ඡායාරූප ශිල්පියෙක් කියලා. කැමරාව අරගෙන තමන්ට අවශ්‍ය විදිහට මෙවලම් තනාගත යුතුයි. කැමරාවට තමන් හසුරුවන්න දෙනවා වෙනුවට තමන් කැමරාව හැසිරවිය යුතුයි.’’
වනජීවී ඡායාරූපකරණය යනු ඡායාරූප ශිල්පයේම එක් ශාඛාවකි. එසේ වුවද, එය සපුරා වෙනස්ය. වනජීවී ඡායාරූප ශිල්පියාට අදාළව පරිසරය පාලනය කළ නොහැකිය. අදාළ ආලෝකය, කාලගුණය, සතුන්ගේ හැසිරීම් වැනි කිසිම දෙයක් පාලනය කිරීමට හැකියාවක් ඇත්තේ නැත.

‘‘ඒ කියන්නේ 50% ක් අපේ පාලනයෙන් පිට. ඊළඟට අප සිටින තැනිනුත් එහාට මෙහාට වෙන්නවත් බෑ. ඒ කියන්නේ තවත් 25%-30% ක් අපේ පාලනයෙන් පිට. එතකොට අපට තියෙන්නේ කැමරාව සහ කාච පමණයි.
හැබැයි, ඒ ටිකෙන් අපට විශාල දෙයක් කරන්න පුළුවන්. ඒක හරියට ශිල්පියෙක් සායම් ගා පින්සලෙන් චිත්‍රයක් මවනවා වගේ. ඡායාරූප ශිල්පියාත්, කැමරාවයි, කාචවලිනුයි රූපයට සිතුවමක් ඇඳීම කරන්නේ. එකම අමුද්‍රව්‍ය යොදාගෙන දෙන්නෙක් හදන වෑංජනයක රස වෙනස්. එකම තැනක එකම දේ ඡායාරූපකරණය ගත කළත් අපිට වෙනස් විදිහට ඒක කරන්න පුළුවන් නම් එය තමයි සාර්ථකත්වය. කෙනෙක්ගේ ඡායාරූපවල යම් වෙනසක් තියෙනවා නම් එය තියෙන්නේ එ් තැන.’’

ඇසින් දකින දේ ඒ අයුරින්ම වාර්තා කිරීම ඵලක් නොවේ. වර්තමානයේදී බොහෝ දෙනෙකු අත ස්මාර්ට් දුරකථන ඇති අතර ඔවුහු ඒවායින් ඡායාරූප ද ගනිති. එවැනි ඡායාරූප රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය.
‘‘ඡායාරූපයට නගන්නේ අපි දකින දේම නම් ඒත් නිර්මාණාත්මක දෙයක් වෙන්නේ නෑ. වනජීවී ඡායාරූප ශිල්පියා තමන් සිටින පරිසරයේ ස්වභාවික වර්ණ, ආලෝකය, සෙවණැලි, අහස, සත්ත්වයාගේ ඉරියව් ආදී සියල්ල ග්‍රහණය කරගෙන කැමරාවෙන් ඡායාරූපය සිතුවම් කළ යුතුයි. ඔහුට බාහිර පරිසරයෙන් යමක් අමුතුවෙන් එතැනට යෙදීමේ හැකියාවක් නෑ.
කලාතුරකින් ෆ්ලෑෂ් එකක් පාවිච්චි කරන්න ලැබීම විතරයි අමතරව ලැබෙන්නේ. මේ කාර්යය කිරීමට නම් විශාල කැපවීමක් අවශ්‍යයි. ඒ වගේම සතුන් හා පරිසරය ගැන යම් හැදෑරීමකුත් වුවමනායි.’’
පරිසරයට හානි නොකිරීමද මෙහිදී අදාළ වන ප්‍රධාන කොන්දේසියකි. ඡායාරූප ශිල්පියා සිය ඇතුළාන්තයෙන්ම පරිසරයට ආදරය කරන්නකු විය යුතුය. එය ඉතා වැදගත් කාරණයකි.

‘‘අපි සමහර වනෝද්‍යානවල සංචාරය කරද්දී ගන්න අවදානම පසුව කල්පනා කරද්දී සිතා ගන්නත් බෑ. සමහර අවස්ථාවල කිසියම් සතකුගෙන් අපට සුළු හෝ හානියක් නොවුණේ කොහොමද කියලා අදටත් සිතාගන්න බෑ. අඩුම තරමින් කැලේට යද්දී මම ළඟ බ්ලේඩ් එකක්වත් නෑ. මුළුමනින්ම නිරායුධව යන්නේ. ඒත් කවදාවත් කිසිම හානියක් වෙලා නෑ. මට සෑම විටම හිතෙන්නේ අපි කැලෑවට වන සතුන්ට දක්වන ආදරය, සෙනෙහස මේ සතුන්ටත් දැනෙනවා ඇති කියලා. නැත්නම්, ඇතැම් අවස්ථාවල අලි පවා අඩි 2-3 ක් දුරින් ඇඟේ ගෑවී නොගෑවී ගිහින් තියෙනවා. ඒත් කිසිම හානියක් වෙලා නෑ’’
කිසිදු අවස්ථාවක අනවශ්‍ය ලෙස සතුන්ට ළංවිය යුතු යැයි ඉන් අදහස් නොකෙරේ. අවශ්‍ය දුර, පරතරය තබාගත යුතුය. එසේ වුවද, ඇතැම් අවස්ථාවලදී ඡායාරූප ශිල්පියා අසලින්ම වනසතුන් ගමන් ගන්නා අවස්ථා තිබේ. එවැනි අවස්ථාවල හානියක් නොවන්නේ ඔහු සිය හදවතින්ම පරිසරයට, සතා සීපාවට, ගහකොළට ආදරය කරන නිසා විය යුතුය. වෛද්‍ය ලලිත් ඒකනායකට මේ ගැන ඇත්තේ දැඩි විශ්වාසයකි.

‘‘වනජීවී ඡායාරූපකරණයේදී මගේ ආදර්ශ පාඨයත් අපේ ආසාවට වඩා සත්ත්වයාගේ හරි සතුන්ගේ හරි සුබසාධනය වැදගත් බවයි. යම් සතකු හෝ පරිසරයට විනාශයක් වෙන්න දීලා, පින්තූර ගත්තට ඒවායින් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ දේවල් වැඩිකල් පවතින්නෙත් නෑ. පරිසරයේ ඇති දෙයක් කලාත්මකව ඡායාරූපයට නගලා ඒ සේයාරුව ඒ පරිසරය සංරක්ෂණය කර ගැනීම සඳහා මෙවලමක් කරගත හැකි නම් එය ඉතාමත් හොඳ දෙයක්. මේ අරමුණ පෙරදැරිව මං කෘතීන් 2 කුත් එළිදැක්වූවා. ඒ 2010 දී සහ 2013 දී. ඊට සමගාමීව ප්‍රදර්ශනයකුත් කළා. අපි අපට කළ හැකි දේ කරන්න වෑයම් කරනවා. ඒත් කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ඒ පණිවුඩය හරියට ග්‍රහණය කරගන්න බවක් පෙනෙන්නේ නෑ කියලා.’’
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකය පුරා වනජීවීන්ගේ ඉරණම අයහපත් අතට හැරෙමින් තිබේ. බොහෝ රටවල නීතිරීති දැඩිකර වන සතුන් සංරක්ෂණයට පියවර ගෙන ඇත.
‘‘අපේ තත්ත්වය හරිම කනගාටුදායකයි. ඔය නිසාම ලංකාවේ වනෝද්‍යානවල සංචාරය කිරීමත් මම හුඟක් අඩුකරලා තියෙනවා. යාලට දැන් වසර තුනකින් විතර ගිහින් නෑ. ඉස්සර සති 2 කට වතාවත් වගේ ගිය ගමනක්. වාහන තුන්හාරසීයක් හැමදාම ඇතුළට යද්දී යාල වගේ තැනක මම කොහොමද ඡායාරූප ගන්නේ? ඒ නිසා මම කරන්නේ වසරකට දෙතුන් වතාවක් පිටරටකට ගිහින් සැනසිල්ලේ ඡායාරූපකරණයේ යෙදෙන එක. අපරාදෙ කියලා හිතෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. හරිම කනගාටුදායකයි.’’

ආරම්භයේ දී ඇසින් දකින දේ එලෙසින්ම ඡායාරූපයට නැගුවද ක්‍රම ක්‍රමයෙන් ඔහු කලාත්මක ඡායාරූපකරණයට යොමු විය. වෛද්‍ය ලලිත් ඒකනායක බොහෝ විට වෑයම් කරන්නේ එකවරම ඇස නොදකින දේ ඡායාරූපයකින් පෙන්වීමටය. ඒ වෑයම සාර්ථක වී ඇති අයුරු දක්නට තිබේ.
‘‘මන්නාරමේදී 2011 දී ගත් කුරුළුපැටියා සහ පසුබිම කුරුළු රංචුවක් පියාඹා යන ඡායාරූපයට තවමත් සම්මාන ලැබෙනවා. ඒ ඡායාරූපය වාසනාවට ගත් පින්තූරයක් නෙවෙයි. හුඟක් සැලසුම්සහගතව ගත්ත පින්තූරයක්. ඒ වගේ පින්තූරයක් ඊට කලින් මම කිසිම තැනක දැකලත් නෑ. මේ පින්තූරය ගන්න කලින් එය මාගේ සිතේ ඇඳුණා, මැවිලා පෙනුණා. එසේ මවාගත් දර්ශනය තමයි මම ඡායාරූපයට නැගුවේ.’’
එය ගෙදරට වී කළ හැක්කක් නොවේ. ඡායාරූපගත කරන පරිසරයේ සිටම සිදු කළ යුත්තකි. සති ගණනක් එකතැන ගත කිරීමේ හැකියාවද ඡායාරූප ශිල්පියාට ලැබෙන්නේ නැත. තමන් සතුව ඇති සම්පත්වලින් මනසේ සටහන් වූ සිතුවම සේයාරුවට නැගීම ලලිත්ගේ ක්‍රමවේදයයි.

‘‘කැමරාව අැටෙව්වාම සතෙක් ඒකට හුරු වෙන්නත් දවස් කීපයක් ගත වෙනවා. ඉවසීමෙන් ඉඳලා අවශ්‍ය අවස්ථාව ඡායාරූපයට නගන්න ඕන. මන්නාරම වගේ ගස්කොළන් අඩු පරිසරයක ඒක පහසු කටයුත්තක් නොවෙයි. ඒ කියන්නේ ඔබ දකින සේයාරුව දින කිහිපයක වෑයමක ප්‍රතිඵල. මේ වගේ පින්තූරයක් තරගයකදී විනිශ්චය කරනකොට ඒ විනිශ්චයකරුවන් හොඳින්ම දන්නවා මේක වාසනාවට ගත්ත පින්තූරයක් නෙවෙයි කියලා. මේක කැපවීමෙන්, හොඳින් සිතාමතා ගත් පින්තූරයක් කියලා ඔවුන් දන්නවා. වාසනාවට ගන්න පින්තූර තියෙනවා, ඒක වෙනම කතාන්තරයක්.’’

ශ්‍රී ලංකාවේ නැගී එන දක්ෂ තරුණ ඡායාරූප ශිල්පීන් සිටී. වෛද්‍ය ලලිත් ඒකනායක ඔවුන්ට ලබාදෙන උපදෙස හරි තැන, හරි වේලාවට සාම්ප්‍රදායික මානයෙන් ඔබ්බට ගමන් කරන ලෙසයි. තමන් එකවරම නොදකින දේ මතුකර ගැනීමට වෑයම් කරන ලෙසය. කොටින්ම සාමාන්‍ය දෙයකින් අසාමාන්‍ය දෙයක් මතුකර ගැනීමට උත්සාහ දරන්න යනු ඔහුගේ ඉල්ලීමය.
‘‘යාලදී මම ගත්ත අලි බෙටි මත වසා සිටින සමනලුන්ගේ ඡායාරූපය ඒ විදියට වෙනස් ඇසකින් බැලීමක්. යාල වගේ තැන්වල මේ සතුන් යටකරගෙන වාහන යන්නේ අලි, කොටි වළසුන් බලන්න. මේ වගේ පින්තූරයක් ගන්න කවුරුත් හිතන්නේ නෑ. ඒත් මේ පින්තූරය ගියාට පස්සේ දැන් සමාජ මාධ්‍යවල මෙවැනි පින්තූර මම දකිනවා. ඒක හුඟක් හොඳයි. මගේ ඡායාරූපය කොපි කරලා හරි කමක් නෑ, ඒ වගේ පින්තූර ගන්න. ජයග්‍රහණය ලබපු ඡායාරූප මම සමාජ මාධ්‍යවලට යොමු කරන්නෙත් ඒ නිසා.’’

ඔහුගේ තවත් සුවිශේෂ ඡායාරූපයක් නම් මාළුවකු ආහාරයට ගන්නා උකුස්සකු උගේ පිටුපසින් ඡායාරූපයට නැගූ අවස්ථාවය. මෙහිදී ඔහු කර ඇත්තේ තවත් කිහිප දෙනකුම උකුස්සාගේ ඉදිරිපසින් ඡායාරූපය ගනිද්දී පිටුපසින් ඌ කැමරාවේ සටහන් කර ගැනීමය. එය නිර්මාණාත්මක ඇසකින් බැලීමකි. මේ නිසා ඒ ඡායාරූපය අනෙක්වාට වඩා සපුරා වෙනස්ය.
‘‘තෙවැනි ඇසින් දකින්න. ඒ කියන්නේ මොළය පාවිච්චි කිරීම. තෙවැනි ඇසින් බලලා තමන්ට ආවේණික ශෛලියක් මතුකර ගැනීම තමයි කලාව. එකම ගීතය වුණත් විවිධ ගායකයන් ගයද්දී වෙනස්. මේ අතරින් එක් අයකුට අපි වඩාත් කැමැති වෙන්නේ, ඒ ගායනය වෙනස් නිසා. ඡායාරූප ශිල්පයත් ඒ වගේ. සම්පත් එකම දේවල් වෙන්න පුළුවන්. ඒත් පොඩි වෙනසක් හරි කරන්න බලන්න කියන පණිවුඩය තමයි තරුණ ඡායාරූප ශිල්පීන්ට දෙන්න තියෙන්නේ.
ඡායාරූපකරණයේදී මංගල ඡායාරූපකරණය, භූදර්ශන ඡායාරූපකරණය ආදී ඡායාරූප ශිල්පියාට පාලනය කළ හැකි බොහෝ අංශ තිබේ. එසේ වුවද වනජීවී ඡායාරූපකරණයේ දී ඒ හැකියාව අවමය.

‘‘ඒත් තමන්ගේ පරිකල්පනය අවදි කළොත් ගන්න ඕන ඡායාරූපය ගැන ඒ පරිසරයේදීම මනසේ සටහනක් ඇඳ ගන්න පුළුවන්. එතකොට අපි ඡායාරූපයට නගන්නේ ඒ අපි මවාගත් දේ. හැම වෙලාවෙම හරියන්නේ නැති වෙයි. ඒත් අපට අවදානම ගන්න වෙනවා. එහෙම නොකළොත් කවදාවත් අපි ඒ පින්තූරය ගන්නේ නෑ. හුඟක් දෙනා හිතන්නේ කැලේදී සතෙකු දැක්කාම කැමරා කාච යොදා ඉන්න ගියොත්, ඒ ඡායාරූපය අපට මගහැරේවි කියලා. ඉතින්, ඒ දර්ශනය එහෙම ම ඡායාරූපගත කරනවා. ඒත් මම නම් අවදානම ගන්නවා. එතැනදී සමහර විට මට ඒ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒත් මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ. අතයි, ඇහැයි, මොළයයි හරියටම එකට වැඩ කළොත් අපේ අරමුණ සාර්ථකයි. ඒ හුරුව ඇතිකරගන්න ඕනේ. එසේ නැතිව අභ්‍යාසයෙන් තොරව මේක කරන්න අමාරුයි. තමන්ට වැරදුණු තැන අවබෝධ කරගෙන නැවත ඒ වරද නොකරන්න පාඩම ඉගෙන ගන්න ඕන. මේක වෙන කාටවත් කරන්න බෑ. තමන්මයි කරන්න ඕන. මේ හැදෑරීමේ කෙළවරක් නෑ. මම දැන් සියල්ල හදාරලා ඉවරයි කියලා කවදාවත් කියන්න බෑ. මම තවම ඉගෙන ගන්නවා. මම දන්න දේ අනෙක් අයටත් කියලා දෙනවා. ඒ දේ අනෙක් අය දන්නවා වෙන්න පුළුවන්. සමහර විට මටත් වඩා හොඳින් දන්නවා වෙන්න පුළුවන්. ඒත් මම ඒ අත්දැකීම් බෙදා ගන්නවා. තවමත් ඉගෙන ගන්නවා. එසේ කිරීමෙන් වින්දනයක් ලබනවා. වනජීවී ඡායාරූපකරණයේදී මම භාවිත කරන ශිල්පීය ක්‍රම හුඟක් වෙලාවට මම ම නිර්මාණය කරගත් ඒවා. කොහේවත් පොතපතක ඒවා මට හමුවෙලා නෑ. මේ නිසා සමහර ඡායාරූප තරගවලදී මගේ පින්තූර අහකට යනවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට හොඳට තේරෙනවා මේ ඡායාරූප ඒවායේ ජූරියට අහුවෙලාම නෑ කියලා. ඔවුන් කියවලාම නෑ කියලා. ඒකට මට කරන්න දේකුත් නෑ.’’

එවැනි ඡායාරූප දකින වෙනත් ඡායාරූප ශිල්පීන් කියන්නේ ඒ තියෙන්නම ඕන ඡායාරූප බවය. එහෙත් ඔහු ඒ ගැන පසුතැවෙන්නේ නැත.
‘‘මම මේකෙන් වින්දනයක් ලබන්නෙ. ඒ වගේම ඡායාරූපකරණයේ යෙදීමෙන් මගේ මොළයට යම් උත්තේජනයකුත් ලැබෙනවා. එසේ නැතිව මගේ වෘත්තියේම දිගටම යෙදුණොත් ඒ උත්තේජනය ලැබෙන්නේ නෑ.
කැමරාව වැදගත්. ඒත් වඩාත්ම වැදගත් වෙන්නේ කැමරාව පිටුපස සිටින කෙනා. ඡායාරූප ශිල්පියා. ඔහු තමාගේ මොළය යොදවන්නේ කොහොමද කියන දේ තමයි විශිෂ්ට ඡායාරූපයක් අපි දකින්නේ. ඒකට කැපවීමත් එකතුවිය යුතුයි. විනෝදාස්වාදය සඳහා කළත් මම මේක වෘත්තීය මට්ටමට හා සමානව නියැළෙනවා. වෙන රටවල වගේ අපේ රටවල වනජීවී ඡායාරූපකරණයෙන් මුදල් ඉපැයීම දුෂ්කරයි. එහෙම වුණොත් වෘත්තීය මට්ටම හා සමානව කැපවීමක් අපි කරනවා. හොඳ ශාරීරික යෝග්‍යතාවක් දරා ගැනීමේ හැකියාවකුත් මේ සඳහා අවශ්‍යයි. මේ ඇතැම් ඡායාරූප ගන්නේ සෙල්සියස් අංශක ඍණ 10, ඍණ 7 -8 වගේ තත්ත්ව යටතේ. පහසු නෑ. ඒත් ඒ කායික, මානසික කැපවීම අවශ්‍යයි. සැපම බලාගෙන නම් වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන්න පුළුවන්කමක් නෑ. උදෑසන 5 ට අවදිවෙලා, කැලේට ගියාම සවස 5-6 ට ආපසු එන්නේ. මේ පින්තූර අතර තියෙන කිඹුලා ගොදුරක් ගිලීම පින්තූරය ගන්න මම පැය 4 ක් විතර එකම තැන හිටියා. කොපමණ දුෂ්කර වුණත් ඒ කැපවීම ඉවසීම තිබිය යුතුමයි. අවදානම ගත යුතුයි. වෙනත් ඕනෑම දේකට වගේ වාසනාවත් ටිකක් එකතු වුණාම අපේ වෑයම සාර්ථකයි. මේ දේවල් සමග කලාවත් ඇඟේ ඇත්නම් ඕනෑම අයකුට මේක කළ හැකියි.’’

අප කල්පනා කරන්නේ ඔහුගේ ඡායාරූප මෙන්ම ඔහුද කියැවිය යුතු බවය. විශේෂයෙන් ඒ කියැවීම වනජීවී ඡායාරූපකරණයේ පමණක් නොව ඡායාරූප ශිල්පයේ යෙදන නව පරපුරට මහඟු ප්‍රයෝජනයක් අත්කර දෙනු නිසැකය.

ධම්මික සෙනෙවිරත්න