කතුවැකි

කැලේ මාරු වුණාට කැලෑ පාළුවාගේ පුල්ලි මාරු වී නැත

තිස්සමහරාම, කිරින්ද, අඳගලවැල්ල ප්‍රදේශයේ අක්කර තිහක පමණ කඩොලාන රක්ෂිතයක් විනාශ කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් පුවතක් අද අප පුවත්පතේ මුල් පිටුවේ පුවතක් ලෙස වාර්තා කර තිබේ. විල්පත්තු අභය භූමිය සීමාවේ පිහිටි වනාතවිල්ලුවේ අක්කර සියයක පමණ කැලෑවක් කිසියම් පිරිසක් විසින් එළිකොට ඇතැයි ඊයේ වාර්තා වී තිබිණ. මීට ටික දිනකට පෙර ආනවිලුන්දාව ප්‍රදේශයේ රැම්සා තෙත්බිමක් හෙළි පෙහෙළි කර ඇතැයිද වාර්තා වී තිබිණ. මේ අතර හන්තානේ අඩි තුන්දහසට ඉහළ කොටසේ එනසාල් වගා කිරීමට දරන උත්සාහයක් වාර්තා වීමත් සමග මධ්‍යම පරිසර අධිකාරිය එය වැළැක්වීමට පියවර ගත් පුවතක්ද පසුගිය දිනවල අපි වාර්තා කළෙමු.

මෙම සිද්ධීන් වාර්තාවන විට අපට හැඟෙන්නේ කැලය මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවන්නේ යැයි කියන කියමනය. රටේ පාලනය වෙනස් වුවත් කැලෑ පාළුවන්ගේ චර්යාවේ වෙනසක් සිදු වී නොමැති බව පෙනී යන නිසාය. කෙසේ වුවත් වෙනදාට වඩා කිසියම් වෙනසක්ද තිබේ. මේ කියන සියලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබීමය. එසේ වුවත් ඒ ගැන සපුරා සතුටුවිය නොහැක්කේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී මෙන්ම වන සංහාරයේ දීද තෝරුන්, මෝරුන් වෙනුවට හාල්මැස්සන් පමණක් අසුවීම නිසාය.

පුත්තලම ආනවිලුන්දාව හා වනාතවිල්ලුව පරිසර විනාශය පිටුපස මෙන්ම කිරින්ද, අඳගලවැල්ල කඩොලාන විනාශය පිටුපසද ප්‍රාදේශීය දේශපාලනඥයන් සිටින බවට වාර්තා වී තිබේ. එහෙත් එවන් කිසිවකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවක් දකින්නට නැත. වරදකරු වීම කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් පවා සිදු නොවීම ජනතා සැකයට හේතුවන කාරණයකි.

පරිසරය විනාශ කිරීමේ අනිටු ප්‍රතිඵල මෙනවාදැයි යළි යළිත් නොකිව යුතු තරමට මේ රටේ කවුරුත් දන්නා කාරණාය. තවමත් විසඳුමක් පෙනෙන්නටවත් නැති අලි – මිනිස් ගැටුමේ මුල ඇත්තේ පරිසර විනාශය බව නොදන්නේ කවුද? අලි – මිනිස් ගැටුම නිසා වසරකට ජීවිත අහිමිවන අලින් මෙන්ම මිනිසුන්ගේ ප්‍රමාණය ඉතා විශාලය. පුත්තලම යනු අලි – මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශයකි. අක්කර සියයක පමණ කැලෑවක වටිනා ගස් කපා දමා ඇත්තේ එලෙස අලින්ගේ ගැටුම් බහුල පුත්තලම වනාතවිල්ලුවේය.

තිස්සමහරාම, කිරින්ද, අඳගලවැල්ල ප්‍රදේශය සුනාමි ව්‍යසනයෙන් පසු කඩොලාන වගා කළ යුතු යැයි හඳුනාගත් ප්‍රදේශයකි. එහි තිබෙන කඩොලාන පරිසරයද විනාශ කිරීමට කවුරුන් හෝ කටයුතු කර ඇත්තේ එසේ තිබියදීය.

මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීමෙන් පෙනී යන්නේ අප තවමත් පරිසරය රැක ගැනීම සඳහා නිසි අවධානයක් යොමු කර නැති බවය. ඒ අනුව හෙට දිනයේ තවත් කොතැනක හෝ වන රක්ෂිතයක්, කඩොලාන පරිසරයක් විනාශ කිරීමේ පුවතක් වාර්තා කිරීමට අපට සිදුවනු ඇත. මෙවැනි සිද්ධීන් වැළැක්වීමට නම් වැරදිකරුවන්ව අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් නියම කළ යුතු යැයි කිව හැකිය. නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති පැනවීම වුවද කළ හැකි යැයි යෝජනා කළ හැකිය.

එහෙත් එසේ වූ පමණින් පරිසරයට සිදු කළ හානිය පියවිය නොහැකිය. දඬුවම් දෙන විට කැලයක් විනාශ කොට අවසන් බැවිනි. කඩොලාන පරිසරයක් වර්ධනය වීමට කොතරම් කලක් ගත වන්නේද? වනාතවිල්ලුවේ හෙළි පෙහෙළි කොට ඇති වනය යළි පැවති තත්ත්වයට පත් කරන්නට කොතරම් කලක් ගතවනු ඇත්ද? ඇතැම් විටෙක වසර පනහක් හැටක් සියයක් වුවත් විය හැකිය. එතරම් කාලයක් ගත වූ පසුවත් ස්වාභාවික වනාන්තරයක් තිබූ ආකාරයටම යළි වර්ධනය වනු ඇතැයි සහතික විය හැකිද?

මේ නිසා පරිසරය විනාශ කරන්නන්ට දඬුවම් දෙන අතරේම පරිසර විනාශයන් වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගත යුතුය. චීනයේ පරිසරය විශේෂයෙන්ම වනාන්තර ආරක්ෂා කිරීම සඳහා මහජන සහභාගිත්වය ලබා ගන්නා ආකාරය අද අප පත්‍රයේ චීන විස්තරය තීරු ලිපියෙන් විස්තර කර ඇත. ඒ ක්‍රමය එලෙසින්ම අනුගමනය කළ යුතු යැයි අපි නොකියමු. එහෙත් කුමන හෝ ආකාරයකින් වනාන්තර ඇතුළුව පරිසරය රැක ගැනීම සඳහා මහජන සහභාගිත්වය ලබා ගන්නා ක්‍රමයක් ගැන සලකා බැලීම වැදගත් වනු ඇත.

පරිසරය රැක ගැනීම සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට අප කරන ලොකුම දේ නම් පැළ සිටුවන්නැයි ඉල්ලා සිටීමය. දන්නා කාලයේ සිට සෑම වසරකම පරිසර දිනයට පමණක් රටපුරා ක්‍රියාත්මක වූ පැළ සිටුවීමේ ව්‍යාපාරය පමණක් සාර්ථක වූයේ නම් මේ වන විට සමස්ත ශ්‍රී ලංකාවම සිංහරාජය වැනි මහා ගණ වනාන්තරයක් වී තිබිය යුතුය.

අනෙක් අතරට පරිසරය රැක ගැනීම වෙනුවෙන් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයෙන්ම කොතරම් නම් මුදල් කන්දරාවක් වියදම් කර තිබේද? මෙතෙර පමණක් නොව එතෙර සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු කොතෙකුත් පවත්වා ඇත්ද? මේ කුමන දේ කළත් මහා වනාන්තර විනාශය වළක්වා ගැනීම පමණක් නොව මහ පාරේ ටොෆී කොළ, දැමීම වැනි සුළු දෙයක් පවා වළක්වා ගැනීමට අපට තවමත් නොහැකි වී තිබේ.

එසේ වන්නේ ඇයිදැයි දැන්වත් අප කල්පනා කළ යුතුය. ඇතැමකු කියන්නේ අපද සිංගප්පූරුව මෙන් මෙවන් වැරදි සඳහා දැඩි නීති ක්‍රියාත්මක කළ යුතු බවය. හැම දෙයකටම නීති පැනවීමද එක් ක්‍රමයකි. එසේ නීති පනවන්නේ නම් ඒ නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවටද වග බලාගත යුතුය. එහෙත් අප කල්පනා කරන්නේ පරිසරයට සිදුවන හානි සම්බන්ධයෙන් මොනතරම් බරපතළ දඬුවමක් නියම කළද ඉන් එම හානිය ප්‍රතිපූර්ණය කළ නොහැකි බවය. මේ නිසා අප දැන් කල්පනා කළ යුත්තේ වැරැද්දට දඬුවම් දීමට වඩා වැරැද්ද වළක්වා ගන්නේ කෙසේද යන්න ගැනය.