විශේෂාංග

කැලෑ මහත්තුරුන්ගේ ගල් යුගයේ බංගලාව

ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන කතා කිරීමේ දී ‘ගල් යුගය’ බොහෝම වැදගත් ය. එකල විසූ මනුෂ්‍යයන් ජීවත් වූයේ ආහාර පිණිස වන සතුන් දඩයම සහ වනජ ද්‍රව්‍ය එක් රැස්කර භාවිත කිරීමෙනි.
අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වරින්වර කළ කැණීම් පර්යේෂණවලින් හෙළිවූ අන්දමට, ලංකාවේ ගල් යුගය අදින් වසර 48,000ක් පමණ ඈතට දිවෙයි. ‘ගල් යුගය’ යන්නෙහි අරුත, අප සිතනවාට වඩා බරපතළ ය. ගල් යුගය යනු ලෝහ, කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, මැටි බඳුන්, දැව හෝ සිමෙන්ති-කොන්ක්‍රීට් ආදිය නො තිබුණු වකවානුවකි. එබැවින් එකල විසූ මනුෂ්‍යයන්ට තිබුණේ ‘ගල්’ විතර ය! විසීමට ගල් ලෙන් ය. සතුන් දඩයමට හෝ දඩමස් සකසා ගැනීමට ගල් පතුරුවලින් කළ ‘ගල් ආයුධ’ ය. ඒවා, යම් ඉලක්කයකට දමා ගැසිය හැකි ‘බෝල ගල්’, මිටියක් සේ භාවිත කළ හැකි ‘තැලුම් ගල්’ හෝ දඩ මස් ඉරා ගත හැකි ගල් පතුරු මෙවලම් ආදී වශයෙන් තිබෙන්නට ඇත. එකල විසු මානවයින්ට. ‘ගල්’ මත පමණක් යැපෙමින් ජීවිතය සහ පරිසරය ජයගත යුතුව තිබිණි!
ගල්යුගය ගැන පුරාවිද්‍යාඥයන් එසේ කීව ද, අපේ රටේ ‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ’ අදහස නම් බොහොම වෙනස් ය. ඔවුන්ගේ ‘ගල් යුගයට’ ගල්ගුහා, අර්ධ ගල් ගුහා සහ ගල් පර්වත පමණක් නොව විදුලිබලය, නළ ජලය, නවීන නාන කාමර මෙන් ම සුව පහසු කොට්ට-මෙට්ට පවා ඇතුළත් වේ! ඔවුන්ගේ ‘ගල් යුගය’, කුඩා වනපෙතක් තුළ පාරිසරික සංචාරක නිකේකතනයක් සේ සකස් කළ ස්වාභාවික ගල් ලෙන් කිහිපයක් සහ පර්වත සමූහයකි. එහෙත් එහි ‘ගල් ආයුධ’ හෝ ඉපැරණි මානව අවශේෂ නැති අතර, ඉවුම්-පිහුම් වැඩ කෙරෙන්නේ නවීන ගෑස් ළිප් සහ මුළුතැන්ගෙයි පිහි ආදී නවීන මෙවලම් මගිනි. තත්ත්වය එසේ වුව ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්ලෙන් සමූහය ඔස්සේ යමෙකුට දැන් අදින් වසර තිස්-හතළිස් දහසක් ඉපැරණි ගල් යුගයෙහි දිවි පෙවෙතින් ශේෂ මාත්‍රයක් අත් විඳින්නට පුළුවන. එය අපේ කාලයේ ‘පරිසර හිතකාමී සංචාරක නිකේතනයකි’!
ලංකාවේ පැරණිතම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මේ ‘ගල් යුගය’ අපට හමු වන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ, දමනට නුදුරු එක්ගල් ඔය ජලාශ තාවුල්ලේ දී ය. තවත් විස්තර ඇතිව කියනවා නම්, එක්ගල් ඔය ජලාශය ද සමග ඇති වන අලින් පවා සිටින වන පෙත ඇතුළේ ය. එහි නාමය ‘එක්ගල් ඔය වන කඳවුරයි’. එය පිහිටා ඇත්තේ, සියඹලාණ්ඩුව ඔස්සේ අම්පාරට දිවෙන ප්‍රධාන මාර්ගයේ, සියඹලාණ්ඩුවට කිලෝමීටර් 34ක් පමණ දුරිනි.  ජලාශය ද සමග ඇති කුඩා වනාන්තරය ඇතුළත පිහිටි ගල් ලෙන්, අර්ධ ගල් ලෙන් සහ පර්වත සංකීර්ණයක් ආශ්‍රිතව වන කඳවුර නිර්මාණය කර තිබේ. එය පරිසර හිතකාමී සංචාරයන්ට ඇළුම් කරන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් ම ඉදි කෙරුණකි. ලියුම්කරු ඉකුත් දෙසැම්බරය අග භාගයේ සිය හිතවතුන් පිරිසක් ද සමග ගල්ඔය නිම්න ප්‍රදේශයේ සංචාරයක යෙදුණි. ගමනේ නැවතුම්පොළ වූයේ මනරම් ‘එක්ගල් ඔය වන කඳවුරයි’.
‘එක්ගල්ඔය වන කඳවුර’ ආරම්භවී ඇත්තේ 2009 වසරේ ය. එය බිහිවීම, එකල අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිරිය සම්පන්න නිලධාරීන්ගේ කැපවීමෙහි ප්‍රතිඵලයකි!
එක්ගල් ඔය වන කඳවුර නිර්මාණය කෙරුණේ, ප්‍රවීණ වන නිලධාරියෙකු වන ලලිත් ගමගේ මහතා (වර්තමානයේ අනුරාධපුර දිසා වන නිලධාරී) අම්පාරේ දිසා වන නිලධාරිවරයා වශයෙන් සේවය කළ සමයේ ය. වන කඳවුර ආරම්භ කෙරුණු ආකාරය ඔහු මතකය අවදි කළේ මෙසේ ය.
‘ඔය කාලේ වෙන කොට පරිසරයට හානි නොකර, පරිසරයට හිතකාමී විදිහට, විධිමත් දැනුමක් ලබමින් සංචාරයේ යෙදීම ගැන රට තුළ යම් කතාබහක් ඇතිවී තිබුණා. ඒවා කතා කෙරුණේ පාරිසරික සංචාරක කර්මාන්තය කියන රාමුව ඇතුළෙයි. අනෙක, රටේ තව ප්‍රශ්නයක් තිබුණා. පරිසර සංචාරයේ යන උදවිය හැමදාම යන්නේ ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන ස්ථාන කිහිපයකට පමණයි. උඩවලවේ, සිංහරාජය, නකල්ස්, මින්නේරිය, යාල සහ හෝර්ටන්තැන්න ආදී ස්ථාන ඒ අතර කැපී පෙනුණා.
මේ තත්ත්වය නිසා ඒවායෙහි අධික තදබදයක් ඇති වුණා. තදබදය  හින්දා සංචාරයේ යන අයට ඒ පරිසරය රස විඳින්නත් අසීරුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ තත්ත්වය මඳක් වෙනස් කරන්න කල්පනා කළා. එහි දී පරිසර හිතකාමී සංචාරකයන්ට විවිධත්වයක් ලැබෙන ස්ථාන කිහිපයක් අලුතින් නිර්මාණය කරන්න කතා වුණා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ සේවය කළ වන නිලධාරීන්ගේ යෝජනාවෙන් තමයි එක්ගල් ඔය වන කඳවුර ගොඩ නැගුණේ. මේ ස්ථානය සොයා ගත්තෙත්, එහි ඇති පාරිසරික සංචාරක විභවය හඳුනා ගත්තෙත් ඔවුන් තමයි’,
එකල මෙම භූමිය පාරිසරික සංචාරක නිකේතනයක් වශයෙන් නිර්මාණය වූයේ, වන සංරක්ෂකවරයාගේ ද උපදෙස් ලබමින් ඔහු කළ මගපෙන්වීම් අනුව ය.
එක්ගල් ඔය වන කඳවුර නිර්මාණයකර ඇත්තේ, ජලාශය තාවුල්ලේ පිහිටි වනාන්තරය ඇතුළේ ය. එයට ස්වාභාවික ගල් ලෙන් හතරක් ද, අර්ධ ගල්ලෙන් සහ අපූරු ගල් තලාවන් කිහිපයක් ද අයත් වේ. එහි ඇති ගල්ලෙන් සංචාරකයන්ට ‘ලැගුම් ගෙවල්’ වශයෙන් සකස්කර ඇත. ඒවා සුවපහසු ඇඳන්, විදුලි බලය සහ නාන කාමර ආදී පහසුකම්වලින් සමන්විත ය.
වනයෙහි ඇති කිසිදු ගහ-කොළකට හානි සිදු නො කරමින්, ගල්ලෙන් භූමියේ කිසිදු ස්වාභාවික නිර්මිතයකට හානි නො කරමින් සහ භූමියේ ආදිකල්පික පෙනුමට ද හානි නො කරමින් වන කඳවුර ඉදිකර තිබීම විශේෂත්වයකි. ගල් ලෙන් සහ අර්ධ ගල්ලෙන් ද ලැගුම් ගෙවල් බවට පත්කර ඇත්තේ, එහි වසන කෙනෙකුට තමන් ඇත්තට ම ‘ගල්ලෙනක ඉන්නවාක්’ වැනි හැඟීමක් ඇති වන පරිද්දෙනි. එහි උඩු මහල පරිසර හිතකාමීව දැවයෙන් ඉදි කළ ලැගුම්පොළකි. සමස්ත කඳවුරු නිකේතනය තුළ අමුත්තන් 30 දෙනෙකුට නවාතැන් ගැනීමට පුළුවන. කඳවුර අසල  වැව් පිටිය ආසන්නයේ තනා ඇති උස් අට්ටාල ගෘහය ද කදිම ය.
එක්ගල් ඔය වන කඳවුර ගල් ලෙන් සහ පර්වත පරිශ්‍රයක ඉදි කළ පාරිසරික සංචාරක නිකේතනයක් වුව ද, එහි ‘කණ්ඩායම් වැඩමුළු’  හෝ ‘සම්මන්ත්‍රණ’ ආදිය පැවැත්වීමට ද පුළුවන. එළිමහන් සාකච්ඡා ආදිය සඳහා සකස් කළ ගල් තලාවන් ද එහි තිබේ. වියළි කලාපීය අම්පාර දිස්ත්‍රික්කයේ  ගහකොළ මෙන්ම ජලජ පක්ෂීන් ද වන කඳවුරේ දී නිරීක්ෂණය කළ හැකි ය.
‘මෙතැන අතරමැදි පාරිසරික නැවතුමක් කියලා කිව්වොත්, එක් පැත්තකින් ලාහුගල (නීලගිරි සෑය සහ මඟුල් මහා විහාරය ආදී) , පොතුවිල්, අරුගම්බේ, පානම, කුඩුම්බිගල ආරණ්‍යය, ඔකඳ දේවාලය සහ කුමන වනෝද්‍යානය දක්වා සංචාරය කරන්න පුළුවන්. අනෙක් පැත්තට අම්පාරේ දීඝවාපි පුදබිම, රජගලතැන්න පුරාවිද්‍යා භූමිය, මහඔය ආදී ප්‍රදේශවලට ද සංචාරය කළ හැකියි. එක්ගල් ඔය වන කඳවුර තියෙන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානය සහ ඉඟිනියාගල සේනානායක සමුද්‍ර ජලාශයට නුදුරිනුයි. බුද්ධංගල පුදබිම තියෙන්නෙත් ඒ පැත්තේ. ගල්ඔය යන අයට ‘මකරේ’ හෙවත් ‘ගල ඔය’, උමං ගංගාවක් බවට පත්වන හැටි නරඹන්න යන්නත් පුළුවන්’, අම්පාරේ අඩවි වන නිලධාරී නිර්මාල් වන්නිනායක මහතා ලියුම්කරු සමග කීවේ ය.
එක්ගල් ඔය වන කඳවුරට පැමිණෙන පරිසරලෝලීන්ට ලැබෙන ලොකුම ආස්වාදය වන්නේ, මහා ජලාශයක් සිය කදිම ‘ගෙමිදුල’ බවට පත්කර ගත් ස්වාභාවික ගල් ලෙන් පරිශ්‍රයක, තුරු වදුළු සෙවණක මිහිර විඳිමින් බොහොම නිස්කාන්සුවේ විවේකය ගත කරන්නට අවස්ථාව ලැබීමයි. වන කඳවුර විසින් පනවා ඇති නීති-රීතිවලට එකඟව, ජීවිතාරක්ෂක කට්ටල ද පැළඳ ගෙන එක්ගල් ඔය ජලාශයේ බෝට්ටු සවාරියක යෙදෙන්නට ද අවස්ථාව සලසා ගත හැකි ය. අවශ්‍ය කෙනෙකුට, රාත්‍රී කාලයේ එළිමහන් ගිනිමැලයක ආස්වාදය විඳිමින් යම් වේලාවක් තරු වියන යට ගත කිරීමට  ද කටයුතු සංවිධානය කර ගත හැකි ය. ඇතැම් අවස්ථාවල වන අලි, කඳවුර සමීපයේ වැව් පිටියට ම පැමිණෙයි!
‘දිගාමඩුල්ලේ ආශ්චර්ය (1957)’ ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ වන විත්ති ඇතුළත් ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කළ ‘මායා රංජන්’ (මහානාම රාජපක්ෂ) 1950 දශකයේ මේ ඉසව්වේ (වැව්ගම් පත්තුවේ) සැරිසැරූ ගුරුවරයෙකි. එසේම, ලංකාවේ ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙකු සහ ලේඛකයෙකු වූ පියසේන කහඳගමගේ මහතා ද ගුරුවරයෙකු වශයෙන් සේවයකර තිබුණේ ඉඟිනියාගල ඉසව්වේ ය. මේ ප්‍රකට ලේඛකයන් අත අප අතර නැත. එහෙත් එක්ගල් ඔය වන කඳවුරේ ලැගුම්ගන්නා අයට, පැරනි වංහුං අසා ගනිමින්  ඔවුන්ගේ පා සටහන් සොයා යන්නට ද පුළුවන.
‘ලේඛකයන් වගේ අයට, වෙනත් කලා නිර්මාණවල යෙදෙන අයට, නිස්කලංකේ සිත පහන්කර ගන්න කැමති අයට මෙතැනින් ලැබෙන අධ්‍යාත්මික සුවය ඉතා ඉහළයි’, අම්පාරේ වන නිලධාරීහු, කඳවුර ගැන විමසන අයට කියති.
ජලාශයේ අනෙක් පැත්තේ වනය තුළ  ‘කිතුල්හිටියාගොඩ’ නම් උස් කන්දකි. මග පෙන්වන්නෙකු ද සමග එහි ‘වන සංචාරයක’ යාමට ද එක්ගල් ඔය වන කඳවුරේ දී අවස්ථාව ලැබේ. එය ඉතා දුලබ අත්දැකීමකි.  කන්ද මුදුනට, ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ඇතුළු ජලාශ අටක් ද, ඔළුවිල් ප්‍රදේශයෙන් නැගෙනහිර මුහුදු තීරය ද අපූරුවට දර්ශනය වේ.
එක්ගල් ඔය කඳවුරේ ලැගුම්ගත් දෙවැනි දවසේ අපේ කණ්ඩායමේ එකෙකු ‘මේ තැන ගැන මට හරි ඉරිසියයි මචං!’ යයි කීය.
‘ඒ මොකද?’, අනිකෙකු විමසී ය.
‘නෑ ඉතිං, ජීවිත කාලෙම මේවගේ තැනක ඉන්න හදා ගන්න බැරිවුණා නේ’, යයි ඔහු පිළිතුරු දුන්නේ ය.
අපේ තවත් සගයෙකු ජලාශයේ උදෑසන සිරියාවෙන් වශීකෘත විය. හබලකුත් අතැතිව, ඔහු ‘ගුඩ්බායි ගල්ඔය’ කියා පින්තූරයක් ද ගත්තේ ය!
එක්ගල් එය වන කඳවුරේ කාර්යමණ්ඩලය බෙහෙවින් කාරුණික ය. කෑම උයා පිහා දී උදව් කිරීමෙන් නො නැවතෙන ඔවුහු, සිය පාරිසරික අමුත්තන් වෙනුවෙන් වන අලින් පිළිබඳ ඔත්තු බලමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද කැප වෙති.
එක්ගල් ඔය වන කඳවුර පාලනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. එය වෙන් කිරීම් කෙරෙන්නේ, අම්පාරේ අඩවි වන කාර්යාලයෙනි. 063-2222054 දුරකථන අංකය ඔස්සේ සතියේ දිනවල ඔවුන් ඇමතීමට පුළුවන. නැතිනම් 0112-866616 දුරකථන අංකය ඔස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අමතා එක්ගල් ඔය වන කඳවුර වෙන්කර ගැනීමේ අවස්ථාව සලසා ගත හැකි ය.
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර