විශේෂාංග

කැලැන්ඩරේ නොවැම්බර් 26 නැති විරුවාගේ ගෙදර

මේ ඔහු නැතුව ගෙවන කීවැනි වසරද ?

දහවැනි අවුරුද්ද ඉවරයි. එයාට එහෙම වුණේ 2008 නොවැම්බර් 26

ඔබ ඒ සිදුවීම දරාගත්තේ ?

මගේ මූණ දිහා, මගේ ඇස් දෙක දිහා බලලා ජීවත්වෙන තවත් පිරිසක් ඉන්න බව හැම වෙලාවෙම මං හිතේ උඩින් තියාගත්තා. ඒ හින්දා කාටවත් පේන්න මං දුක්වුණේ නෑ.

කවුද ඒ පිරිස ?

මගෙ දුවයි, ලලිත් අයියගෙ අම්මයි, තාත්තයි, මල්ලියි. මගේ අම්මයි, තාත්තායි, අයියලා දෙන්නයි. ඔය හැමෝටම මං මගෙ හිත ශක්තිමත් කියලා පෙන්නුවා. අදටත් එහෙමයි.

ලලිත් ජයසිංහ කොහේ කෙනෙක්ද ?

එයාගෙ ගම අවිස්සාවේල්ලෙ කිරිවන්දල.

ඔහු යුද හමුදාවට සම්බන්ධ වෙන්නෙ ?

එයා අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලෙන් ලුම්බිනි විද්‍යාලයට ගිහින් තියෙනවා. ඒ කාලෙ හොඳ රගර් ක්‍රීඩකයෙක්. 97 අවුරුද්දෙ ජනවාරි 22 දි තමයි හමුදාවට බැඳිලා පුහුණුව අවසන් කරලා ගැමුණු හේවා බළඇණියෙ තුන්වැනි රෙජිමේන්තුවේ විශේෂ බළකායට සම්බන්ධවෙලා තියෙන්නේ. ලලිත් අයිය‌ගෙ මල්ලිත් හිටියෙ හමුදාවෙ.

එතකොට ඔබ ?

මගෙ ගම කොස්ගම සාලාව කෑම්ප් එක ඉස්සරහ. හංවැල්ල රාජසිංහ ඉස්කෝලෙන් බම්බලපිටිය සෙන් ෆෝල්ස් විද්‍යාලයට ගියා. ඊට පස්සෙ තමයි ජල සම්පාදන මණ්ඩලේ රස්සාව ලැබෙන්නේ.

ලලිත් ජයසිංහ ඔබට හමුවෙන්නේ ?

මගෙ හොඳම යෙහෙළියක් තමයි ලලිත් අයියගෙ මල්ලිව බඳින්න හිටියෙ. එදා 2006 සැප්තැම්බර් 09 වැනිදා මගෙ යාළුවා කතාකරලා බඳින්න ඉන්න කෙනා එක්ක අපේ ගෙදර එනවා කිව්වා. ඒ එනකොට හමුදාවෙ වැඩකරන අයියත් එනවා කිව්වා නිවාඩු ඇවිත් ඉන්න හින්දා.

ලස්සන කතාවක ආරම්භයක් ?

ඒ අයියා ඊට කලින් බලන්න ගිය මනමාලියන් කිසිකෙනකුට කැමැති වෙලා නෑ. කට්ටිය කතාවෙලා මාව බලන්න ඇවිත් තියෙන්නෙ. ඒ විස්තර මම දන්නෙ පස්සෙයි.

අන්තිමට මොකද වුණේ ?

ලලිත් අයියා මට කැමැති වෙලා තිබුණා. ඊට පස්සෙ තමයි මගෙ ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලගෙන කතාකරන්න ගත්තේ. එතකොට එයා වව්නියාව කඳවුරේ 3 වැනි රෙජිමේන්තුවේ දිගුදුර විහිදුම් බළකායෙ වැඩකරපු හමුදා කැප්ටන් කෙනෙක්.

එහෙම කැමැති වුණාම ?

අපි අවුරුද්දකට වැඩිය ඇසුරු කළා. ලලිත් අයියම තමයි අපි දෙන්නගෙ කේන්දර දෙක ඒ පැත්තෙ පන්සලක ඉන්න හාමුදුරුවන්ට කියල බලවලා තිබුණෙ. කේන්දර හොඳට ගැළපෙනවා කිව්වා.

විවාහ වෙන්නේ ?

2008 ජනවාරි 11 වැනිදා. ඊට කලින් එල්.ටී.ටී.ඊ නායකයෙක් කොටු කරන ලොකු මෙහෙයුමකට ගිහින් තිබුණා. ඒ රාජකාරිය අවසන් කළත් අන්තිමට ලලිත් අයියා කොටින්ගෙ පැත්තෙ හිරවුණාලු. කට්ටිය බොහොම අමාරුවෙන් තමයි එයාව හමුදා ප්‍රදේශය පැත්තට බේරගෙන ඇවිත් තියෙන්නෙ.

ඔය සිද්ධිය ඔබ දැනගත්තෙ ?

ඒකෙන් පස්සෙ ලලිත් අයියගෙ ආරක්ෂාව වැඩිකරල තිබ්බා. එයා මට මොකුත්ම කිව්වෙ නෑ. එයාගෙ ආරක්ෂාවට හිටපු රාජපක්ෂගෙන් මං ඇහුවා ඇයි මේ වෙනදට වැඩිය ආරක්ෂාවක් කියලා. එතකොට තමයි ඒ සිද්ධිය කියල ‘සර් හුඟක් වටින කෙනෙක්, අපි ආරක්ෂා කරගන්න ඕනෑ’ කිව්වෙ. මට හරි පුදුම හිතුණා ඒවෙලේ. ඊටපස්සෙ එයාව අැමෙරිකාවෙ පුහුණුවකටත් යැව්වා.

ඔහු කළ රාජකාරිය මොකද්ද කියලා ඔබට කියල තිබුණද ?

එයා කරන්නෙ විශේෂ රාජකාරියක් කියල මට තේරිලා තිබ්බට මුල් කාලෙ කිසි දෙයක් කිව්වෙ නෑ. මට කියලා තිබුණෙ ඔෆිස් එකේ වැඩ කරන බවත් ඒ අතරේ දුවන්න යනවා, ජිම් යනවා කියලා. ඒත් දවස් 07 ක් කෑම්ප් එකෙන් එළියට යනවා කියන වතාවල්වල ඒ ඇයි කියලා ප්‍රශ්න කරන්න එපා කිව්වා.

ඔබ ඒත් ප්‍රශ්න කළේ නෑ ?

එයා එපා කියන්නෙ මොනවහරි හේතුවකටනෙ කියලා මම සද්ද නැතුව හිටියා. හැබැයි බඳින්න කලින් 2007 අවුරුද්දෙ දවසක එයා මගෙ අතට පත්තර කොළ මිටියක් දීලා කිව්වා ඒ කාලේ ගැන අහන්න එපා ඔය ඔපරේෂන්වලට තමයි ගියේ කියලා.

මොනවද ඒ පත්තර පිටුවල තිබ්බේ ?

2002 දී කරපු හමුදා මෙහෙයුම් වගයක් ගැන. මට මතකයි ඒ එකක තිබුණා දරුණුම එල්.ටී.ටී.ඊ. කොටි නායකයෙක් මරපු සිද්ධියක්. මට ඒවා කියවලා බය හිතුණා.

ඔබ ඉතින් ඒ ගැනවත් ඇහුවෙ නැද්ද?

මං ලලිත් අයියගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. පස්සෙ දවසක එයාගෙ මල්ලිගෙන් අහද්දි කිව්වෙ අයියා කැලේ ඇතුළෙ එක ඒරියා එකක නැවතිලා, ළමයි කැලේ ඇතුළට යවනවා කියලා. පස්සෙ තමයි දැනගත්තෙ මම බයවෙයි කියලා මගෙ හිත හදන්න බොරුවක් කියලා තියෙන්නෙ කියලා.

විවාහයෙන් පස්සෙ ?

බැඳලා ටිකක් කල් ගියාම අපි දෙන්නා බෙල්ලන්තර ගෙයක් කුලියට ගත්තා. එයා නිවාඩු එනකල් අපෙ අම්මයි ලලිත් අයියගෙ අම්මයි මාරුවෙන් මාරුවට මට තනියට ඒ ගෙදර හිටියා. සති අන්තෙ මං එයා හිටියත් නැතත් අවිස්සාවේල්ලෙ එයාලගෙ ගෙදර ගියා. ඒක ලලිත් අයියා කියපු දෙයක්. අදටත් ඒ පුරුද්ද මට තියෙනවා.

ඔහොම කාලෙ ගෙවෙද්දි ?

විවාහ වෙලා මාස තුන හතරක් යනකොට දුව ලැබෙන්න ආවා. දුව ලැබෙන්න ඉන්නවා කිව්වම එයා පුදුම විදිහට සතුටු වුණා. හැබැයි ලැබෙන්න හිටියෙ දුවද පුතාද කියලා එයා දන්නෙ නෑ.කතා කරනකොට වගේම එවපු අන්තිම ලියුමෙත් ලැබෙන්න හිටපු දරුවා ගැන ලියලා තිබුණෙ ‘පොඩිමෑන්’ කියලා.

අන්තිම ලියුම කිව්වෙ ?

පළවෙනි සහ අන්තිම වතාවට ලලිත් අයිය මට ලියුමක් එව්වා. ඒක මට ලැබුණෙ 2008 නොවැම්බර් 24. කෑම්ප් එකෙ මිදුලෙ හැදුන අඹ ගහෙන් කඩපු අඹ පාර්සලේකුයි ඔය ලියුමයි ගෙනත් දෙන්න කියලා එයා ළමයෙකුට බාර දීලා තමයි එදා ඒ මෙහෙයුමට ගිහින් තියෙන්නේ,

ඒ කිව්වේ මොන මෙහෙයුමද ?

එයා සහභාගි වුණ අවසන් මෙහෙයුම. එයා නිවාඩුවට ගෙදර ඇවිත් ඉඳලා නොවැම්බර් 8 වැනිදා නිවාඩු ඉවරවෙලා කෑම්ප් එකට ගියා. ඒ ගිහින් නොවැම්බර් 18 වැනිදා කිව්වා දවස් 7 ක් කඳවුරෙන් එළියට යනවා කියලා. කොටින්ගෙන් ආපහු ගත්තු පුන‍රීන් බිමේ අලුතින් කඳවුරු හදන්න යනවා කියලා තමයි කිව්වෙ

එදා ඒ යද්දි ඔහු කතා කළේ නෑ ?

එදා වව්නියාවෙ මහකච්චකුඩි කෑම්ප් එකට ආවා කියලා රෑ 10.30 ට විතර කතා කළා. පාන්දර 3.00 ට ආයෙත් පිටත්වෙනවා කිව්වා. මං කිව්වා ඒ පිටත්වෙනකොට මට කතා කරන්න කියලා. අපරාදෙනෙ ඔයා ඇහැරවන්නෙ කිව්වා. ඒ හින්දා වෙන්න ඇති එයා මට කතා කළේ නෑ. ඒත් මට හරියට ඒ වෙලාවෙම ඇහැරුණා පුදුමාකාර හීනයක් දැකලා.

මොකද්ද ඒ හීනේ ?

පාළු පිට්ටනියක් වගේ තැනක ගුරුපාට සෙරමෝනියල් ඇඳුමෙන් සැරසිලා එවකට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා සැලියුට් කරනවා මං දැක්කා. මාව ගැස්සිලා ඇහැරුණා. මං ඒ යුද හමුදාපතිවරයව හීනෙන් දැක්කමයි. අනික ඒ පාට හමුදා ඇඳුමක් මං ජීවිතේට ඔය දැක්කමයි.

ඉතින් ඊට පස්සේ ?

මං ගැස්සිලා ඇහැරුණා. ඉක්මනට වෙලාව බැලුවා. පාන්දර 3 යි. මං ෆෝන් එක අරන් ඉක්මනට ලලිත් අයියට කතාකළා. එතකොටත් එයාගෙ ෆෝන් එක වැඩ නෑ. මං ඇත්තටම හීනෙ ගැන හිත හිත හිටියා එළිය වැටෙනකල්. පහුවදා ඔය හීනෙ ගැන කියද්දී ගෙදර කට්ටිය මට හිනාවුණා මටත් පේන හීන කියලා.

ඊට පස්සෙ ඔහු ඔබට කතා කළේම නෑ?

කොහොමත් ඒ ගියාම කතාකරන්නෙ නෑ. මම මුල් කාලෙ ඔහොම ගියාම එයාගෙ කෑම්ප් එකට කතා කර කර විස්තර හෙව්වා. පස්සෙ දවසක එයා කියපු දේකින්ම තේරුණා මං එහෙම අහන එක එයාට හොඳ මදි කියලා. ඒ හින්දා බලාගෙන ඉඳලා 25 වැනිදා මං කෑම්ප් එකේ කැප්ටන් අබේසේකරට කතාකරලා ලලිත් අයියා හෙට එනවද ඇහුවා. වැහැලා, ඒ පැත්තෙ වතුර පිරිලා නිසා සමහරවිට පරක්කුවෙයි කිව්වා.

ඊට පස්සෙ ?

26 වැනිදා උදේ ඉඳලා මට ජීවිතේ කවදාවත් නොදැනුණු මේ විදිහයි කියන්න බැරි අපහසුවක් තිබ්බා. 27 වැනිදා වැඩට ගිහින් මං හාෆ්ඩේ දාලා අපේ සාලාවේ මහගෙදර ගෙදර ගියා. මහප්පා කෙනෙක් නැතිවෙච්ච මළගෙදරකුත් තිබුණා එදා එහෙ.

එහෙම ගෙදර ගියාට පස්සෙ ?

ඇවිත් හිටපු නෑදෑයො එක්ක අපේ වෙඩින් එකේ සීඩී එක දාගෙන බැලුවා. ඒ අතරෙ අපේ අක්කා කතා කරලා ලලිත් අයියා ගැන ඇහුවාම මම කිව්වා අද එනවා කියලා. වව්නියාව කෑම්ප් එකේ හිටපු එයාගෙ මහත්තයා කියන්න කිව්වලු මට පරෙස්සමින් ඉන්න කියලා. හැබැයි ඒ මේ කිසිම දෙයක් දැනගෙන නෙවේ, නිකම් කතා කරලා තිබුණෙ.

ඔය දේවල් හිතට අමුත්තක් වුණේ නැද්ද ?

ඒ ආව කෝල් එක නම් අමුත්තක් දැනුණා. ඒ අතරෙ තමයි ලලිත් අයියගෙ මල්ලියි, ලලිත් අයියගෙ හොඳම යාළුවෝ වුණ චන්දනයි, කෝට්ටෙගොඩ අයියයි අපේ ගෙදර ආවේ. මං මුලින් හිතුවෙ මහප්පගෙ මළ ගේ ආරංචි වෙලා වෙන්න ඇති කියලා. ඒත් මට දැනුණා මෙයාලාගෙ හැසිරීම වෙනස් කියලා.

ඉතින් ඊට පස්සෙ ?

එයාලා ආවේ අම්මගෙ ප්‍රෙෂර් එක වැඩිවෙලා මාව එක්ක යන්න කිව්වා. මට ඒක සැකයි. වෙනදට එහෙම මාව එක්ක යන්නෙ නෑනෙ. මට දැනුණා මට මොනවහරි හංගනවා කියලා. ගෙදරට යනකොට මට පෙනුණා ඒ මිදුල පිරෙන්නම හමුදාවෙන් ඉන්නවා. ඒත් ඇත්තටම එහෙම ඉඳලා නෑ. ගමේ අය කීප දෙනෙක් ඉඳලා තියෙන්නේ. කොහොම නමුත් හැම කෙනෙක්ම දැනගෙන ඉඳලා තියෙනවා ලලිත් අයියට කරදරයක් කියලා, මම විතරයි දැනගෙන ඉඳලා නොතිබුණේ.

ඔය සියල්ල අවසන් වුණාම ?

එයාව දිගටම මට හීනෙන් පෙනුණා. මගේ අතින් අල්ලගෙන කියනවා මට මුකුත් වුණේ නෑ, මං ඉන්නවා කියලා. ඒක මගෙ හිතටත් හරිම සැනසිල්ලක් වුණා. ඒ වගේම එයා නිතරම ගෙදර ඉන්න බවත් මට දැනෙන්නත් ගත්තා.

රටවෙනුවෙන් දිවිපිදූ ලලිත් ජයසිංහ ඔබෙ හිතේ හිටපු කෙනාමද ?

මම එයාව මේතරම් යුද හමුදාවට විශේෂ වටින කෙනෙක් කියලා දැනගත්තෙ ඔහොම වුණාට පස්සෙ. එයාට ඔහොම වුණාම කොටි පාලන ප්‍රදේශයෙන් එයාව ගන්න හරිම අමාරු වුණාලු.ඒ කාලෙ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා මොන ක්‍රමයකට හරි එයාව ගන්න කියලා. එහෙම අමාරුවෙන් තමයි එයාව අපට ගෙනල්ලා දුන්නෙ.

ඔය සිද්ධියෙන් පස්සෙ ඔබ නැගිට්ටෙ ?

ඒ ඒ වෙලාවට ඒ ඒ දේට මුහුණ දුන්නා. ඕනම දෙයක් ඕනම කෙනෙකුට වෙනකල් බයයි, දුකයි. ඉස්සර එයාගෙන් කෝල් එකක් නැතිවුණත් පුදුමාකාර බයක් තිබුණේ. ඒ බය නැති කරගෙන ඉන් එහා දේට මුහුණදෙන්න හිතුවා. දරුවා ගැන හිතුවා. ජීවිතේ එකම බලාපොරොත්තුව දරුවට දුන්නා. මගෙ වටේ හිටපු පවුලෙ අය මාව තනි නොකළ ශක්තිය මට ජීවිතේට පාර කිව්වා.

ඉපදෙන්නෙ දුවක් ?

මේ සිද්ධියෙන් මාස තුනහමාරකට පස්සෙ දුව ලැබුණා. ඒ 2009 අප්‍රේල් 22. එයා තමයි සෙහන්සි සනායා ලලිත් ජයසිංහ. එදාත් මම ලලිත් අයියගෙ පොඩි ෆොටෝ එකක් කොට්ටෙ යටින් තියාගෙන හිටියෙ.

කොහොමද ඒ අවස්ථාවෙ තනිකම දරාගත්තෙ ?

මම ඇත්තට මුහුණ දුන්නා. කාලයත් එක්ක මං ඇත්ත අවබෝධ කරගෙන එයා කියපු විදිහට හිටියා. එයා ඒ දවස්වල කියපු දෙයක් තමයි මාත් එක්ක එන්න පුළුවන් වුණත් බැරිවුණත් එයාව නියෝජනය කරන්න කියපු එක. අදටත් මං ඒක කරනවා. ඒ වචන ටික අදටත් මගෙ ඔළුවට එනවා.

දුව කතාකරන කාලෙ එනකොට ?

එයාට මං ලලිත් අයියගෙ ෆොටෝ පෙන්නලා ඒ දූවගෙ තාත්තා බව කිව්වා.එයා තාත්තා කියල කතා කළේ ෆොටෝ එකේ හිටපු ලලිත් අයිය එක්ක. ටිකක් තේරෙනකොට තාත්තා කෝ කියලා ඇහුවා.

ඔබ එකට දුන්න උත්තරේ ?

ප්‍රභාකරන් කියලා නපුරු මිනිහෙක්ව තාත්ති හිරකරලා අල්ලගෙන ඉන්නෙ. ප්‍රභාකරන් එහෙම අල්ලන්න තාත්ති ඇර ශක්තිමත් කෙනෙක් නෑ කියලා දුවට කියලා තිබුණා. ඒත් පස්සෙ පස්සෙ පස්සෙ දුව කිව්වා බාප්පිත් ශක්තිමත්නේ. බාප්පිට චුට්ටක් අල්ලගන්න කියලා තාත්තිට ටිකකට ඇවිත් යන්න පුළුවන්නෙ කියලා.

ඒක ඇත්තනේ.. ඔබ ඒකට මොකද කිව්වෙ ?

එයා ඉස්කෝලේ යනකොට දැනගන්නකල් මම තාත්තිට මොකද වුණේ කිව්වෙ නෑ. ඉස්කෝලෙදි එයාගෙ යාළුවන්ගෙන් දැනගත්ත දවසෙ පුංචි වුණත් එයා ලොකු කෙනෙක් වගේ ඉවසීමකින් හැසිරුණේ. දුව අන්තිමට ඇහුවා මගෙ තාත්ති ලස්සනයිද කියලා.

ඔය විදිහට කාලෙ ගෙවෙද්දි යුද්ධෙ දිනනවා ?

එදා අපි හැමෝම සතුටුවුණා. ඒ සතුට සීයට සීයක් භුක්‍තිවිඳින්න තිබුණා යුද්දෙ දිනනවා දකින්න ලලිත් අයියත් හිටියනම්. එතකොට දුවට මාසයක් ඇති.එදා යුද්දෙ දිනපු දා ගමේ මිනිස්සු පෙරහැරෙන් ඇවිත් ලලිත් අය්යගෙ අම්මටයි තාත්තටයි වැඳලා කතා කරලා ගිහින් තිබුණා. යුද්ධෙ අවසානයි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ තිබ්බ උත්සවේට ලලිත් අයියා වෙනුවෙන් අපිට ආරාධනා කළා. ඊට පස්සෙ අවුරුදුවලත් විජයග්‍රහණයේ සැමරුම් උත්සව කීපයකටම අපි සහභාගි වුණා.

ඔහු නැතිවුණාට පස්සෙ වගකිවයුතු අංශ ඔබ ගැන බැලුවද ?

බැලුවා. එයා වෙනුවෙන් මටයි දූටයි යුද හමුදාවෙ මාණ්ඩලික රථයක් ලැබිලා තියෙනවා. ඒක ගෞරවයෙන් සිහිකරනවා වගේම ඒක තමයි මටයි දූටයි තියෙන ලොකුම ආරක්ෂාවත්.

අවුරුදු දහයක් ගෙවිලත් ඔබ ඔහු වෙනුවෙන් දුකෙන් ඉන්නේ ?

එයා ගෙයි මැද සාලේ උඩුබැලි අතට ඉන්න දිහා බලාගෙන මං ඇතිවෙනකල්. ඇඬුවා. ආයෙ ඒ වගේ අඬන්න මගෙ ඇස්වල කඳුළුත් නැතුව ඇති. ඊටපස්සෙ මං වැටීගෙන ඇඬුවෙ නෑ. අනිත් අයට ශක්තියක් වුණා.

ඒ කොහොමද ?

මම හැම අවුරුද්දෙම මට පුළුවන් උපරිමයෙන් ලලිත් අයියා වෙනුවෙන් පින්කම් කරනවා. ඒ විදිහට මම දහවැනි අවුරුද්දෙ පින්කමත් කළා. අඬා වැටීගෙන ඉන්න වෙන්නෙ යුතුකම් පැහැර හැරියම. යුතුකම් කළාම හිත ශක්තිමත්.

අපේ පවුල්වල බැඳීමත් ඒකට මට ශක්තියක් වුණා. ඒ වගේමයි මට නොවැම්බර් 26 පෙන්නන්න බෑ. මගේ කැලැන්ඩරේ නොවැම්බර් 26 ක් නෑ. ඒ කිසිදෙයක් කල්පනා නොවෙන්න මම එදා දවස කාර්යබහුල කරගන්නවා.

ඔහු ජීවත්ව සිටි කාලයේ වගේම නැතිකාලයේත් සම්මාන පදක්කම් ලැබුණා ?

ලලිත් අයියට පදක්කම් සම්මාන නම්. මහ ගොඩක් තියෙනවා. ඒ අතරේ එයා නැතිකාලේ දී යුද හමුදාවෙ රණවිරුවෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන පරම වීර වික්‍රම විභූෂණ සම්මානය ලැබුණා ඒ වගේම ජීවත්ව සිටින රණවිරුවකුට ලැබෙන ඉහළම සම්මානය වන වීර වික්‍රම විභූෂණ සම්මානත් තුනක්ම ලැබුණා.

මෙවන් සෙන්පති බිරිඳක් වීම ගැන හිතෙන්නේ ?

එදත් සතුටුයි, අදත් සතුටුයි. එයා වෙනුවෙන් හිතේ ඇතිවුණ බය, දුක, අප්‍රමාණයි. ඒත් මගේ ඉවසීම සහ ආදරය තුළ එයාට රට වෙනුවෙන් එයාගෙ රාජකාරිය කරන්න උපරිම නිදහස ලැබුණා.

බියංකා නානායක්කාර