විශේෂාංග

කැලැන්ඩරේ ආයුෂ ඉවරයි

කලකට ඉහත මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතනයක් ඉදිරිපිට කෝටි ගණනක ජීප් රියක් නතර විය. ජේත්තුවට ඇඳ ගත් පුද්ගලයකු රථයෙන් බැස්සේ කැලැන්ඩර් වර්ග කිහිපයක්ද සමගය. ස්වර්ණාභරණ ආයතනයේ කළමනාකරු හමු වූ මේ තැනැත්තා හඳුන්වා ගත්තේ රටේ ප්‍රධානම ආයතනවලට කැලැන්ඩර් මිටියත් සැලසුම් කර මුද්‍රණය කරන පුද්ගලයකු ලෙසය.

කැලැන්ඩර් කැන්වස් කරන මහත්තයා පැමිණි සුපිරි රථයත්, පෙන්වූ මෙරට දැවැන්ත ආයතන නවතාවයෙන් මුද්‍රණය කළ කැලැන්ඩර් දැක මවිතයට පත්වූ ස්වර්ණාභරණ ආයතනයේ කළමනාකරු ඇණවුමක් බාරදෙන්නට පැකිලළන්නේ නැත. කැලැන්ඩරේට ඇඩ්වාන්ස් එකක් ද දෙන්නට පැකිළෙන්නේ නැත. සුපිරි රථයේ ආ මහත්තයා කියූ පරිදිම කලට වේලාවට කැලැන්ඩර් ඇණවුම ස්වර්ණාභරණ ආයතනයට භාරදී තම ගනුදෙනුව නිම කරන ලද්දේ දෙසැම්බර් මාසය මැද කාලයේදීය.

මාස කිහිපයකින් ස්වර්ණාභරණ හිමියා තලවතුගොඩ ප්‍රදේශය හරහා යද්දී කැලැන්ඩර් ඕඩරය ගත් පුද්ගලයා බස් රථයක් එනතුරු සිටීම අදහාගත නොහැකි විය. ස්වර්ණාභරණ කළමනාකරු දුටු ඔහු නොරුස්සමින් අහක බලා ගත්තේ නන්නාඳුන බවක් පෙන්වමිනි.  ටෙලිනාට්‍යයක් බඳු ඉහත සටහන් කියූ ඔබට මේ හඳුන්වා දෙන්නේ මෙරට කලක් රජ කළ කැලැන්ඩර් ඕඩර් ගැනීමේ ක්‍රමවේදයයි. කලකට ඉහත නම් කැලැන්ඩර් සීසන් එකට මේ ව්‍යාපාරය නොම්බර එකට කරන පිරිසක් සිටියහ.

එහෙත් අද නම් රටේ අස්ථාවර තත්ත්වයත් සමග මේ ව්‍යාපාරය නැත්තටම නැති වී ඇත. මේ ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයින් බොහෝ විට මේ වැඩේට බහින්නේ නොවැම්බර් මුලය. මුලින්ම කරන්නේ වාහන කුලියට දෙන තැනකින් සුපිරිම ජීප් රථයක් මාස 2කට කුලියට ගැනීමය. ඉන්පසු ජේත්තුවට ඇඳිය හැකි ඇඳුම් කිහිපයක්, ජංගම දුරකථනයක්, බැංකු කිහිපයක චෙක්පොත් කිහිපයක්ද සූදානම් කර ගනී. වටිනා සන්ග්ලාස් දෙක නම් නැතුවම බැරිය. මෙරට ප්‍රධාන පෙළේ ආයතනවල මුද්‍රණය වෙමින් පවතින කැලැන්ඩර් කීපයක් සොයා ගන්නේ එම මුද්‍රණය කරන ප්‍රින්ටින් මැෂින් මයින්ඩර්ලාට ගතමන්ට් එකක් අතමිට මෙලවීමෙනි.

කැලැන්ඩර් කැන්වසින් පටන් ගන්නේ ඊට පසුවය. මේ රටේ ලොකු වාහනයක ගොස් ජේත්තුවට ඇඳ ආයතනයකට ගියහොත් ඕනෑම පුද්ගලයකු ඇන්දවීම සුළු දෙයකි. ලබාගන්නා ඇණවුම මුද්‍රණාලයකට භාර දී කඩදාසි සපයා කෑලි ගණනට මුද්‍රණය කරවා අවසානයේ අදාළ ආයතනයට ලබා දේ. දෙසැම්බර් 31 වන විට සුපිරි වාහනය භාරදිය යුතුය. ඊට පෙර සියලු මුදල් එකතු කොට ගෙන වාහනයද භාරදී නැවත පරණ පුරුදු ලෙස ජීවිතය ආරම්භ කිරීම මේ කැලැන්ඩර් කැන්වසර්ලාගේ සිරිත විය. මෙසේ තම ව්‍යාපාරික ජීවිතය පටන් ගත් මුද්‍රණ හිමියන් තම ව්‍යාපාර දියුණු කරගෙන දැවැන්ත මුද්‍රණාල හිමියන් බවට පත් වූ අවස්ථා පවා ඇත. පසුව මෙම ව්‍යාපාරයට හෙනහුරා ලැබුවේ විවිධ කළු සල්ලිකාරයින් මේ මුද්‍රණාල ව්‍යාපාරයට පිවිසීමත් සමගය.

මුල් කාලයේ ඇතැම් මුද්‍රණාල ණයට දුන්නේ දින තිහක ඩේට් චෙක්වලටය. ඉන්පසු එය දින 45 දක්වා වැඩිවිය. දැන් මෙරට මුද්‍රණාල අතර දැඩි තරගකාරිත්වය නිසා මාස 6 දක්වා ක්‍රෙඩිට් දෙන ප්‍රවණතාවක් ඇති වී තිබේ. වරක් ඉන්දියාවේ භද්‍රම්ලම් නමැති කඩදාසි නිෂ්පාදන සමාගමක් සමග ඇයිහොඳයිකම් ඇති කරගත් ද්‍රවිඩ මුද්‍රණාල හිමියකු දින කැලැන්ඩර් (Date calander) ඒකාධිකාරයක් බිහිකර ගත්තේය. දින ලොකුවට තියෙන කැලැන්ඩර් සඳහා එකල යොදාගත්තේ පෝස්ටර් පේපර් නමැති කඩදාසියයි. කඩදාසි කොම්පැනිය ලංකාවේ මුද්‍රණාල හිමියාට කඩදාසි ණයට දී තිබුණේ මාස 6ට ණයකටය. මුද්‍රණාල හිමියා තම ගනුදෙනුකරුවන්ටද මාස 6 ට ණයට කැලැන්ඩර් මුද්‍රණය කරදුන් නිසාදෝ බොහෝ මුද්‍රණාල නන්නත්තාර විය. නමුත් පසුව මේ තත්ත්වය වෙනස් විය.
කැලැන්ඩර් ගැන ඇති ප්‍රසිද්ධම කියමන අපායට ගහපු කැලැන්ඩරයයි.

අසූව දශකයේදී මෙරට ජනප්‍රිය කැලැන්ඩර් අංගයක් වූයේ නළු නිළියන්ගේ රූප රැගත් කැලැන්ඩර් ය. එහෙත් අද ඉන්නා නළු නිළියන් අපායට ගහන කැලැන්ඩර්වලට සුදුසු තත්ත්වයේ නිසාදෝ එම ව්‍යාපාරය අද බංකොලොත් වී ඇත. මෙරට සිටි මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්ද මේ කැලැන්ඩර් ව්‍යාපාරයේ යෙදුන පුද්ගලයකු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එදා ප්‍රසිද්ධ කැලැන්ඩර් ගහපු මුද්‍රණාල වූ දුමින්ද එරන්ද, ලලිතකලා, කලෙයිමගල්, මිහැන්චන් චිත්‍රකලා දැන් සොයාගන්නටත් නැත.  ලීලා සහ ඈපා නම් තවමත් පණපිටින්ය.

ප්‍රධාන වශයෙන් එදා මේ කැලැන්ඩර් ඇණවුම් භාරගන්නා ලද්දේ මැලිබන් වීදියේ, මයුරි වීදියේ, කෝසල ලේන් හා කාපිරි මුඩුක්කුව ආශ්‍රිත වීදිවලය. එහෙත් පසුව මෙම ව්‍යාපාරය පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයට ආගමනය වූයේ නිරායාසයෙනි. පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයේ මෙරට ප්‍රධාන පෙළේ නීතිඥයකුගේ මුද්‍රණාලයක් ආරම්භ කරන ලද්දේ මේ සංකීර්ණය විවෘත කළ අලුතය. අසූව දසකයේ කැලැන්ඩර් සමයේ වරක් මේ නීතිඥයා සොයා රක්ෂණ සමාගමක නියෝජිතයෙක් ආවේය. ඒ වන විටත් දැවැන්ත කැලැන්ඩර් ඕඩර් කිහිපයක්ම තම මුද්‍රණාලයේ නිම කරමින් සිටි නීතිඥයා මුද්‍රණාලය රක්ෂණය කරන්නට තීරණය කළේය.

‘‘ප්‍රොක්ටර් ගංවතුර රක්ෂණය විතරයි කවර් නෝට් එකේ දැම්මේ නැත්තේ. මේ පිටකොටුවේ මොන ගංවතුරද?’’ රක්ෂණ නියෝජිතයා නීතිඥයාට දැන්වීය.  ‘‘නෑ නෑ ඒක විතරක් ඇයි ඉතුරු කරන්නේ. ඒකත් දානවා! පිටකොටුවට ගංවතුර එනවද නැද්ද කියලා තමුසෙ කොහොමද දන්නේ’’ නීතිඥයා කියූ ලෙසම රක්ෂණ නියෝජිතයා ගංවතුර රක්ෂණයද දැම්මේ කටකොනකින් හිනා වෙමිනි. කැලැන්ඩර් ගැන නියම කතාව ඇරඹෙන්නේ ඉන්පසුවය. පීපල්ස් පාක් සංකීර්ණය විවෘත කළ පසු වැසි කාලයක් මුල් වරට ආවේ ඉන් පසුවය. පළමු වැස්සෙන්ම මුළු පීපල්ස් පාක් සංකීර්ණයේ බිම් මහලම යට විය.

සියල්ලන් තම පාඩුව දරාගෙන කම්පා වෙද්දී නීතිඥයා පමණක් තමන්ට වූ අලාභයට දෙතුන් ගුණයක රක්ෂණ වන්දියක් ගත්තේ ජයග්‍රාහී ලෙසටය.  අලෙවියට ඇති අඟල් 17×23 ප්‍රමාණයේ දින කැලැන්ඩරයක මිල රු. 90කි. එමෙන් දෙගුණයක් ලොකු තඩි දින කැලැන්ඩරයක මිල රු. 200කි. මුද්‍රණ ලෝකයේ නම් මේ කැලැන්ඩරය හඳුන්වන්නේ SORD ලෙසය. තනි කොළයේ වර්ණවත් රූප කැලැන්ඩරයක මිල රු. 16කි. මේවාට කොම්පැනියක නමක් ගැහුවා නම් වෙනම මුදලක් අය කරනු ලැබේ. මුස්ලිම් ජාතිකයන් සඳහා වෙනම කැලැන්ඩර් විශේෂයක්ද ඇත. එහි මිල ගණන් විමසූ විට සේවකයකු අපට සිනාවකින් පමණක් සංග්‍රහ කළේය. අපට මෙහිදී හොයමින් සිටි කැලැන්ඩරයක් හමුවිය. සීවලී රුව සහිත එම කැලැන්ඩරේ එක් දිනකට කඩන්නට එක කොළය බැගින් ඇත. එදිනට අදාළ විශේෂ සිදුවීම එහි ඇත. මේ කැලැන්ඩරය ලීලා කැලැන්ඩරයයි.

පිටකොටුවේ කැලැන්ඩර් අලෙවි කරන තොග වෙළෙඳුන් බොහෝමයක් පවසා සිටියේ රටේ දේශපාලන අස්ථාවරත්වය නිසා ව්‍යාපාරවලට අත් වූ ඉරණම ‘කැලැන්ඩර් කර්මාන්තයට ද අත් වූ බවය.
‘‘මේ වෙන කොට වෙන අවුරුදුවල අනුරාධපුර, පොළොන්නරු, නුවරඑළිය, බණ්ඩාරවෙල, යාපන, ගම්පොළ වගේ පැතිවලට කොච්චර මිටි බැඳල කැලැන්ඩර් පටවනවද? මේ කාලෙට ඉස්සර ට්‍රාන්ස්පෝට් සර්විස් පිරෙනවා. කැලැන්ඩර් මිටිවලින් පොලිටිකල් ප්‍රශ්න නිසා කැලැන්ඩර් සීසන් එක කොටඋඩ ගියා’’
මේ පුද්ගලයා කියන කතාවේ අර්ධ සත්‍යයක් ඇත. එහෙත් අද ඔය කියන ප්‍රදේශවල කොළඹටත් වඩා අති නවීන මුද්‍රණාල ප්‍රාදේශීය මට්ටමින් බිහිවෙමින් පවතී. කොළඹින් කැලැන්ඩරයක් ගහගෙන යන්නට ඔය පැතිවලින් ව්‍යාපාරිකයකු එන්නේ තම ගමේ මුද්‍රණාලයට වඩා අඩු මුදලකට තම කැලැන්ඩරය මුද්‍රණය කර ගන්නටය.

කොළඹ මුද්‍රණාල වැඩිවීම නිසා ඇති වී ඇති තරගය නිසා ගමේ මුද්‍රණාලයට වඩා අඩු මුදලකට කොළඹින් කැලැන්ඩරයක් මුද්‍රණය කරවා ගෙන යාමේ හැකියාවක් ඇත. දැනටමත් නිකුත් වී ඇති කැලැන්ඩර් දෙස බැලූවිට අපට පෙනී යන ප්‍රධාන කරුණක් නම් මෙවර නිකුත්වී ඇති කැලැන්ඩර් ප්‍රමාණය ඉතා සීමිත බවය. ඒවා බොහෝමයක් මෙරට ප්‍රධාන ව්‍යාපාරික ආයතන නිකුත් කළ කැලැන්ඩර් බව ඒත්තු යයි.

කැලැන්ඩර් ගැන කරුණු සොයන විට මෙරට ප්‍රධාන බැංකු මූලස්ථානයක ප්‍රචාරක අංශයට ගොඩවන්නටද අප අමතක කළේ නැත. අප යනවිට එම බැංකුවේ ප්‍රචාරක කළමනාකරු හමුවන්නට මුද්‍රණාල හිමියකුද පැමිණ සිටියේය. අපට එම බැංකුවේ ප්‍රචාරක නිලධාරියා පවසා සිටියේ තමන් පොකට් කැලැන්ඩර්, ඩෙස්ක්ටොප් කැලැන්ඩර්, පිටු 12 වර්ණ කැලැන්ඩර් හා පිටු 12 දින කැලැන්ඩර් නමින් කැලැන්ඩර් වර්ග 4ක් මුද්‍රණය කරන බවයි. එක්වරක් මේ කැලැන්ඩර් 4ම මුද්‍රණ කොන්ත්‍රාත්තුව භාරගත් මුද්‍රණාල හිමියා කලට වේලාවට කැලැන්ඩර් සපයා නැත. ඒ නිසා දැන් එක් මුද්‍රණාල හිමියකුට දෙන්නේ එක් කැලැන්ඩරයක් පමණි. ඒ සඳහාත් ‘‘පර්ෆෝමන්ස් බොන්ඩ්’’ එකක් තැබිය යුතුය. පොකට් කැලැන්ඩරය පමණක් මුද්‍රණ ඇණවුම ලක්ෂ 20ක් බව අපට එහිදී දැන ගත හැකි විය.

කැලැන්ඩර් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට හොඳම තැන මුද්‍රණාලවලටත් වඩා කැලැන්ඩර් එල්ලන පටිය ගහන තැන්ය. මේ පටි ලංකාවට බෙදන්නේ කොස්ගස්හංදිය ප්‍රදේශයෙනි. මේ කැලැන්ඩර් හිමි කර්මාන්තය ලංකාවට හඳුන්වා දුන් පුද්ගලයා ගිය වසරේ මියගිය නිසා අප ගියේ උපසේන මෙටල් වර්ක්ස් එකටය. එහි හිමිකරු අප දන්නා කෝපි කඩේ ඉන්න ‘පාල’ය.

2015 දී මහින්ද මහත්තයා ළමයි නෝනා එක්ක ඉන්න කැලෙන්ඩරේ, පටි ලක්ෂ 10ක් ගහන්න බාරගත්තේ මම. අන්තිමට පටි නැතුවත් කැලන්ඩරේ බෙදුවා. මේ සැරේ කෙලින්ම කැලැන්ඩර් 50%කට වඩා අඩුයි. නැත්නම් වෙනද කෑලි ගානට ගෙවන්න පැය විසිහතරේම වැඩ කරන විස්සක් විතර ඉන්නවා.’’

පොදුවේ ගත් කල මෙරට කැලැන්ඩර් කර්මාන්තය දේශපාලන අස්ථාවරත්වය සමග දැඩි අර්බුදයකට පත් ව ඇති වග නම් නොකියා බැරිය. ඊටත් වඩා ස්මාට් ෆෝන් එකෙන් හා කොම්පියුටරයෙන් කැලැන්ඩරය බලන්නට බොහෝ දෙනා පෙලඹීම නිසා මුද්‍රිත කැලැන්ඩරය දැන් කෙමෙන් කටුගෙට යන ප්‍රවණතාවක්ද ඇති වෙමින් පවතී. කැලැන්ඩර් ගැන සොයන්නට ගිය අපට හුදකලා වූ කැලැන්ඩරයක්ද දැක ගත හැකිවිය. එම කැලැන්ඩරය දුටු විට අපට කැලැන්ඩර් තුළින් මෙරට දේශපාලන පැතිකඩක් නිරාවරණය කළ හැකි බව සිහිවිය.

‘‘2019 නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් – සුබ අනාගතයක්’’ යනුවෙන් එම අත හැර දමා තිබූ කැලැන්ඩරේ සඳහන් වී තිබුණි.

වජිර ලියනගේ