අතන මෙතන

කැලණි ගඟේ දිය නෑ සිසුවා හා සිසුවිය අතුරුදන්

මිතුරකුගේ උපන් දින සාදයකට ගොස් කිරිඳිවැල, රන්වල ප්‍රදේශයේ කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවකු හා සිසුවියක දියේ ගිලී අතුරුදන්ව ඇතැයි කිරිඳිවැල පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වැලිවේරිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 19ක් පමණ වන එම්. සහන් පුෂ්පකුමාරසහ එම්.කේ. රෝසවාසනා පීරිස් නමැති පාසල් සිසුවෙක් සහ සිසුවියකි.

මොවුන් දෙදෙනා පෙරේදා (01දා) තම මිතුරකුගේ උපන් දින සාදයක් සැමරීම සඳහා තවත් යහළුවන් පිරිසක් සමග නිවෙස්වලින් පිටව ගොස් තිබෙන අතර 11 දෙනකුගෙන් යුක්ත එම සිසුන් පිරිස සවස 4.15ට පමණ දිය නෑමට ගොස් තිබේ. කිරිඳිවැල පොලිස් වසමේ රන්වල හරහා ගලාබසින කැලණි ගඟේ දිය නෑමට එලෙස ගිය අවස්ථාවේදී මෙම සිසුවා හා සිසුවිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.

අතුරුදන් වූ සිසුන් දෙදෙනා මුදුන්ගොඩ සහ වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි අය බව පොලිසිය සඳහන් කරයි. එම සිසුන් දෙදෙනා ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ උපකාර පන්තියකට සහභාගිවීමෙන් අනතුරුව එම පන්තියේ සිසුවියන් 4 දෙනෙකු හා සිසුන් 5 දෙනෙකු සමග කිරිඳිවැල දෙවිඳුගම තවත් සිසුවියකගේ උපන් දින උත්සවයකට සහභාගි වී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ ඉරු දින (2 වැනිදා) නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ​යොදා අතුරුදන් සිසුන් සෙවීමේ කටයුතු දියත් කළද මෙම වැසි සහිත කාලගුණය හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් දැඩි වේගවත් දියවැල් නිසා එම උත්සාහය ඊයේ සවස් වන තුරුම යෙදුවද සිසුන් දෙදෙනා හමු වී නැත. දැනට අතුරුදන්ව සිටින වාසනා පීරිස් සිසුවාගේ පියා රොස්ටන් පීරිස් මහතා පැවැසුවේ ඉරිදා පෙරවරුවේ උපකාර පන්තියකට සහභාගි වීමට තම පුතා ගිය බවත්, කැලණි ගඟේ දියනෑම සඳහා යන බවක් දෙමාපියන්ට පවසා නොගිය බවය.

ඉෂාර රත්නකාර

•ආරියපාල වීදාගම – දොම්පේ