කතුවැකි

කැමරා අරන් කොස්ගස් නැග්ග මන්ත්‍රීලා දැන් කෝ

අපි කොවිඩ් – 19 සමග ජීවත් විය යුතුයි කියා කට ගන්නටත් පෙර එය අපේ දොරට තට්ටු කර ‘‘ඕං මා ආවා’’යි කියාගෙන මහල් නිවාස, පොලිසි, ඉස්කෝල, කම්හල්, වෙළෙඳසල්වලට ගොඩ වී ඇත්තේය. පාසල් ආරම්භ කළ පළමු දවසේම කොවිඩ් වයිරසය ඒවාට ඇතුළු වී ඇත්තේ අම්මලා, අපිවත් ඉස්කෝලෙ එව්වා කියාගෙනය. ඉස්කෝල, පොලිසි, මහල් නිවාස, නගරාශ්‍රිත ගම් හුදකලා කරන වාරයක් පාසා කොවිඩ් -19 ජාතියෙන් මෙසේ ප්‍රශ්න කරයි.

‘‘කෝ ඔබලගේ එදා කයිවාරුව. ශිෂ්ටාචාරයේ තිබෙනවා කියූ හයිය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ද, හමුදාපතිද, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද දැන් වගකිව යුත්තේ, පාස් වෙනකොට ඒ අය පාස්, ෆේල් වෙනකොට ගෝඨා පමණද? කෝ උඹලා ගෙවත්තක් පාසා සිටු වූ බිජු. ඒ බිජු හැර තවත් බිජු තිබේද, කෝ ඔබගේ ජාතික සාමූහික නැගීම.’’

කොවිඩ් අසන මේ ප්‍රශ්න හමුවේ ජාතියට ඉන්නට සිදුව තිබෙන්නේ ‘‘දීපංකෝ පුළුවං නං උත්තර’’ සෙයියාවෙනි.

කොවිඩ් 19 හමුවේ තිබෙන හොඳම උත්තරය දුරස්ථභාවයයි. සමාජය හැකිතරම් හුදකලා කිරීමයි. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට තිබෙන හොඳම මග හුදකලා වුවත් රටේ වගකීම් ගන්නෝ හුදකලාව, වයිරසයට එරෙහිව සටන් කිරීම තරම් වාසියක් කොවිඩ් වයිරසයට නැත්තේය.

දැන් පී.එච්.අයි.ලාද, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ද ආරක්ෂක අංශද, දේශපාලන අධිකාරියද, ජනමාධ්‍යයද හුදකලාය. කොරෝනා පුවත් අසනවා විනා හුදකලාව මගහරවා ගැනීමට එක්ව කළ හැකි අරගලයකින් ජනතාව සන්නද්ධව නැත.

ලිච්ඡවි ධර්මයට අනුව සමගිව රැස්විය යුතුය. සමගියෙන් විසිර යා යුතුය. කොරෝනා මර්දනයට වගකීම ගත්තෝ රැස්වෙති. සාකච්ඡා කරති. වෙන් වෙන්ව වොයිස් කට් දෙති. සියල්ලෝ කියන්නේ ආණ්ඩුව වගකීම් ගත යුතු බවය. මේ කිසිවෙක් තමන් ආණ්ඩුව බව නොසලකති. පොලිසිය, හමුදාව, රජයේ වෛද්‍යවරු, ප්‍රජා සෞඛ්‍ය නිලධාරියා, විදුහල්පති මේ සියල්ලෝ තමන් ආණ්ඩුව බව නොදන්නා සේය. මේ බොහෝ දෙනකු හැසිරෙන්නේ ‘මා නොවන මම’ වැඩසටහනට සහභාගිවන අය මෙනි.

මෙබඳු වසංගතයකදී මහජන නියෝජිතයන්ගේ වගකීම වන්නේ ජනතාව පෙළ ගැස්සවීමය. 1930 ගණන්වල මැලේරියා වසංගතයෙන් දහස් ගණන් මැරෙද්දී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඇතුළු පිරිස හතර කෝරළේ ගෙන්ගෙට ගොස් පරිප්පු සමග ක්වීනින් පෙති බෙදා ගැමියා මැලේරියාවෙන් මුදා ගත්තේ උප නූපන් පරම්පරාවලට ආදර්ශයක් දෙමිනි. වසංගතයක දී ජනතාව අතරට ගොස් කටයුතු කළ යුතු ආකාරයට තිබෙන හොඳම ආදර්ශය එයය.

අද ලාංකික ජනතාව තමන්ගේ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින දේ අපමණය. තමන්ගේ දරුවාට නිදහසේ බය නැතිව පාසලකට යාමට ඉඩ සැපයීම, පිං පඩිය ගන්නට යන මහල්ලා වසංගතයෙන් ආරක්ෂාවීම ඇතුළු බොහෝ දේ මහජන නියෝජිතයන්ගෙන් ජනතාව ප්‍රාර්ථනා කරති.

මැතිවරණය ආසන්නයේ කොරෝනා පළමු රැල්ල ආ කාලයේ මන්ත්‍රීන් තුළ තිබූ උනන්දුව පුදුම සහගතය. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇඳිරි නීතිය නොතකා එදා තමන්ගේ නිල නිවාසයට ආ තැනැත්තා මුදා ගනිමින් කීවේ තමන් කෑම මළු 5000 ක් බෙදා දුන් බවය. එහෙත් අද මහල් නිවාසවල ජනතාව කන්නට දෙයක් නැතැයි කියමින් පාරට එනවිට එතැනට එන්නටවත් කෙනෙක් නැත. ‘ඡන්ද කාලෙ නම් ආවා. දැන් ඒ ආව අය පැත්ත පළාතකවත් එන්නේ නැත’ කියාය, ජනතාව කියන්නේ.

මුළු රටටම ඉන්නේ පී.එච්.අයි.ලා තුන්දහසකි. එහෙත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීහු පමණක් 8356 ක් රටට සිටිති. පළාත් සභා, පාර්ලිමේන්තුද එකතු වූ විට ජනගහනයෙන් 2200කට පමණ එක මන්ත්‍රීවරයෙක් සිටී.

කොරෝනා වසංගතයට විසඳුම ජනතාව බලගැන්වීම නම් කළ යුත්තේ මේ මහා පිරිස ජනතාව අතරට යාමය. දැන් අපේ මහජන නියෝජිතයෝ ජනහද, ජනදුක හඳුනන්නේ රූපවාහිනී කැමරාවක් තිබේ නම් පමණය. රූපවාහිනී , පත්තර, කැමරා තිබේ නම් කොස් ගස් නගිති. කොස් කඩති. බඩගිනිකාරයා වෙත කොස් පළුවක් අරගෙන යන්නෙත් එක අතක කැමරාවක් සහිතවය. කැමරාව හමුවේ ජනදුක නිවන්නන්ගෙන් මේ රටට ඇති වැඩක් නැත.