කතුවැකි

කැප කිරීම් කළ යුත්තේ කවුද, කෙසේද?

තව දුරටත් රට වසා තබන්නට සිදු වුවහොත් කැපකිරීම් සඳහා සියලු දෙනා සූදානම් විය යුතු බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ ප්‍රකාශය ඇතැමුන් අර්ථ දක්වන්නේ ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදුවකට සූදානම් වීමක් ලෙසය. විටින් විට රට වසා දැමීම, සංචරණ සීමා පැනවීම, නිරෝධායන නියමයන් නිසා වසර දෙකකට ආසන්න කාලයක් රජයේ සේවකයන්ට අඛණ්ඩව සේවයට වාර්තා කිරීමට අවස්ථාවක් ලැබෙන්​නේ නැත. මේ නිසා ඔවුන්ගේ වැටුප් අඩු කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, කිසිවකු එවැනි අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොටද නැත. එහෙත් කැපවීම් කළ යුතු වනු ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැටුප් කප්පාදුවක සූදානමක් ලෙස අරුත් ගන්වා ගන්නේ ගුරු වර්ජනය මුල්කරගෙන ආණ්ඩුවේ ඇතැමුන් කළ ඉඟි නිසා බව පැහැදිලිය.

මෙම තත්ත්වයත් සමග ජනතාව කැපකිරීම් කරන්නට පෙර ජනතා මුදලින් නඩත්තුවන දේශපාලකයන් කැප කිරීම් කළ යුතු නොවේ දැයි මහජන මතයක් ගොඩනැගෙමින් තිබේ. අප රටේ දේශපාලකයන් මහජන මුදලින් සුරසැප විඳින බව ජනතාව අතර ඇති විශ්වාසය ඉහත මතය වේගයෙන් පැතිරෙන්නටත්, ශක්තිමත් වන්නටත් ප්‍රධාන හේතුවකි. ජනතාව කැපකිරීම් කළ යුතු නම් දේශපාලකයන් ඒ සඳහා ආදර්ශයක් දිය යුතුය යන මතයේ වරදක් නැත. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි පිළිගැනීමක් තිබෙන නිසාය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු දැනටමත් එම ආදර්ශය ලබා දෙමින් මේ මාසයේ තම වැටුප ඉටුකම කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, එස්. එම්. චන්ද්‍රසේන හා ෂෙහාන් සේමසිංහ යන ඇමැතිවරුන්ය. විමලවීර දිසානායක අමාත්‍යවරයා තම වැටුපෙන් අඩක් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර තිබේ. මේ අතර ඊ‌ෙය් සවස වාර්තා වූයේ කැබිනට් මණ්ඩලයම මේ මස සිය වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, සමගි ජන බලවේගයත් පක්ෂ ලෙස තීරණ ගනිමින් තම මහජන නියෝජිත වැටුපින් වෙන් වෙන්ව අරමුදල් පිහිටුවා කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් වැය කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව යමින් රටේ සියලුම දේශපාලකයන් අවම වශයෙන් එක් මාසයක හෝ තම වැටුප කොවිඩ් සටන ජය ගැනීම සඳහා පරිත්‍යාග කළහොත් ඇත්තෙන්ම එය රටට හොඳ ආදර්ශයක් වනු ඇත. එහෙත් මෙහිදී ඇති ප්‍රශ්නය වන්නේ දේශපාලකයන් මෙලෙස පරිත්‍යාග කරන්නේ තම තමන්ගේ මූලික වැටුපද, නැතහොත් දීමනා සියල්ල ඇතුළත් සම්පූර්ණ වැටුපද යන්නය.

අප කවුරුත් දන්නා පරිදි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මූලික වැටුප රුපියල් පනස්පන් දහසක් පමණ වන නමුත් සියලු දීමනා ඇතුළත් ඔහුගේ වැටුප රුපියල් ලක්ෂ දෙකකට අධිකය. ඇමැතිවරයකුගේ මූලික වැටුප රුපියල් හැටපන්දහසක් වන නමුත් සියලු දීමනා එකතුව එහි අගය රුපියල් ලක්ෂ පහද ඉක්මවයි. මෙම වැටුප් හා දීමනා උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර වැටුපට අමතරව යාන වාහන, නිල නිවාස, කාර්ය මණ්ඩල, ආරක්ෂාව පමණක් නොව තීරු බදු රහිතව වාහන ඇතුළුව තවත් වරප්‍රසාද ඔවුනට හිමිවේ. සෑම මන්ත්‍රිවරයකුටම වසරකට රුපියල් අසූහත්දහස් පන්සීයක තැපැල් මුද්දර ලබාදෙන අතර මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වසරකට වැය කරන මුදල රුපියල් කෝටි අටකි.

ඉහත සඳහන් සියල්ල නිල දීමනා හා වරප්‍රසාද වන අතර දේශපාලකයන් ලෙස නිල නොවන ලෙස බොහෝ ඉපැයීම් හා වරප්‍රසාද ලබන්නෝ වෙති. මන්ත්‍රිවරයකු හෝ ඇමැතිවරයකු තම වැටුප පරිත්‍යාග කරන්නේ යැයි කී විට ඒ ඔහුගේ මූලික වැටුපද, නැතහොත් සියලු දීමනා ඇතුළත් සම්පූර්ණ වැටුපද යන්න ජනතාව ප්‍රශ්න කරන්නේ ඒ නිසාය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හෝ ඇමැතිවරයකුට සැලකිය යුතු වැටුපක් හා වාහනයක් වැනි යම් පහසුකම් ප්‍රමාණයක් තිබිය යුතු බවට විවාදයක් නැත. මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ට ගෞරවයක් සහිතව කාර්යක්ෂමව හා ඵලදායී ලෙස තම රාජකාරි වගකීම් ඉටු කරනු පිණිසය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ වර්තමානයේ මහජන නියෝජිතයන්ට අප රටේ ආර්ථිකයට දරන්නට නොහැකි තරමට මෙන්ම ඉතාමත් අසාධාරණ ලෙස පහසුකම් හා වරප්‍රසාද ලබා දීමය. මේ සියලු පහසුකම් හා වරප්‍රසාද ලබා ගන්නා දේශපාලකයන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකරනවා පමණක් නොව දූෂණයෙන්, වංචාවෙන්, ජනතා මුදල් ගසා කන්නටද කටයුතු කිරීම දේශපාලනඥයන්ගේ වරප්‍රසාද පිළිබඳ ජනතා විරෝධය උත්සන්න වීමට හේතුවකි.

අනෙක් අතට කොවිඩ් වසංගතය විසින් රටේ ආර්ථිකයට කර ඇති හානියේ ප්‍රමාණය සැලකිල්ලට ගත් විට තවත් වසර කිහිපයක්ම අපට එහි විපාක විඳින්නට සිදුවනු ඇත. ඒ නිසා කොවිඩ් වසංගතය ජය ගැනීම සඳහා කෙටි කාලීනව උපාය මාර්ග තෝරන අතරේ දිගුකාලීනව රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට විධික්‍රම තෝරා ගැනීමට අපට සිදුවනු ඇත. එහිදී ජනතාවට දිය හැකි හොඳම ආදර්ශය වනු ඇත්තේ මූනිච්චාවට මාසයක පඩිය පරිත්‍යාග කිරීම නොව දේශපාලකයන් භුක්ති විඳින ආර්ථිකයට ඔරොත්තු නොදෙන හා ජනතාවට සාපේක්ෂව අසාධාරණ පහසුකම් හා වරප්‍රසාද කප්පාදු කිරීමය. ඊට සූදානම් දැයි අපේ දේශපාලකයන් ජනතාවට පිළිතුරු දිය යුතුය.

එවැනි වරප්‍රසාද හා පහසුකම් කප්පාදුවකට සූදානම් වුවත් නැතත් අවම වශයෙන් මාසයක වැටුප හෝ පරිත්‍යාග කිරීමට දේශපාලකයන් අරඹා ඇති නිසා දැන් ප්‍රශ්නය රජයේ සේවකයන්ගේ දෙපා මුලට පැමිණ ඇති බව කිව යුතුය. මේ නිසා තවදුරටත් දේශපාලකයන් කැපකිරීම් කළොත් අපිත් කරන්නම් යැයි ඔවුන්ට කිව නොහැකිය. අනෙක් අතට ජාතික ව්‍යසන අවස්ථාවකදී දේශපාලකයන් හෝ කවුරුන් හෝ නොකරන නිසා අපි කරන්නේ අහවල් එකකට දැයි ප්‍රශ්න කිරීමද එතරම් සදාචාරාත්මක නොවන බවද කිව යුතුය.

මේ බව තේරුම්ගත් බොහෝ දෙනකු දැනටමත් තම තම හැකි පමණින් කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය මෙන්ම ධනයද වැය කරමින් සිටින බව අපි දනිමු. එහෙත් මේ අවස්ථාවේ අවශ්‍යව ඇත්තේ එවැනි හුදෙකලා සුබසාධන ව්‍යාපාරවලට වඩා ජාතික මට්ටමේ උත්සාහයකි. දැනට රාජ්‍ය සේවයේ ශ්‍රම හමුදාව ලක්ෂ 15 කි. මේ සියලු දෙනා වැටුප හෝ ඉන් අඩක් නොව අවම වශයෙන් රුපියල් දහසක මුදලක් පරිත්‍යාග කළහොත් එකතුවන මුදල රුපියල් ලක්ෂ පහළොස් දහසකි. බිලියන වලින් නම් බිලියන එකහමාරකි. මාස දෙකකදී මෙම මුදල දෙගුණයක් හෙවත් බිලියන තුනක් කළ හැකිය. මෙවර ඇඳිරි නීතිය පැනවීම නිසා ආදායම් අහිමිවන අයට රුපියල් දෙදහස බැගින් ගෙවීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ බිලියන හයක මුදලකි.