කතුවැකි

කැත ඇමෙරිකානුවා ලංකාවට ඉගැන්වූ සුන්දර පාඩම

ඇමෙරිකාව වියට්නාමය සමග යුද්ධයක පැටලී සිටි අවධියේ ‘‘Ugly Americans’’ නම් පොතක් එව්ජින් බර්ඩික්, විලියම් ලෙදරේර් නම් ලේඛකයෝ දෙදෙනා රචනා කළහ. දකුණු ආසියාවේ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල පිරිහීම එහි මාතෘකාව විය. එදා එය සිංහලට පරිවර්තනය කෙරුණේ අවලස්සන ඇමෙරිකානුවා හෙවත් කැත ඇමෙරිකානුවා නමිනි. ඒ ඇමෙරිකානු ලේඛකයන් දෙදෙනාගේ ‘‘Ugly Americans’’ පොත නොයෙක් මාධ්‍යයන්ගෙන් ලොව ජනප්‍රිය වෙමින් ඇමෙරිකාවේ අවලස්සන ලොව පතළ වූයේය.

මේ ලේඛකයන් දෙදෙනාගෙන් පසුව ඇමෙරිකානුවන්ගේ කැත ලෝකෙට පෙන්වා දුන්නේ අකැමැත්තෙන් විශ්‍රාම ගිය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ට්‍රම්ප් බලයට ඒමට පෙර සිටි ජනාධිපති ඔබාමාගෙන් පෙනුණේ ඇමෙරිකාවේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ශීලාචාරකම යැයි මෙරට බොහෝ දෙනකුගේ හැඟීම විය. ඔබාමා කතා කළේ, ඇවිද්දේ, නැගිට්ටේ, ඉඳගත්තේ, වැස්සේ ගියේද මනා ඇවතුම් පැවතුම් සහිතවය. කාන්තාවන්ට ඉතා විනීතාචාර දැක්වූයේය. ආරක්ෂකයන් පිරිවරා සිටියත් තම හිසට තම අතින්ම කුඩය උසුලාගෙන ගියේය. ඔබාමා ජනාධිපති වූ කල කීවේ ‘We Can do’ යන යෙදුම ඇසූ ඇමෙරිකානුවා ගැන සිහින දකින්නන්ගේ ඇඟේ මයිල් කෙලින් විය.
ඔබාමාට ලෝක සාමය ඇති කිරීම සඳහා නොබෙල් සම්මානය දුන්නේ එබන්දක් ඇතිවීමට පෙරාතුවය. ඔබාමාට නොබෙල් සම්මානය දුන් මොහොතේ හියුගෝ චාවේස් ජනාධිපතිවරයා ‘‘නොබෙල් තෑග්ග මෙතෙක් දුන්නේ කරපු වැඩකට. කරන්න හිතන් ඉන්න වැඩකට නොබෙල් තෑග්ග ගත්තා නම් ඒ ඔබාමා යැයි කීවේ යථාර්ථය සෝපාහාසයට ලක් කරමිනි. එක් රැයක පාකිස්තානයේ ගුවන් සීමා රහසිගතව ආක්‍රමණය කළ ඇමෙරිකානු සීල් භටයෝ ඔසාමා බින්ලාඩන් පැහැරගෙන ගොස් මරා දැමූහ.
සිරුර මුහුදට හෙළුෑහ. මෙහෙයුම නිම වූ වහාම ධවල මන්දිරයේ උද්‍යානයට ආ ඔබාමා මෙය ඇමෙරිකාවට එරෙහිව යන්නන්ට, ඇමෙරිකාවේ නිදහසට අභියෝග කරන්නන්ට මේ මග යාමට සිදුවන බව මහා තර්ජනාත්මක අභිමානයෙන් කීවේය.

ඒ වූ ඔබාමා නිසි කලට විශ්‍රාම ගත්තේය. විශ්‍රාම ගෙන විවේක සුවයෙන් බිරිඳ, බල්ලා, දියණිය සමග ඉන්න පින්තූර ලොව පළ කළේය. ඔබාමා ඉඳගත්ත, නැගිට්ට, ඇවිද්ද, කුඩේ අල්ලපු ආකාරය ලංකාවේ යැංකින්ට ලෝක ආදර්ශයක් විය.

මෙරට සිටි බරපතළම ඇමෙරිකානු ගැති නායකයා වූයේ ජේ. ආර්.ය. ජේ.ආර්.ට කීවේ ‘යැංකි ඩිකී’ කියාය. ජේ.ආර්ටත් එහාට ගිය මෙරට යැංකි ඔබාමාට මල් තබා මෙරට දේශපාලනඥයන්ට අසූචි ගැසුවෝය.

‘ඇමෙරිකාව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීය, ශීලාචාරයි. එහේ මෙහෙ වගේ පිස්සු කෙළිනු බෑ’’

මේ ලංකාවේ ඉන්නා යැංකි මෙරට බාල පරපුර තුළ ඇමෙරිකානු සිහිනය පැලපදියම් කළ ආකාරයයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිහිනය කුඩු පට්ටම් කළ නායකයාය. ඔහු හිඳ ගත්තේ, ගැහැනුන්ට කතාකළේ, කතා පැවැත් වූවේ ඇමෙරිකානු ජනතාව කෙසේ වෙතත් ලංකාවේ යැංකින් පැතූ ආකාරයට නොවේ. එහෙත් ඔහු රටවල් ආක්‍රමණය කළේ නැත.

ඡන්දය පරාද වූ විට නිකම්ම පරාජය භාර ගත්තේ නැත. එය හොර ඡන්දයක් බව ප්‍රකාශ කළේය. ප්‍රතිවාදියා වූ ජෝ බයිඩ්න් ද්‍ිනුවේ හොර ඡන්දයෙන් බව කීවේය. ඡන්දය පරාද වූ පසු ප්‍රතිඵල භාර ගැනීම වෙනුවට ඊට එරෙහිව නඩු දැම්මේය. පිටත්ව යන දා ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීම කෙරෙන තැන විරෝධතා දක්වනු ඇති බව ප්‍රකාශ කළේ ය. එපමණක් නොව ඔහු පිටත්ව ගියේ ඔහු වෙනුවෙන් වීදි බැස්ස මහ ජනකායක් අතරෙන් ඇමෙරිකානුවන් කිහිප දෙනකුගේ මළ කඳන් මතිනි.

ඇමෙරිකාවේ මෙසේ මෙතැයි ඇමෙරිකාව දෙස බලා සිටි ලාංකික යැංකි සිතුවේ නැත. දැන් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාරකම ගැන කතා කළ ලාංකික යැංකි කතා නැත. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවට කළ මේ සේවයට විශ්‍රාම යන මොහොතේ ස්තුති කළ යුතුය.