විශේෂාංග

කැත්තෙන් පොල්ලෙන් ගැහුවා වගේ කතා කළාම කැඩෙන්නේ අත පය නෙමේ හිත

දෛනික කාර්යයන් නිමාකොට දීපදේව රාජරත්න යහන් ගැබට ගියේ මොහොතින් මොහොත සිතට බරක්ව එන විවිධාකාරවූත්, සංකීර්ණවූත් ප්‍රශ්න, ගැටලු සිදුවීම් එක් පොදියකට ගෙන ගඟක මුහුදක පා කර අරින්නට ඇත්නම් යැයි සිතුවිල්ලක්ද සිත ඇතිවය.

පාලන බලය ඇතා නැතා මහා ප්‍රජාව තමා කෙරෙහි ඇති විශ්වාසයට සහ පිළිගැනීමට පිටුපෑමටද නුපුළුවන. උදයේ දීපදේවගේ හමුවීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයා මින් වසර කිහිපයකට පෙර මෙරට මහ කොමසාරිස් පදවිය දරා විශ්‍රාම ගිය අයෙකි. බුද්ධ ධර්මය පිළිබඳ ඔහු තුළ ඇති පෘථුල දැනුම දීපදේවයන්ගේ පැසසුමට හා ගෞරවයට හේතුවක්ව පවතී.

දීපදේව මහ කොමසාරිස්වරයා ගැන සිතමින් යහනෙහි වැතිරුණා පමණි. ඔහුගේ අතිශයින් පෞද්ගලික දුරකථනය නිවි නිවී දැල්වෙන ආලෝකයක් පතුරවන්නට විය. ඔහු දුරකථනය අතට ගත්තේ කරදරකාරී හැඟීමෙන් වුණත් අංකය හඳුනා ගත් සැණින් සියුම් වුණත් තියුණු සතුටකින් මෙතෙක් ඔහුගේ සිතෙහි වු අසහනකාරී හැඟීම් ක්ෂය වී ගියේය.
‘‘මංජරී මැණිකේ.’’

දීපදේව ඇගේ නම දෙතොලින් දුරකථනයට යොමු කළේ මහත් වූ සැනසුම් සුවයක් දෙනෙත් අබියස ඇත්තා සේය.
‘‘දීප මොකද කරන්නේ, වැඩක්ද?’’
‘‘..නෑ… නෑ.. මේ දැන් ඇඳට ආවා විතරයි.’’
‘ස්වර්ණපාලි අක්කා නැතුව පාළුයි නේද, බොහෝම දුකෙන් කතා කරනවා වගේ දැනෙන්නේ?’’
‘‘ඔව්. මං මේ ඇඳට වෙලා ඉකිබිඳිනවා.’’
‘‘එහෙම තමයි ප්‍රේමවන්ත ස්වාමිපුරුෂයො…’’
‘‘මංජරී මැණිකේ මගෙන් මොකුත් අහගන්න එපා. කියනවා බලන්න. කාශ්‍යප උන්නැහෙ ප්‍රේමවන්ත ස්වාමිපුරුෂයෙක් නෙවේද?’’

‘‘ඇයි නැත්තේ? කාශ්‍යප ප්‍රේමයේ ගැඹුර පරාර්ථකාමීව හඳුනාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්. ඔයාට කිසිම අයිතියක් නැහැ කාශ්‍යපව අපි දෙන්නා අතරට ගේන්න.’’
දීපදේව මොහොතකට නිහඬ විය. ඇය කතා කරන්නේ පුපුරු ගසන වේදනාවක් සිතෙහි සඟවාගෙන නොවේද? මානව බැඳියාවේ සැඟවුණු ආදරය, උල්පතක්ව බුබුළු දමන විට, එහි අරුමය කුමන විදියක උරුමයක් හෝ අයිතියක් යැයි අර්ථ දක්වන්නද?

‘‘මංජරී මැණිකෙ, මං ඔයාට මීට පෙර කිව්වා මගෙන් වැරැද්දක් වුණා. ඒත් ඒ සේරම අතීත කතා…’’
‘‘මේ රටේ දේශපාලනඥයන්ට දේශපාලන අතීතයක් නැතුවා වගේම ජීවිත අතීතයකුත් නැහැ. හොඳයි… හොඳයි… ඒත් එකක් මතක තියාගන්න. කැත්තෙන්, පොල්ලෙන් ගහන්න වගේ කතා කළාම කැඩෙන්නේ අත පය නෙමේ හිත..’’
‘‘ඔය කිව්වෙ? ඉරිසියාවට සීමාවක් කෙළවරක් නැහැ කියන්නෙ ඇත්ත?’’

‘‘ඉරිසියා කළේ හරි, රණ්ඩු කරලා හරි, දණින් වැටිලා හරි, අයිතිකර ගන්න මහන්සි වෙන්න ඕන අවංක පිරිසිදු හදවතක් තියෙන මනුස්සයෙක්. මං මේ කතා කළේ ඉරිසියාව පෙන්නලා කාගෙවත් සීලවන්තකම කිළුටු කරන්න නෙවේ. ස්වර්ණපාලි අක්කා අද මට කතා කළා. ඒක කියන්න…’’
පළමුව දීපදේවට සිතුණේ මංජරී මැණිකේ මුසාබස් තෙපලමින් තමා වෙහෙසට පත් කරන්නට උත්සාහ ගන්නවා වැනි සිතුවිල්ලකි. එහෙත් කුඩා අවදියේදී පවා ඇය මුසා බසක් නොතෙපලූ බව ඔහුගේ මතකයට ආවේය.
‘‘මොනවද ඉතින් ඔයාගේ ස්වර්ණපාලි අක්කා කිව්වෙ? දෙන්නා එක්ක හරි හරියට මාව විවේචනය කරන්න ඇති?’’
‘‘නැහැ. එයා ආයෙත් ලංකාවට එන්නේ නැහැ කිව්වා. ඔයාව හොඳට බලා ගන්න කිව්වා. මිණිවන්ට විරුද්ධව වචනයක්වත් කතා කරන්න එපා කිව්වා.’’
‘‘දැන් එතකොට කාශ්‍යප යූ.එස්.ඒ යනවද?’’

‘‘ඒ ඇයි?’’
‘‘එයා බලා ගන්නත් කවුරුහරි ඉන්න ඕනනේ. ශ්‍රේෂ්ඨ ආදරවන්තයෙක්. පරෙස්සම් වෙනවා. ස්වර්ණපාලි මාව බලා ගන්න ඔයාට පවරලා කාශ්‍යපට එහෙ භාවනා ටියුෂන් ක්ලාස් එකක් හදලා දෙන්නත් බැරි නැහැ. ඒකටනේ සහජීවනය, සංහිඳියාව සමගිය කියන්නේ?’’

මංජරී මැණිකේ දුරකථනය විසන්ධි කළාය. අප්‍රමාණ, අසීමිත ප්‍රශ්න ගැටලු අතර කතාබහකදී වුවද දීපදේව කාශ්‍යප කෙරෙහි දක්වන උපහාසාත්මක ආකල්පය මංජරී මැණිකේ කෝප කරවීමට සමත් වෙයි. ඇය හැම විටම කාශ්‍යප උත්තම පුරුෂාර්ථියකුයි හුවා දක්වන්නට ගන්නා උත්සාහය දීපදේව සෙමින් සෙමින් කෝප කරවන්නක්ව ඇතත්, තම මානසික අලකලංචිය සඟවා තබා ගැනීමට ඔහු ප්‍රවේශම් වෙයි.

දීපදේව නැවතත් මංජරී මැණිකේ දුරකථනයට ගෙන්වා ගත්තේ තුන්වරක් ඇමතුම් ගෙනය.
‘‘මංජරී මැණිකේ ඔය තරම් කේන්ති ගන්න එපා. ගෑනු, පිරිමි එකිනෙකාට කතා කරන කොට විවිධ විහිළු තහළු කරගන්නවා. ඒවා සාමාන්‍ය සිදුවීම්. කතාබහ අපාගත වෙන පාපකර්ම නොවේ.’’
‘‘හරි… හරි… ඇයි මට කතා කළේ?’’

‘‘මට කාශ්‍යප මුණගැහෙන්න ඕන. විශේෂ අවශ්‍යතාවකට.’’
‘‘මොකද්ද ඔයාට කියන්න බැරි දෙයක් මං ළඟ තියෙන්න පුළුවන්ද? අවශ්‍යතාව? මටත් කියන්න පුළුවන් එකක්ද?’’
දීපදේව කීවේ බෙහෙවින්ම හැඟීම්බර සොඳුරු වාග් රිද්මයකට අනුගතවය. ඇය තමාට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්දැයි ඔහු කල්පනාවෙන් අසා සිටියත් අැගෙන් පිළිතුරක් ආවේ නැත.

‘‘මංජරී මැණිකේ, ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය කොමසාරිස් කෙනෙක් මාව මුණගැහෙන්න ආවා. හැබැයි මගේ වැඩකටයුතු ගැනවත්, මං ගැනවත් එක වචනයක් කතා කළේ නැහැ.’’
‘‘ගොළුවෙක්ද?’’

‘‘දොඩවන්නෙ නැතිව අහගෙන ඉන්නකො කොමසාරිස් හොඳ බෞද්ධයෙක්.’’
‘‘හොඳ බෞද්ධයෙක්? මොකක්ද ඒ කතාවෙ තේරුම? නරක බෞද්ධයෝ කියලා කොටසකුත් ඉන්නවද?’’
මංජරී මැණිකේ බෞද්ධකම මුල්කරගෙන ප්‍රබල වාග් සංග්‍රාමයකට සැරසෙන්නේ යැයි සිතූ දීපදේවයන් වෙත ගෙන ආවේ නුරුස්නා හැඟීමකි.

‘‘මේ ගෑනි හැම වෙලේම මාත් එක්ක අරියාදුවටමයි කතා කරන්නේ. කෙක්කක් නෙමේ, කොක්කක්. සියුම් විදිහට රිද්දන්න හදනවා. අතීත පළිගැනීම් වර්තමානයට ගෙනත්.’’
දීපදේව සිතුවත් කීවේ නැත. ඔහු වඩාත් සංසුන්ව ඇය ඇමතුවේ බ්‍රිතාන්‍ය කොමසාරිස්ගේ බෞද්ධ විචාරය ගැඹුරු සමාජ විවරණයකැයි ඔහු ද පිළිගෙන තිබුණ හේතුවෙනි.
රට තුළ පවතින්නා වූ දේශපාලන අවුල් වියවුල් සාහසික මිනිස් ඝාතන, ජාති කුල ආගම් භේද පිළිබඳ ඔහු එක් වදනකින් හෝ කතා කළේ නැත.

‘‘මංජරී මැණිකේ, ඒ මනුස්සයා අපි වගේ උප්පැන්න සහතික බෞද්ධයෙක්වත්, පරම්පරා බෞද්ධයෙක්වත් නෙමේ. දැනුමින් අවබෝධයෙන්, ප්‍රඥාවෙන් බෞද්ධ වුණු කෙනෙක්. එයා කියනවා බුද්ධ ධර්මයේ කරුණාවත්, මෛත්‍රියත් නිවැරදි ආකාරයෙන් මනුෂ්‍ය හදවත්වලට, මොළයට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වුණොත් ලෝකය මීට වඩා සාමකාමී නිබය තැනක් වේවි කියලා. ඇත්ත නේද? අපි මිනිස්සු. අද ජීවත් වෙන්නේ තිරිසන් සතුන්ටත් වැඩිය මරණ බයකින් දැවි දැවී…’’

‘‘සම්ප්‍රේෂණය කියන්නේ ආකල්පමය වශයෙන් ගැඹුරු, සාමකාමී සදාචාරාත්මක චින්තන විප්ලවයක් මිනිසුන් තුළ ඇති කිරීමට ගන්නා උත්සාහයකටද?’’

මංජරී මැණිකේ අතුරු ප්‍රශ්නයක් නැගුවාය. සමහර විට එහි අර්ථය එය විය හැකි බව ඔහු පිළිතුරු වශයෙන් කීවේ සැක සහිත බවක්ද ඇතිවය.

කොමසාරිස්වරයා පැවසූ පරිදි ශ්‍රී ලාංකික සංඝ සමාජයද වඩා බුද්ධිමත් විය යුතුය. මේ රට බෞද්ධ රටක් යැයි හඬගෑම, දේශපාලන වාසි සහ ප්‍රදර්ශන කාමය උදෙසා හෝ සියල්ලන්ටම වඩා තමා දේශප්‍රේමී බුද්ධාගම්කාරයකු සේ පෙනී සිටීමට ගන්නා මෝඩ උත්සාහයක් නොවීම තුළ ධර්ම ගෞරවය ශ්‍රී ලාංකික ගෞරවය මෙන්ම මනුෂ්‍ය ගෞරවයත් ආරක්ෂා වන බව කොමසාරිස්වරයාගේ නිගමනය විය.

ඔහු පවසන පරිදි වර්ෂ දහස් ගණනක් පුරා රටක මානව හැදියාව උත්තම ලෙස ගොඩනැගුණේ ඍජු බෞද්ධ ප්‍රතිපත්ති මතය. වත්මන් සමාජය වක්‍ර බුද්ධාගම්කාරයන්ගෙන් අනූන වෙමින් පැවතීම තුළ පරිහානිය ආරම්භ වී ඇති සේ පෙනේ. ඍජු බෞද්ධ ප්‍රතිපත්ති සැඟවෙමින් පවතී.

අදේවවාදී ප්‍රබල චින්තනයකටත්, චේතනාවම ක්‍රියාව සේ හඳුනා ගැනීමටත් අනුබල දෙන බුද්ධ ධර්මයට, විවිධ මිථ්‍යා විශ්වාසයන් මුසු කරමින් ආගමත් කිරීම ධර්ම විරෝධී බව කොමසාරිස්වරයාගේ මතය විය. බුද්ධාගම්කාරයාගේ භූමිකාව ග්‍රාමීය සමාජයේ පත්තරකාරයාගේ, කිරිකාරයාගේ, කීරකොළ කාරයාගේ භූමිකාව ඉක්මවා නොයන්නේ අවිඥානක වශයෙන් හෝ ධර්මයේ ශක්තිය තවමත් නොනැසී පවතින නිසාවෙනි. ඔහු තවදුරටත් පැවසූ පරිදි මානව ගුණදම්වල බලය හා චිත්ත ශක්තිය තුළ පවතින බව කියැවෙන බුදුදහම බුද්ධාගමක් කිරීම, එමගින් යාදිල්ලක් බවට පත් කිරීම ශාසන විරෝධීය. කොමසාරිස්වරයාගේ මේ බෞද්ධ අර්ථකතන නිසා තමා මහත් සේ ලැජ්ජාවට පත් වූ බව දීපදේව, මංජරී මැණිකේට කීවේ ලැජ්ජා සහගත සිනාවක් අතරිනි.

‘‘මේ ඔක්කෝම කතාබහ ගැන හිතලා මං කල්පනා කළා කොමසාරිස්ට කාශ්‍යප හඳුන්වලා දෙන්න. මං අහලා තියෙනවා ඔය දෙන්නා විදේශගතවෙලා ඉන්නකොටත් කාශ්‍යප බුද්ධ ධර්මය ගැන යථාර්ථවාදී දේශනා පැවැත්වූවා කියලා. ඇත්ත නේද?’’
මංජරී මැණිකේ පළමුව දීපදේවට උත්තර දුන්නේ වේග සුසුමකිනි.

‘‘ඇයි මංජරී මැණිකේ?’’
ඔහු ඇසුවේය.

‘‘දීප කාශ්‍යප අටලෝදහමින් කම්පා නොවෙන සැබෑ බෞද්ධයෙක්. මට දරා ගන්න බැරි දුකත් ඒකම තමා’’
මංජරී මැණිකේ බිඳුණු හඬකින් දෙවන පිළිතුර දුන්නාය. දීපදේව තිගැස්සුණද නිහඬ විය.
ලබන සතියට…