News

කාර්යාලවල උණ බලන විදිය වැරදියි

ඉස්සර උණ මැන්නේ ඇඟ රස්නෙ වුණොත් පමණි. ඒ කාලේ අපේ අම්මලා දරුවන්ගේ උණ බැලුවේ නළලට අත තියාය. ඉක්බිතිව රසදිය පිරවූ උණ කටුව කිහිල්ලේද දිව යටද තැබීය. අධෝරක්ත කිරණ මගින් උණ බැලීමේ උපකරණය කරළියට ආවේ කොරෝනා වසංගතයත් සමගය. ඉස්සර කාර්යාලයට ඇතුළු වන විට ඔහුගේ හෝ ඇයගේ හැඳුනුම්පත පරීක්ෂා කර අනන්‍යතාව බැලුවා සේ දැන් කාර්යාලවලට ඇතුළු කර ගන්නේ උණ බලලාය. ඊට ආණ්ඩුවේ පෞද්ගලික අංශයේ කියා වෙනසක් නැත. ෆුඩ් සිටියට ගියත් ඇතුළු කර ගන්නේ උණ බලලාය. බොහෝ විට තම ආයතනයට ඇතුළු වන පුද්ගලයන්ගේ උණ බලන්නේ ආරක්ෂක අංශයය. උණ බලන්නට පෙර ආරක්ෂක අංශ උපදෙස් දෙන්නේ අත සෝදාගෙන පැමිණෙන ලෙසය. එහෙත් මේ උණ බලන ක්‍රමය නිවැරදි ක්‍රමය නොවන බව ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දෙන්නේය.

කොවිඩ් වයිරසය ශරීරගත වූ බව අඟවන තවත් එක් ලක්ෂණයක් වන්නේ ශරීර උෂ්ණත්වය ඉහළ යාමය.ඒත් කොරෝනා වැලඳුණු හැම දෙනාගේම ශරීර උෂ්ණත්වය ඉහළ යන්නේ නැත. පුද්ගලයකුගේ ශරීර උෂ්ණත්වය නිවරදි ලෙස මැනිය හැක්කේ අධෝරක්ත කිරණ භාවිත කර නිර්මාණය කර ඇති උෂ්ණත්ව මාපකය මගිනි. මෙම උපකරණය නළලට ඇල්ලීමෙන් පුද්ගලයකුගේ ශරීර උෂ්ණත්වය නිවැරදිව දැනගත හැකිය. එහෙත් අධෝරක්ත කිරණ හිස ආසන්නයට ඇල්ලීමෙන් මොළයේ පිළිකාවක් ඇතිවේය යන්න පවතින මිථ්‍යා විශ්වාසය හේතුවෙන් අද වනවිට උෂ්ණත්වය මැන බැලීමට මැණික්කටුව ආශ්‍රිත ප්‍රදේශය යොදා ගනු ඇත. එහෙත් මෙහිදී අපට ශරීරයේ නියමිත උෂ්ණත්වය දැන ගැනීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය ගුණසේනගේ අදහස වන්නේය.

‘‘සාමාන්‍යයෙන් පුද්ගලයෙක් එළිමහනේ ඇවිදලා කිසියම් ආයතනයක් තුළට ඇතුළු වන විට ඔහු දෑත් සෝදා ඇතුළු වීම සෞඛ්‍ය නීතියක්. මෙසේ දෑත් සේදූ පුද්ගලයකුගේ අතේ උෂ්ණත්වය අඩු වෙනවා. එවන් විටක උෂ්ණත්ව මාපකයකින් ලබා දෙන්නේ නිවැරදි නොවූ දත්තයන්. එවිට එම පුද්ගලයාට උණ තියෙනවාද? නැද්ද යන වග නිවැරදිව දැනගැනීමේ හැකියාවක් නැහැ.’’

කර්මාන්ත ශාලාවක සිටින පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය බලනුයේ එකම පුද්ගලයකු එකම කණ්ඩායමකය. මෙහිදී දින දෙක තුනක් කිසියම් පුද්ගලයකුගේ උෂ්ණත්ව වැඩි වන බව හැඟී යන්නේ නම් වහාම ක්‍රියාත්මක විය හැකිය.

ශ්‍රියාණි විජේසිංහ