විශේෂාංග

කාඩ් කුඩුකරගත් වෙසක් කාඩ් බිස්නස් එක

කලකට ඉහත නම් අප වෙසක් එන බැව් තේරුම් ගත්තේ හන්දියේ කඩපිලේ, පේමන්ට් එකේ වෙසක් අලෙවිහල් තාවකාලිකව ගොඩනගන විටය. එහි ඇති කවියේ වෙසක් සුබ පැතුම ලබන්නාට අදාළ වාක්‍යයක් ලිවීමට හිස් තැනක්ද විය. පොදුවේ කාටත් තැපැල් කරන වෙසක් කාඩ් මෙන්ම පෙම්වතාට පෙම්වතියට, අම්මාට, තාත්තාට ආදී ලෙස වෙසක් කාඩ් තුළ වර්ගීකරණයක්ද දැකගත හැකි විය.

බොහෝ දෙනාගේ මතය නම් ක්‍රිස්මස් කැරොල් ගී , වෙසක් භක්ති ගී ලෙසත්, ක්‍රිස්මස් කාඩ් නොහොත් නත්තල් කාඩ් වෙසක් කාඩ් ලෙස පරිණාමය වූ බවත්ය. වෙසක් කාඩ් ගැන කතාකරන විට අමතක කළ නොහැකි චරිතයක් නම් සාර්ලිස් මාස්ටර්ය.

එදා අපේ පැරණි නිවෙස්වලට අැතුළුවන දොරකඩම වූ සීවලී රූපයේ නිමැවුම්කරුවා සාර්ලිස් මාස්ටර්ය. නිවසේ දොරටුවේ සීවලී මහරහතන් වැඩ සිටිනවා නම් ගෙදරට කිසිම දිනක කෑම බීමවල අඩුවක් නොවන බවට එකල මතයක් විය. එහෙත් මෑත යුගයේ ගෙවල්වල මිථ්‍යා විශ්වාසයක් පැතිර යාම නිසා සීවලී රූප ගැලවූ යුගයක්ද විය. ඒ සීවලී රූපය නිසා අධිකව ආහාර, නිවසට ලැබීම නිසා නිවැසියන් දියවැඩියාවට ගොදුරුවන බවට වූ දුර්මතයයි.

එකදහස් නවසිය ආරම්භක යුගයේ අපේ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්තයේ රජ පවුලේ චිත්‍රයි. මේ ගැන කලකිරුණු අනගාරික ධර්මපාලතුමා ඒ වෙනුවට බෞද්ධ චිත්‍ර සිංහල නිවසට එල්ලිය යුතු බව තම මිතුරු විලියම් පේද්‍රිස්ට පවසා ඇත. ඔහු විහාරස්ථානවල චිත්‍රකර්ම සඳහා අවශ්‍ය දුම්මල ආදී රසායන ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු විය. පේද්‍රිස් තම අදහස කිව්වේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ටය.
‘‘මේකට නම් ටකේටම ගැළපෙන්නේ සාර්ලිස් උන්නැහේ තමයි. අපේ මාලිගාකන්දෙ විද්‍යෝදය පිරිවෙනේ විහාර සිතුවම් කරන්නෙත් සාර්ලිස්.’’

සාර්ලිස් මාස්ටර් කැඳවා මුලින්ම අන්දවන ලද්දේ සීවලී මහ රහතන් වහන්සේගේ රූපයයි. ඉන්පසු බුදුන්ගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය, ගිහිගෙය හැර යාම, ශිල්ප දැක්වීම සිදුහත්කුමරාගේ විවාහය, ආදී බොහෝ චිත්‍ර නිර්මාණය විය. මේවා මුද්‍රණය කරන ලද්දේ ජර්මනියේය. මේ චිත්‍ර බුරුමය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවලද අලෙවි කොට ඇත.

සාර්ලිස් මාස්ටර් ගැන මෙතරම් විස්තරගත වූයේ ලංකාවේ ‘‘වෙසක් කාඩ් ආරම්භයට එම චිත්‍ර මහෝපකාරී වූ නිසාය. එකල මේ සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර ජර්මනියේ මුද්‍රණය කොට නැවෙන් ගෙනාවේ ලංකාවේ ලිතෝ මුද්‍රණ තාක්ෂණය නොතිබූ නිසාය. යුනෙස්කෝ ආධාර යටතේ ලංකාවට ඕෆ්සෙට් මුද්‍රණය හඳුන්වා දෙන්නේ මේ අතරය. එය මහරගම සමන් මුද්‍රණාලයයි. ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක් ලෙස වෙසක් කාඩ් මුද්‍රණය ව්‍යාප්ත වන්නේ ලංකාවේ ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ආරම්භයත් සමගය.

ලංකාවේ මුල් කාලීනව වෙසක් කාඩ් සඳහා යොදා ගන්නා ලද්දේ වයිට් බැක් නමැති බොක්ස් බෝඩ් වර්ගයයි. එහි ප්‍රමාණය අඟල් 31×43 ක් විය. එක් පැත්තක් මදින ලද සුදෙන් යුක්ත වූ අතර අනෙක් පැත්ත රළු ස්වභාවයක් ගත්තේය. මැදපු පැත්තේ සිව්වර්ණ වෙසක් කාඩ්පත මුද්‍රණය කෙරුණ අතර රළු පැත්තේ අකුරු පමණක් මුද්‍රණය විය. මෙම අඟල් 31×43 ප්‍රමාණයේ බෝඩ් හතරට කපා සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කොට ඇත. මුද්‍රණ ලොවේ මේ ඕෆ්සෙට් යන්ත්‍රය සැලකෙන්නේ ජර්මන් හයිඩල් බර්ග් කේ. ඕ.ආර්. ලෙසය. මෙහි යොදාගත හැකි කඩදාසියේ ප්‍රමාණය අඟල් 15×22’ විය. එය කඩදාසිය අටට නවා මුද්‍රණය කළ පොත්වලට ‘සමන් සයිස්’ පොත් යැයි පාඨකයෝ නමක් පට බැන්දෝය.

ආර්ට් බෝඩ් නමැති සියුමැලි බෝඩ් විශේෂය ලංකාවේ මුද්‍රණාල අතර වෙසක් කාඩ් භාවිතයට නැඹුරුවන්නේ මේ අතරය. මේවා අානයනය කරන ලද්දේ ජපානය, තායිවානය ආදී රටවලිනි. දෙපැත්තම සුමට දිලිසෙන ලෙස මැද තිබීම මේ බෝඩ් විශේෂයේ විය. ලංකාවේ සාමාන්‍යයෙන් ජනප්‍රිය කෝඩ් නමැති ජර්මනියේ හයිඩල්බර්ග් කොම්පැනියේ ඕෆ්සෙට් යන්ත්‍රයකි. 1960 ගණන්වල නිෂ්පාදිත මෙම යන්ත්‍ර තවමත් යහතින් ලංකාවේ භාවිත වේ. අවුරුදු 50 කට වඩා පරණ ලෝකයේ තවමත් භාවිත වන මේ යන්ත්‍ර තවමත් ලංකාවට ආනයනය කරනවා යැයි කියූ විට ඔබ මවිතයට පත්වනු ඇත. මෙම යන්ත්‍රයේ මුද්‍රණය වන ප්‍රමාණය අඟල් 18×24.5 ක් විය. ආට්බෝඩ් නමැති බෝඩ් එකේ ප්‍රමාණය අඟල් 20×25 විය. එම නිසා යන්ත්‍රයට දැමීමට දෙපැත්තකින් බෝඩ් කපා දමා ඉවත් කිරීමට සිදුවිය. වෙසක් කාඩ් මුද්‍රණ හිමියන් ඊළඟට කළේ ආට්බෝඩ් එකේ අඟලක් වත් ඉවත නොදමා මුද්‍රණය කළ හැකි මුද්‍රණ යන්ත්‍ර ජර්මනියෙන් ආනයනය කිරීමය. එම යන්ත්‍රය හැඳින්වූයේ හයිඩ්ල්බර්ග් Kors නමිනි.

මෑතක් වනතුරු වෙසක් එකට තැපැල් දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කළේ වෙසක් එකට හැකි පමණ කලින් ඒවා තැපැල් කරන ලෙසය. එදා වෙසක් එක ළංවන විට ‘ලියුම් මාමා’ ආවේ බරට බරේ වෙසක් කාඩ් ගෝනි බයිසිකලේ එල්ලාගෙනය. එදා සමහර වෙසක් කාඩ් වෙලාවට බෙදා ගැනීමට නොහැකි වූ නිසා සමහර වෙසක් කාඩ් ලැබුණේ වෙසක් උත්සවයෙන් පසුවය.

මෙරට වෙසක් කාඩ් ඉතිහාසයේ අමරණීය සන්ධිස්ථානයක් නම් විජය කුමාරතුංග ඝාතනයෙන් පසු එළඹුණ සමයයි. ඔහුගේ මරණය පෙබරවාරියේ සිදු වූ අතර එළඹෙන වෙසක් උත්සවයේදී වැඩිම අලෙවියක් තිබුණේ විජය කුමාරතුංග බුදුන් වහන්සේට මල්පහන් පුදන වෙසක් කාඩ්වලටය.

පොල්හේන්ගොඩ විජය ඝාතනය කළ තැන විජය රුව යොදා තොරණක් ද ගැසූ අතර එයට දැඩි විවේචන එල්ල වූයේ බුදු හිමියන්ගේ රුවට වඩා උසින් විජයගේ රූපයක් සිතුවම් කොට තිබීම නිසාය.
කලක් ‘සරත් මධූ’ ඇඳි බුදුරුව සහිත වෙසක්කාඩ්වලට දැඩි ඉල්ලුමක් විය. සුසිල් ප්‍රේමරත්න, වටරැක ප්‍රේමදාස ආදී බොහොමයක් පිරිස් වෙසක් කාඩ් නිර්මාණයේ නියළුනු චිත්‍ර ශිල්පීන්ය.

අපේ වෙසක් කාඩ්වලට කාලාන්තරයක් තිස්සේ යොදා ගත්තේ බුදුරුවය. එහෙත් 2017 වසරේදී බුද්ධශාසන අමාත්‍ය බුදුරුව වෙසක් කාඩ්වලට යොදා නොගන්නා ලෙස චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. එදා පුවත්පත් මෙම ප්‍රවෘත්තිය වාර්තා කළේ මෙසේ ය.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුරුව වෙසක් සුබපැතුම්පත්වලට යොදා ගැනීමෙන් වළකින්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය මුද්‍රණාලවලින් ඉල්ලා සිටින බවය. බුදුරුවට නිගාවන අයුරින් වෙසක් සුබ පැතුම් නිර්මාණය කිරීම හා ඒවා පරිහරණය නිසා මෙම ඉල්ලීම කළ බවද ඒ මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවේදී හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ,

‘‘වෙසක් සුබ පැතුම්පත්වලට බුදුරුව යොදා නොගන්නවා නම් හොඳයි. මේ යෝජනාවක් පමණයි. මුද්‍රිත මාධ්‍ය බුදුරුව පළ නොකරනවා නම් හොඳයි. මේ පත්තර බත් ඔතන්න ගන්නවා. අත පිසදානවා. පාරේ පෑගෙනවා. මහත් ලෙස ගෞරව කරන බුදුන්ගේ පින්තූරයට හානිවෙනවා දකින්න අපි කවුරුත් කැමැති නැහැ. විශේෂයෙන් බෞද්ධයන් කැමැති නැහැ. මේ විදියේ තහනමක් පනවනවා නම් වෙසක් පතේ ගුණාත්මකභාවය මේ මගින් රැකෙනවා’’

බුද්ධ ශාසන අමාත්‍යාංශය 2017 නිකුත් කළ චක්‍රලේඛයම 2019 දීද නිකුත් කොට ඇත. වෙනසකට ඇත්තේ චක්‍රලේඛ අංකය වෙනස් වීම පමණි. 2017 වසරේ දී එම චක්‍රලේඛ අංකය බෞ/කො/ස3/රා. වෙ/ 2017 වූ අතර 2019 දී එහි වෙනස වූයේ 2017 වෙනුවට 2019 වීම පමණකි. මේ නිවේදන දෙකේම ඇත්තේ මෙසේ ය. බෞද්ධ ජනතාවගේ උතුම් ආගමික දිනයක් ලෙස පසළොස්වක පොහොය දිනය හඳුන්වයි. මේ අතරින් වෙසක්, පොසොන් හා ඇසළ පොහොයයන් ඉතා වැදගත් වන අතර එම දිනවල ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වාම විශේෂ වැඩසටහන් සංවිධානය කෙරේ. එහෙත් මෙම වැඩසටහන් බොහෝමයක් අර්ථවත්ව සිදු නොකිරීමත්, නිසි ප්‍රමිතියකින් තොරව සිදුකිරීමත්, සම්බුද්ධ ශාසනයේ ගෞරවයට හානියකි. එය බුද්ධිමත් ප්‍රජාව අනුමත නොකරයි.

එබැවින් මේ කටයුතු ප්‍රමිතියකින් යුතුව අර්ථවත්ව සිදු කිරීම සඳහා යම් නියාමනයන් ඉදිරිපත් කිරිමට මා වෙත උපදෙස් ලැබී ඇති බැවින් වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දින නිමිති කරගෙන දන්සල් පැවැත්වීම, සැරසිලි කිරීම හා වෙනත් විවිධ වැඩසටහන් සිදු කිරීමේදී බෞද්ධ ජනතාවගේ ආගමික හැඟීම්වලට හානි නොවන අන්දමින් සිදු කිරීමට පහත කරුණු පිළිබඳ ඔබගේ විශේෂ අවධානය යොමුකොට ඒවා බුද්ධාගමට හා සිරිත්විරිත්වලට පටහැනි නොවන අන්දමින් ක්‍රමවත්ව, ප්‍රමිතියකින් යුතුව සිදුකිරීමට අවශ්‍ය විධි විධාන සැකසීම යෝග්‍ය වේ.

මෙම නිවේදනයේ අංක 03 යටතේ වෙසක් සැරසිලි කිරීම සම්බන්ධයෙන් කරුණු පහක් ඉදිරිපත් කොට ඇත.
3.1 වෙසක්පත් හා වෙසක් සැරසිලි සඳහා බෞද්ධ කලාව හා බෞද්ධ සංකේත පමණක් යොදා ගැනීම.
3.2 වෙසක් සුබ පැතුම් බෞද්ධාගමික හැඟීම් ජනනය වන, ආශිර්වාද සුබ පැතුම් වීම
3.3 බෞද්ධ කොඩිය මතුපිට විවිධ සංකේත. රූප හෝ විවිධ පාට නොයෙදීම.

3.4 භයානක බව හෝ මනස ව්‍යාකූලත්වයට පත් කරවන විකෘති වෙස් මුහුණු භාවිත නොකිරීම
3.5 සියලු සැරසිලි පරිසර හිතකාමී ලෙසත්, දේශීය කලා සම්ප්‍රදායයන් ආරක්ෂා වන ලෙස සිදු කිරීම.
ලංකාවේ ඉතිහාසය පුරා වෙසක් කාඩ් මුද්‍රණාල නම් සුජිකලා, දුමින්ද එරන්ද, කලෙයිමගල් හා මිහැන්ඩන් ආදී ආයතනය. මේ ඉපැරණිම ආයතන අතර අලුතින් මේ වෙසක් කාඩ් බිස්නස් එකට අවතීර්ණ වූ පිරිසක්ද ඇත. එය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මේ චක්‍රලේඛය ගැන දැනුවත්දැයි අප ඇසූ විට බොහෝ දෙනකු තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒ චක්‍රලේඛයේ පින්තූර ගැනීමට අපෙන් අවසර පැතුවේ තමන් එවැන්නක් නොදන්නා බව කියමිනි.

වෙසක් කාඩ් බොහෝ තොග කඩවල ඒවා බොහෝමයක් බිම තබාවත් තිබුණේ ද නැත. බොහෝ ඒවා ගිය වසරවල මුද්‍රණය කළ බව දැකගත හැකි විය.

‘‘වෙසක් කාඩ් සිංහල අවුරුද්ද ඉවර වෙච්ච ගමන් බදුල්ල, බණ්ඩාරවෙල වගේ පැතිවලට තොග යනවා. මේ සැරේ පාස්කු ප්‍රහාරයෙන් ඒවා ඔක්කොම නන්නත්තාර වුණා. ඊටත් වැඩිය දැන් පරම්පරාව වෙසක් කාඩ් අරින්​නේ නෑ. කාඩ් එකක් ඩිසයින් කරලා ඊමේල් කරනවා’’ යි එක් වෙසක් කාඩ් නිෂ්පාදකයකු අප සමග කීවේ හෙට්ටිවීදියේ තම මුද්‍රණාලයේදීය.

කෙසේ නමුත් වෙසක්කාඩ් මුද්‍රණය කරන මුද්‍රණාලත්, ඒවා තොග වෙළෙඳුනුත් නිරීක්ෂණය කළ විට අපට හැඟී ගියේ එය ‘වඳවී’ යන අයිතමයක් බවට පත් වෙමින් ඇති බවය. මීට කලකට ඉහත වෙසක් කාඩ් සඳහාම කවි ලියා ගතමනාවක් ලබාගත් කවීන්ද සිටි බව අප අමතක නොකළ යුතුය. ඊටත් වඩා වසර පුරාවටම වෙසක් කාඩ් මුද්‍රණයෙන් යැපුන මුද්‍රණාල පවා මෙරට තිබූ යුගයක් විය.

වෙසක් කාඩ් වෙළෙඳපොළ තුළ සැරිසරත්දී එවැනි ගරාවැටීම් තුළින් අප තේරුම් ගත්තේ එය වෙසක් කාඩ්වලට පමණක් උරුම වූවක් පමණක් නොව සමස්ත වෙළෙඳ ප්‍රජාවටම අත් වූ ඉරණමක් බවය. කෞතුකාගාරයක වීදුරු පෙට්ටියක ප්‍රදර්ශනයට තබා මේ එදා සිංහලයන් තැපෑලෙන් යැවූ වෙසක් පත් යැයි හැඳින්වීමක් ලියන්නට සිදුවන යුගය වැඩි ඈතක නොවනු ඇත්තේ මේ නිසාය.

වජිර ලියනගේ