විශේෂාංග

කාගේද චාලි මේ බලුවැඩේ ?

ගෙවෙමින් පැවතියේ දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියයි. චාලි පුරුදු පරිද්දෙන් රාත්‍රී 9.30 ට කූඩුවට ගියේ නිදාගන්නටයි. චාලි කූඩුවට ගිය පසු කූඩුවේ දොර වැසීම නිවෙස් හිමියන්ගේ සිරිතය. එදා ද චාලිගේ කූඩුවේ දොර වැසුණේය.
  අවුරුදු දෙකක් වයසැති චාලි ලැබ්‍රඩෝ වර්ගයේ ඉතාමත් හීලෑ හුරතල් බල්ලෙකි. මීගමුවේ කොප්පරා හන්දියේ ගෙදරක සිටි චාලි නිවෙස් හිමියන්ගේ ආදරය සෙනෙහස මැද දිවි ගෙව්වේය.
  මධ්‍යම රාත්‍රිය උදාවීමෙන් පසු ටිකෙන් ටික කලබලකාරී මීගමු නගරය නිසොල්මන් වන්නට ගත්තේය. චාලිගේ හිමිකරුවනුත් චාලි නිවසින් පිටත කූඩුවේ සිටියදී නින්දට ගියහ.
” 31 පාන්දර බල්ලා මරහඬ දීලා කෑගහන්න ගත්තා. අපි එළියට බැහැලා බලද්දි කූඩුව ගිනිගන්නවා. පස්සෙ අපි කූඩුව ඇරියා. භූමිතෙල් ගඳක් ආවා. කවුද මේ අපරාදෙ කළේ කියලා එහෙම සැක කරන්න කෙනෙකුත් නෑ. “
  රෑ සුවබර නින්දක් ලබන්නට කූඩුවට ගිය චාලිට අත්ව තිබුණේ අමානුෂීය අපරාධය ගැන චාලිගේ නිවෙස් හිමියන් ඒ චාලිගේ කූඩුවට කවුරුන් හෝ භූමිතෙල් දමා ගිනි තබා තිබුණි. චාලි ඒ ගින්නේ පිච්චෙමින් කෑගැසුවේ සිද්ධ වූ දේ කියන්නට, දැනෙන වේදනාව කියන්නට, ඉක්මන් ප්‍රතිකාරයක් ඉල්ලන්නට බල්ලෙකු වූ පවින් කතාකරන්නට බැරි නිසාය.
    දැනගන්නට ඇති පරිද්දෙන් මේ සිදුවීම වන්නේ 30 වැනිදා පාන්දර 2.30 ට පමණය. සුරතල් පෙනුමක් හිමිකරගෙන සිටි චාලි බොහෝ පිච්චී සිටියේය. චාලිගේ නිවසේ හිමිකරු විසින් ඇනිමල් sos වෙත ඇමතුමක් දී චාලිට සිදුවූ අපරාධය ගැන කියා ඇති බව දැනගන්නට ලැබෙන්නේ ඇනිමල් sos වෙතින් ජාඇල සිටින සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිනියක වන ශිවන්ති අබේසූරියට ඔවුන් ඒ පණිවිඩය ලබා දුන් නිසාය. ඒ අනුව ශිවන්තිට ඒ පණිවිඩය ලැබෙන්නේ උදේ 6.30 ටය. පාන්දර දෙක හමාරේ සිට 6.30 ට ලැබුණු පණිවිඩයට අනුව ශිවන්ති එහි යනතුරුත් අසරණ චාලි පිලිස්සුම් තුවාලවලින් වේදනා වින්දා මිස ප්‍රතිකර්මයක් ලැබී තිබුණේ නැත.
“මං උදේ 6.30 ට ඇනිමල් sos එකේ කිම් එවලා තිබුණු මැසේජ් එක දැක්ක ගමන් මහත්තයත් එක්ක එහෙ ගියා. යන්න කලින් මං ඒ ගෙදර අයට උපදෙස් දුන්නා අපි එනකල් සතාව තෙත තුවායකින් ඔතලා තියන්න කියලා. නමුත් මම යනකලුත් එහෙම වෙලා තිබුණෙ නම් නෑ. සතා හොඳටම පිච්චිලා හිටියෙ. ඇඟේ වතුර ගතියත් හොඳටම නැතිවෙලා තිබුණෙ. මමයි තෙත තුවායකින් ඔතලා සතාව ජාඇල පශු වෛද්‍යවරයා ළඟට අරන් ආවේ. ඒත් සතා ඇවිද්දා. වාහනේට නැග්ගෙත් සතාමයි. “
  එතැනින් සැණින් දියයුතු මූලික ප්‍රතිකාර සියල්ලත් ලබා දුන්නේය. වේදනාව නැතිකරන්නට වේදනා නාශක සේම ඇගේ නැතිවී තිබූ දියර ගතිය නිසා සේලයින් ද ලබා දී ශිවන්ති චාලි ඇගේ නිවසට ගෙන ආවාය. ඇය සත්තු වෙනුවෙන් කැපවී මෙවැනි සතුන් බොහෝ ගණනකට පිහිට වී ඇතත් චාලි දුටු මොහොතේ පටන් ඇගේ පපුවත් සංවේදී වුණේය. හිස, මුහුණ, ඇඟ මෙන්ම අත් කකුල් ද බොහෝ පිච්චී සිටි  චාලි දුක්බර දෑසින් ඈ දෙස බැලුවත් චාලිගේ එක් ඇහැක් ද සම්පූර්ණයෙන්ම පිච්චී කළුවී තිබුණු අයුරු දකිද්දී ඇයගේ දෑසට කඳුළු ඉනුවේය.
“මම මගේ කාමරේ ඇඳ උඩ තියාගෙන සතාගෙ බේත්, ක්‍රීම් ගෑවේ. යෝගට් අයිස් ක්‍රීම් කන්න දුන්නෙ.
දිව එහෙමත් හොඳටම පිච්චිලා හිටියේ. එතකොටත් එයා කෑගැහුවෙ නෑ. කෑගහන්න ශක්තියක් නෑ. හැබැයි ඒත් ඇවිද්දා. සතා ජනේලෙ ළඟට ඇවිදගෙන ගිහින් ඔළුව එළියට දැම්මා එළියට යන්න ඕන වගේ. ඒ වෙලාවෙ මං යන්න දුන්නා. මගේ ගාර්ඩ්න් එකට ගිහින්  මුත්‍රා කළා. ඒ අමාරුවෙන් හරි එයා එළියට ගියා. හැබැයි මුත්‍රා රතු පාටයි. තත්ත්වය හොඳ නැතිබව අත්දැකීමෙන් මම දන්න නිසා සතාව ඉක්මනටම මමයි මහත්තයයි නාරාහේන්පිට පෞද්ගලික සත්ත්ව රෝහලකට අරන් ආවා. චාලි රෝහලට ඇතුළත්කරලා අපි රෑ දහය වෙනකලුත් එතන ඉඳලා ආවේ. පළවැනිදා හවස හතරට විතර චාලි නැතිවුණා. “
පිළිස්සුම් තුවාලවලින් දින එකහමාරකට කිට්ටු කාලයක් වේදනා විඳ අවසානයේ චාලි මිය ගියේය. සුරතල්ම සුරතල් බල්ලෙකු වූ චාලිට එවන් ඉරණමක් අත්වෙන්නට මේ පාපකාරී ක්‍රියාව කළේ කවුරුන්ද, ඒ ඇයි යන්නට තවමත් සැඟව ඇති රහසකි.  මීගමුව මූලස්ථාන පොලීසිය විසින් අපරාධකරු සොයා මේ වනවිට පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.
“අපේ පරීක්ෂණවල ප්‍රගතියක් වුණාම විස්තර දෙන්නම්… “
ඒ ගැන අසන්නට මීගමුව පොලිසියට කතා කළ මොහොතේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා කීවේ එපමණකි.
අපරාධකරු සොයා නීතියට ඇති දඬුවමක් අපරාධකරුට ලබා දුන්නත් චාලි භූමිතෙල්වලට පිච්චෙමින්ද, පිච්චීමෙන් පසුද පැය ගණනාවක් විඳි වේදනාව ද ඒ අපරාධකරුට ලැබෙන්නේ නැත. චාලි ආපසු මිහිපිට ජීවත්වන්නට එන්නේත් නැත. කූඩුකර සිටි කිසිම සැර පරුෂ කමක් නැති නිරන්තරවම මිනිසුන් හා සිනාසෙමින් මිතුරු වෙන සතෙකු වූ චාලිට පණපිටින් ගිනි තබන්නට තරම් අමනුස්ස හදවතක් තියෙන්නට ඇත්තේ කාට විය හැකිද ?
අද වනවිට ලංකාවේ මිනිස්සුන්ට මේ අයුරින් සතුන්ට හිංසා කිරීමත් සතුන් මරා දැමීමත් සාමාන්‍ය වී ඇත්තේ එවන් අපරාධවලට අප රටේ හරිහැටි නීතියක් නැති නිසාත්, තිබෙන නීතිය ක්‍රියාත්මක නොවන නිසාත්, මිනිස්සුන්ගේ හිත් වලින් මනුස්සකම තුරන් වී යන යුගයක් නිර්මාණය වෙමින් පවතින නිසාත් ය. ඉස්සර, අසන්නට දකින්නට ලැබුණේ මිනීමැරුම් පමණකි.  ඒත් අද වනවිට අලියන්, පමණක් නොව බල්ලන්, පූසන් වැනි අපේ ආදරය ලබන සතුන් ද මරා දමන, වද හිංසා පමුණුවන තැනකට මිනිස් හිත් පත් ව ඇත. සමහරක් මිනිස්සු සතුන්ට ආදරය කරමින් සංවේදී වද්දී ඇතැමෙක් සතුන් හා වෛරයෙන් සතුන්ට හිංසා කිරීම මැරීම සිදුවන්නේ සතුන්ට ආදරය කරන මිනිසුන්ගේ හිත් කම්පාවට පත් කරමිනි.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා මුහුණු පොතේ පළවූ පෝස්ටුවක් කීවේ අකුරැස්සේ දෙනියායේ ගාල්පල ගෙදරක හුරතලයට හැදූ බල්ලෙකු වසර ගණනාවක් ඒ නිවසේ හැදුනු පසුත් ඔවුන් විසින්ම මරා දමන්නට සූදානම් පුවතකි. ඊට ආසන්න ගෙදරක තරුණයෙකු බල්ලා කෙරේ උපන් අනුකම්පාවෙන් තොරතුර ලබා දී තිබුණි. එසේ මරන්නට හේතුව බල්ලගේ කන කුණුවී තිබීමයි. ඊට පසුදා නිවැසියන් බල්ලා මරන්නට සූදානමින් පසුවද්දී සත්ව හිතවාදී තරුණයෙකු වූ මධුෂාන් කෝකිල තවත් කණ්ඩායමක් සමග ගොස් සතා බේරාගෙන ළඟම තිබූ සත්ත්ව රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර අරඹා තිබුණි. ඒ සතා එකවර මැරෙනවාටත් වඩා එතෙක් ඒ නිවසේ මැරි මැරී ඉපදෙමින් විඳ තිබුණේ අපා දුකකි.
මුහුණු පොතේ සත්ත්ව හිතකාමියෙකුගේ ගිණුමේ පසුගිය දිනෙක තවත් දුක්බර සටහනක් තිබුණේය. ඒ හැමදාමත් උදේ හවස බත් ටිකක් කා නගුට වනා සුරතල් වී යන්නට  පන්සලකට එන බැල්ලක ඒ පන්සල් බිමේදීම පොලු මුගුරුවලින් ගසා මරා දැමූ පුවතකි.
ඊටත් වඩා දුක්බර සිද්ධියක් පසුගිය දෙසැම්බර් 19 වැනිදා රුවන් ඩග්ලස්ගේ මුහුණු පොතෙහි සටහන් කර තිබුණි. ඒ ගල්කිස්ස ප්‍රදේශයේ කානුවක තිබී ඔහු විසින් මියගිය බැළලියකගෙ සිරුරක් සොයාගැනීමෙන් පසුවයි.
” කවුරු හෝ අවජාතකයෙකු ව්සින් කම්බියකින් බැඳලා පුළුස්සා දමා සිටි ගැබ්බර බැළලිය ගල්කිස්ස ටෙම්ප්ල්ස් පාරේ 1 වැනි හරස් වීදියේ කානුවකට ඔබා සිටියදී එළියට ගත් මොහොත. මේක කරපු එකාට හෙණ හතම වැදියන්..”
ඔහු එසේ සටහන්කර තිබුණේ සතා කෙරෙහි උපන් දැඩි සංවේදීතාවයෙන් යුතුවය. දුක, වේදනාව ඇති හදවතකට හිතන්නටත් බැරි ඇඟ හිරිවැටෙන ලෙස මේ අයුරින් සත්ත්ව ඝාතන සිදුකරන්නට තරම් මිනිස් හිත් අමනුෂ්‍ය වී ඇත්තේ අපේ රටේ ගෘහාශ්‍රිත සත්ත්ව හිංසාවට සත්ත්ව ඝාතනයට හරිහැටි දඬුවමක් නැති නිසාම වන්නට ඇත. මුහුණු පොතෙන් හෝ වාර්තා නොවන සත්ත්ව හිංසා දිනකට බොහෝ සිදුවෙයි.
චාලිගේ මරණය ආසන්න සිදුවීම කොටගෙන  ලංකාවේ සත්තුන්ගේ සුබසාධනය වෙනුවෙන් සත්ත්ව අයිතීන් පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන මෙන් ඉල්ලා අරලියගහ මන්දිරය ඉදිරිපිට ද උද්ඝෝෂණයක් පැවති අතර අද (6) චාලි වෙනුවෙන් මීගමුව නගරයේද උද්ඝෝෂණයක් පැවැත්වෙයි. මෙම පනත සම්මත කර නැතත් සත්ත්ව හිංසන ආඥා පනතේ ප්‍රතිපාදන අනුව මෙවන් අපරාධයක් කළ අයකුව වරෙන්තුවක් නැතුව අත් අඩංගුවට ගෙන සිරදඬුවමක් හෝ දඩයක් යන දඬුවම් දෙකෙන් එකක් හෝ මේ දඬුවම් දෙකමත් ලබා දිය හැකි බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අතරේ චාලිට මේ අපරාධය සිදුකළ අපරාධකරු පිළිබද තොරතුරක් ලබා දෙන අයකුට රුපියල් ලක්ෂ එකහමාරක තිළිණයක් ලබාදෙන්නට සත්ව සංවිධානයක් සූදානමින් සිටින බවටත් පෝස්ටුවක් මුහුණු පොතේ සැරිසරයි.